අපේ ලෝක උරුම
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ.
එහි හයවැනි සමුළුව 1982 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවති අවස්ථාවේදී 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප්‍රකාශයට පත් කෙරිනි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය.
ඉන් පසුව දසවැනි සමුළුව බ්‍රසීලයේ බ්‍රසිල් නුවර පැවති අවස්ථාවේදී සිංහරාජ වැසි වනාන්තරය 405 වැනි ලෝක උරුමය විය. මහනුවර නගරය 450 වැනි ලෝක උරුමය බවට පත්විය.ගාල්ල ඕලන්ද බලකොටුව හා පැරණි නගරය 451 වැනි ලෝක උරුමය බවට පත්විය.
1991 වර්ෂයේ ටියුනීසියාවේ පැවති 15 වැනි සමුළුවේදී රංගිරි දඹුල්ල රජ මහා විහාරය 561 වැනි ලෝක උරුමය ලෙස ප්‍රකාශයට පත් කෙරිනි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ.
2008 වර්ෂය වන විට ලොව පුරා ලෝක උරුම 851ක් නම් කර ඇත.ඉන් 660ක්ම සංස්කෘතිකමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන වේ.සිංහරාජය ඇතුළු පාරිසරික උරුමයන් සංඛ්‍යාව 166කි. ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන සංඛ්‍යාව 25කි. වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ යුරෝපය හා උතුරු ඇමරිකාව මූලික කරගනිමිනි.
රටවල් 185 ක් අතර පවතින එකඟතාව මත ලෝක උරුම පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි ගණනාවක් පනවා තිබේ. ඒ අනුව ලෝක උරුමය රැකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි.
ලෝක උරුමයන්හි පවතින තත්ත්වයට හානිදායක කිසිවක් කිරීමට හැකියාවක් නොමැත.ඒ සියලු උරුමයන් රැකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි...
අනුරාධපුර රුවන්වැලි සෑය
පොළොන්නරුව ගල් විහාරය
සීගිරිය
සිංහරාජ වැසි වනාන්තරය
මහනුවර දළදා මාළිගාව
ගාල්ල කොටුව
රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය




