චීනයේ යුනාන් පළාතේ ෂාඕටොං (Zhaotong) ප්‍රදේශයේ පදිංචි ෂූ (Xu) නම් තරුණයා කුඩා කල සිටම හැදී වැඩුණේ දෙමාපියන්ගේ සෙනෙහස සහ රැකවරණය නොමැතිවයි. තම විවාහ මංගල්‍යය වෙනුවෙන් ඔහු තනිවම යුවාන් 167,500ක් (චීන මුදල්) ඉතිරි කරගෙන තිබුණා.
නමුත් තම විවාහ දිනයේදී අමුත්තන් නොමැතිව උත්සවය පාළුවට යාවි යැයි ඔහු බිය වුණා. ඒ නිසා චීනයේ ජනප්‍රිය කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Douyin හරහා ඔහු ආරාධනයක් පළ කළා.
"මගේ විවාහ මංගල්‍යයට ඇවිත් මා සමඟ ආහාර වේලක් බෙදාගන්න. උත්සවයට සහභාගී වී මේ ශාලාව පුරවා දෙන්න. මගේ ගමේ මිනිසුන් ඉදිරියේ එක දවසකට හෝ මට ආඩම්බරයෙන් හිස ඔසවා සිටීමට අවස්ථාවක් ලබා දෙන්න" යන්නයි ඔහුගේ ඉල්ලීම වුණේ.
ඒ ආරාධනයට දහස් ගණනක් ආගන්තුකයන් ප්‍රතිචාර දැක්වූවා. චීනයේ විවිධ ප්‍රදේශවල සිට ඔවුන් තම වාහනවලින් එහි පැමිණියා. ආහාර, මල් සහ තෑගි රැගෙන ආ ඔවුන්, නිවසේ ඉවුම් පිහුම් කටයුතුවලට උදව් කළා. මේස සකස් කළා. අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමටත් සහාය වුණා. පැමිණි පිරිස නිසා ඔහුගේ නිවසේ ඉඩකඩ ප්‍රමාණවත් නොවූ විට, උත්සවය විශාල ස්ථානයක පැවැත්වීමට ප්‍රාදේශීය බලධාරීන් ද සහාය ලබා දුන්නා.
ඔක්තෝබර් 31 වැනිදා ෂූ සහ ඔහුගේ මනාලිය වන චුයිචුයි (Chuichui) විවාහ දිවියට ඇතුළත් වුණා. ඔවුන් මුදු හුවමාරු කරගත් අතර, පැමිණ සිටි විශාල පිරිස ඉදිරියේ සාම්ප්‍රදායික ලෙස හිස නමා ආචාර කළා. පසුව සාම්ප්‍රදායික මියාඕ (Miao) ඇඳුම්වලින් සැරසුණු ඔවුන් ගිනිමැලයක් වටා නර්තනයේ යෙදුණා.
තවත් විශේෂත්වයක් වූයේ ෂූ අමුත්තන්ගෙන් මුදල් තෑගි භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වෙනුවට ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂිතව ආපසු යන ලෙසත්, තමන්ගේ බඩුබාහිරාදිය ගැන සැලකිලිමත් වන ලෙසත් පමණයි.
එක් තරුණයෙකුගේ විවාහ මංගල්‍යය පාළුවට යාවි යන බියෙන් ආරම්භ වූ මේ කතාව, දහස් ගණනක් ආගන්තුකයන්ගේ සහයෝගයෙන් අමතක නොවන දිනයක් බවට පත්වුණා.
Last edited: