මේක මං ලියපු එකක් නෙමේ. හැබැයි මටත් මේ ප්‍රශ්නය තියෙනවා. මට අදහස යන්නේම චූටිම චෛතිසිකයක් හරි නිත්‍ය වෙනවා කියන එකෙන්. එහෙම ගුරුකුල හැදුන කියන්නෙම මට විතරක් හිතුන දෙයක් නෙමේ. සමහර වෙලාවට නිත්‍ය කරන් ඉන්න දේවල් අපිට ගෝචර නෑ . ඒකයි ගණ සංකල්ප වලින් සියුම් සංකල්ප වලට බහින්නේ. සියුම් සංකල්ප යේ අවුල අහුවෙනකම් ඒකේ ලැග ගෙන ඉන්නේ.
@ek_rosh
අභිධර්මයේ ස්වභාවවාදය ශූන්‍යතාවෙන් බිඳ හෙලූ ආචාර්ය නාගාර්ජුන හිමි -यः प्रतीत्यसमुत्पादः शून्यतां तां प्रचक्ष्महे।
-----------------------------------------------------------------------------
බෞද්ධ දර්ශන ඉතිහාසයේ සිදුවූ අතිශය තීරණාත්මක සහ විප්ලවීය දාර්ශනික සංවාදය සනිටුහන් වන්නේ ආචාර්ය නාගාර්ජුන පාදයන් සහ අභිධර්ම සම්ප්‍රදායන් (විශේෂයෙන්ම සර්වාස්තිවාද සහ ස්ථවිරවාද) අතරයි. බුදුන් වහන්සේ වදාළ අනාත්ම සහ පටිච්චසමුප්පාද ධර්මය පසුකාලීන අභිධර්මිකයන් අතින් දෘෂ්ටිගත වෙමින් පැවති මොහොතක උන්වහන්සේ තම මූලමාධ්‍යමික කාරිකා කෘතිය හරහා අභිධර්මයේ මූලික පදනමම ප්‍රබල තාර්කික ඛණ්ඩනයකට ලක් කළහ.
බුදුන් වහන්සේ දේශනා කළ පුද්ගලයෙකු හෝ ආත්මයක් නැත ඇත්තේ පංචස්කන්ධයක් පමණි යන අනාත්මවාදය තවදුරටත් විශ්ලේෂණය කිරීමට අභිධර්මිකයෝ උත්සාහ කළහ. ඔවුහු බාහිර ලෝකය සහ මනස තවදුරටත් බෙදිය නොහැකි කුඩාම දාර්ශනික මූලද්‍රව්‍ය දක්වා කැබලිවලට වෙන් කළ අතර ඒවා ධර්ම ලෙස හැඳින්වූහ.අභිධර්ම ගුරුකුල විසින් පුද්ගලයා හෝ ආත්මය යනු සම්මුතියක් (ප්‍රඥප්තියක්) පමණක් බවත් පරමාර්ථ වශයෙන් පවතින්නේ මේ මූලික ධර්ම ඒකක (චිත්ත, චෛතසික, රූප) පමණක් බවත් පෙන්වා දෙමින් පුද්ගල නෛරාත්ම්‍යය උපරිමයෙන් තහවුරු කළහ.
මෙසේ ලෝකය විශ්ලේෂණය කරමින් ගිය අභිධර්මිකයෝ අවසාන මූලද්‍රව්‍ය ධර්මයන් ළඟ නතර වූහ. ඔවුහු ප්‍රකාශ කළේ මේ සෑම මූලික ධර්මයකටම තවත් ධර්මයකින් ස්වායත්ත වූ වෙනස් නොවන තමන්ටම ආවේණික වූ ස්වභාවයක් පවතින බවයි. උදාහරණයක් ලෙස පඨවි ධාතුවට තද ගතිය කියන ස්වභාවයද ලෝභ චෛතසිකයට ඇලීම කියන ස්වභාවයද සහජයෙන්ම පවතී. සර්වාස්තිවාදීන් වැනි සම්ප්‍රදායන් මෙයින් තවත් ඉදිරියට ගොස් මේ ධර්මයන්ගේ ලක්ෂණ වෙනස් වුවද ඒවායේ ස්වභාවය ත්‍රිකාලයේම (අතීත, වර්තමාන, අනාගත) සැබෑවටම පවතින බව ප්‍රකාශ කළහ.
මෙමඟින් අභිධර්මිකයන් බාහිර ලෝකයේ පුද්ගල ආත්මය ප්‍රතික්ෂේප කළද නොදැනුවත්වම ධර්මයන්ගේ ආත්මය"
(ස්වාධීන පැවැත්ම) ඉතිරි කරගනිමින් ස්වභාවවාදයකට හසු වූහ.
නාගාර්ජුන හිමියන් පෙන්වා දුන්නේ යමකට තමාගෙන්ම පවතින ස්වභාවයක් ඇතැයි පිළිගැනීම බුදුදහමේ මූලිකම ඉගැන්වීම් වන අනිත්‍යය සහ පටිච්චසමුප්පාදය සහමුලින්ම මරා දැමීමක් බවයි. උන්වහන්සේ එය බිඳ දැමීමට ප්‍රධාන තර්ක කිහිපයක් ඉදිරිපත් කළහ
* නාගාර්ජුන හිමියන්ගේ මූලිකම ප්‍රශ්නය වූයේ යමක් හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නවා නම් ඒකට ස්වාධීන ස්වභාවයක් තියෙන්නේ කොහොමද? යන්නයි.
ස්වභාවය යන්නෙහි දාර්ශනික අර්ථය වන්නේ කාගෙන්වත් නිර්මාණය නොවූ වෙනත් කිසිවක් මත යැපෙන්නේ නැති ස්වාධීන පැවැත්මක් යන්නයි.නමුත් බුදුදහමේ මූලික පදනම වන පටිච්චසමුප්පාදයට අනුව ලෝකයේ සියලු ධර්මතාවන් හේතු ප්‍රත්‍ය සාපේක්ෂව හටගන්නා ඒවාය.එබැවින් ධර්මයන් හේතූන් මත යැපෙන බව කියන ගමන්ම ඒවාට ස්වාධීන ස්වභාවයක් ඇතැයි කීම එකිනෙකට පරස්පර විරෝධී අතාර්කික ප්‍රකාශයක් බව නාගර්ජුන හිමියන් පෙන්වා දෙන ලදි.
* අනිත්‍යතාව සහ නිවන අහෝසි වීම
යම් ධර්මයකට තමන්ටම ආවේණික වූ වෙනස් නොවන ස්වභාවයක් තිබේ නම් ඒ ස්වභාවය කිසිවිටෙකත් වෙනස් විය නොහැක.
යමකට ස්වභාවයක් තිබේ නම් එය කිසිදා වෙනස් නොවන ස්ථිර (ශාස්වත) දෙයක් බවට පත්විය යුතුය. එවිට ලෝකයේ පවතින අනිත්‍යතාව බොරුවක් බවට පත්වේ.
සියල්ල ස්ථාවර ස්වභාවයකින් යුක්ත නම් දුක නැති කිරීම හෝ සංසාරයේ සිට නිර්වාණය දක්වා වෙනස් වීම (නිවන් දැකීම) කිසිසේත් සිදුවිය නොහැකි දෙයක් බවට පත්වේ. සියල්ල වෙනස් වන්නේම ඒවාට කියා ස්ථාවර ස්වභාවයක් නැති නිසාමය.
අභිධර්මිකයන් සහ අනෙකුත් දර්ශනවාදීන් පවසන ආකාරයට ධර්මයන් සැබෑවටම හටගැනීම සිදු විය හැක්කේ ක්‍රම හතරකට පමණි. නාගාර්ජුන හිමියන් මූලමාධ්‍යමික කාරිකාවේ පළමු ගාථාවෙන්ම මේ හතරම ප්‍රතික්ෂේප කරමින් ස්වභාවවාදී හටගැනීම බිඳ දැමූහ
1.ස්වතෝ වා (තමාගෙන්ම හටගැනීම)
දැනටමත් පවතින දෙයක් නැවත හටගැනීමට අවශ්‍ය නොවන බැවින් මෙය අතාර්කිකය.
2.පරතෝ වා (වෙනත් දෙයකින් හටගැනීම)
වෙනත් දෙයකට තවත් දෙයක් උපද්දවන්න බැහැ මොකද ඒ වෙනත් කියන දෙයටත් ස්වාධීන ස්වභාවයක් නැති නිසා.
3.ද්වාභ්‍යාං වා (තමාගෙන් සහ වෙනත් දෙයකින් යන ද්වයයෙන්ම)
ඉහත වැරදි දෙකේම එකතුවක් නිසා මෙයද සිදුවිය නොහැක.
4.අහේතුතෝ වා (හේතුවක් නැතුව අහඹු ලෙස)
හේතුඵල ධර්මතාවට පටහැනි බැවින් මෙයද විය නොහැක.
මෙයින් උන්වහන්සේ නිගමනය කළේ පරමාර්ථ වශයෙන් ගත්කල අභිධර්මිකයන් පවසන ආකාරයට සැබෑ වූ ස්වභාවයකින් යුත් කිසිදු ධර්මයක් කිසිම කලක හටගන්නේ නැති බවයි.
අභිධර්මිකයන් පුද්ගලයාගේ ආත්මය ප්‍රතික්ෂේප කර ධර්මයන්ගේ පැවැත්ම ඉතිරි කරගනිද්දී නාගාර්ජුන හිමියන් පුද්ගලයා මෙන්ම පුද්ගලයා නිර්මාණය කරන මූලික ධර්මයන්ද ස්වාධීන ආත්මයකින් හෝ ස්වභාවයකින් තොර බව පෙන්වා දුන්හ. මෙය ධර්ම නෛරාත්ම්‍යය ලෙස හැඳින්වේ.
මෙන්න මේ ධර්මයන්ගේ පවත්නා නිඃස්වභාව (ස්වභාවයෙන් තොර) බවම නාගාර්ජුන හිමියන් ශූන්‍යතාවය ලෙස හැඳින්වූහ. උන්වහන්සේට අනුව පටිච්චසමුප්පාදය යනු හුදෙක් සරල හේතුඵල දාමයක් නොව සියලු ධර්මයන්ගේ පවත්නා සාපේක්ෂතාව සහ ශූන්‍යතාවයයි.
යහ් ප්‍රතීත්‍යසමුත්පාදහ් ශූන්‍යතාං තාං ප්‍රචක්ෂ්මහේ
(යම් පටිච්චසමුප්පාදයක් ඇත්ද එයම ශූන්‍යතාවය යැයි අපි කියමු.)