රෝගී වූ පඬුවස් දෙව් රජු. තම වර්ගයාටත්, තම නිජබිම වූ භාරතයටත් ආවේණික සියලු වෙද හෙදකම් සහ පුද පූජාවලින් පළක් නොවී මරණාසන්න විය. දිවුරුම් කඩකිරීමේ විපාක වශයෙන් ම රෝගී වී විජය රජතුමා ජීවිතක්‍ෂයට පත් වූ බවත්, එම රජු දැරූ තනතුර සහ දිව්රීමේදී සඳහන් කරන ලද කඩුව දැරීමට පත්වීම නිසා, දිවිරීමේ විපාකය පඬුවස්‌දෙව් රජතුමා කරා ද පැමිණ ඇති බවත්, සමහර විට මෙය යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් කරන ලද හදි හූනියම් වැනි දෙයක ප්‍රතිඵලයක් ද විය හැකි බවත්, කුමක් වුවත් රෝගය සුවකර රජතුමා මරණයෙන් බේරා ගැනීමේ හැකියාව ඇත්තේ යක්‍ෂ ගෝතිකයන්ට පමණක් බවත්, සියල්ලෝම විශේෂයෙන් ආර්ය පාලනයට අවනත යක්‍ෂ ගෝත්‍රිකයෝ කියා සිටියහ. තවද මෙවැනි රෝග සුව කිරීමේ ශාස්‌ත්‍රය තමන්ද තරමක් දුරට දන්නා නමුත්, මෙම ශාස්‌ත්‍රයෙහි කෙළ පැමිණියාවූද, රාවණ පෙළපතට ඥති සම්බන්ධතා ඇත්තා වූද, මලය ප්‍රදේශයේ රජතුමා මේ සඳහා යොදවා ගැනීම වඩා සුදුසු බවත්, එසේද වුවත් පඬුවස්‌දෙව් රජුට බියෙන් සැඟවී සිටින නිසා ඔහු ගෙන්වා ගැනීම අපහසු බවත් ඔවුහු කීය. එබැවින් යක්‍ෂ ගෝත්‍රිකයකුව යොදවා උපක්‍රමයක් මගින් මලය රජු ගෙන්වා ගන්නා ලදී. "බිය වන්නට කරුණක් නැත. ඔබ ගෙන්වා ගත්තේ, ඔබේ ශාස්‌ත්‍රයෙන් මගේ අභය සලසා ගන්නටය. ඔබ එය ඉටු කරන්නේ නම් ඔබේ අභය ගැන ද මම සහතික වෙමි." යි පඬුවස් දෙව් රජු මලය රජුට ප්‍රකාශ කළේය. මෙම වචන යක්‍ෂ ගෝත්‍රික රජ පෙළපතකට සම්බන්ධ අයකු නිසා කොයි මොහොතේ හෝ තමා සොයාගෙන මරා දමනු ඇතැයි බියෙන් මෙතෙක් සැඟවී ජීවත් වූ මලය රජුගේ අමන්දානන්දයට හේතු විය. පඬුවස්‌දෙව් රජුගෙන් මෙම වචන ප්‍රකාශ වූයේ අසාධ්‍ය තත්ත්වයකට පත්ව මරණයේ දොරටුව අභියස සිටි ඔහු රාජ්‍යයට වඩා සිය ජීවිතය අගේ කොට සැලකූ හෙයිනි. මලය රජු විසින් සිය ශාස්‌ත්‍රය මගින් පඬුවස් දෙව් රජු වහා සුවපත් කරන ලදී. එසේ කළ ඔහු මින් මතු තමන්ගෙන් පඬුවස් දෙව් රාජ්‍යයට තර්ජනයක් නොමැති බැව් පෙන්නුම් කිරීම සඳහා තමන් සතු ඔටුන්න එම රජු ඉදිරියේදීම තමන් හා පඬුවස් දෙව් රජු හමුවීමේ සිද්ධියේ සම්බන්ධීකරණ සේවය සැලසූ තම ගෝත්‍රිකයාට ප්‍රදානය කොට ආපසු යන්නට ගියේය.
මලය රජුගේ ඔටුන්න රාවණ රජුගේ ඔටුන්න අනුව සාදන ලද්දක් බැව් ද යක්‌දෙස්‌සන් හෙවත් උඩරට නැටුම නමින් හැඳින්වෙන නැටුමෙහි නියුතු නැට්‌ටුවන්ගේ වෙස් තට්‌ටු ඒ අනුව සාදාගෙන ඇති බැව් ද දැන් පැහැදිලිය. දශ දේශයක රජු වශයෙන් සිටි රාවණගේ ඔටුන්නේ ඇති තුඩු සහිත පෙති දහයකින් එම දශ දේශය සංකේතවත් කරන්නට ඇත. මෙම ඔටුන්න යක්‌දෙස්‌සන් අතට පත් වී කාලයක් ගිය පසුව, ඒ අනුව වෙස් තට්‌ටු සෑදීමේදී, විශේෂයෙන් ශිඛා බන්දනය නම් කොටසෙහි වෙනස්‌කම් සිදු කරන ලදී. තුඩු සහිත පෙති දහය (10) වැනි ඉරට්‌ටේ ගණනකින් යුක්‌ත වනවාට වඩා එකොළහ (11) වැනි ඔත්තේ ගණනකින් යුක්‌ත වීමෙන් වෙස් තට්‌ටුවේ අලංකාරයක් ඇති වේ යෑයි කල්පනා කරන ලදී. ඔත්තේ ගණනකින් යුතුව සෑදීමේදී එක පෙත්තක් හරි මැදට සිටින සේ පිළියෙළ කළ හැකි බැවැනි. මෙසේ මුලින් පැවැති පෙති දහය එකොළහ බවටද, එකොළහ දහතුන බවටද, දහතුන පහළොව බවටද පත් කර ගෙන ඇත්තේය. සමහර විට රාවණගේ ඔටුන්නෙන්, යටත් දේශයන් නවයක ඔටුණු සංකේතවත් කරනු ලැබ තිබී, ඒ අනුව නැට්‌ටුවාගේ වෙස් තට්‌ටුව මුලින්ම පිළියෙල වුණා වන්නටත් බැරි නැත. කෙසේ හෝ පෙති පහළොවකින්, දහතුනකින් පමණක් නොව එකොළහකින් ද යුතු ශිඛා බන්ධනය සහිත වෙස් තට්‌ටු අද දක්‌නට ඇත්තේය. මලය රජු විසින් ප්‍රදානය කරන ලද්දේ ඔටුන්නෙන් අර්ධයකියි කෙනෙකු කියන්නට පුළුවන. එය සත්‍ය නම් එම අර්ධයේ පෙති පහක් තිබෙන්නට ඇත. එම පහ එකවරකට දෙක බැගින් වැඩිවීමෙන් වර්තමාන සංඛ්‍යාවට පත් වුණා විය හැකිය..
මලය රජු නමින් සඳහන් කර ඇති රජු අයත් රාවණ පෙළපතේ පාලන මධ්‍යස්‌ථානය වූයේ ලංකාපුරය හෙවත් වර්තමාන සීගිරිය යෑයි සිතමි. සමහර සීගිරි චිත්‍රයකින් නිරූපිත රජ බිසොවකගේ හිස් පළඳනාව යක්‌දෙස්‌සාගේ වෙස් තට්‌ටුවට, විශේෂයෙන් එහි පාහින්පත නමින් හැඳින්වෙන කොටසට - නෑකම් දක්‌වන බව ද මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.
වෙස් තට්‌ටුවේ (ශිඛා බන්ධනයෙහි) ආරමභක පෙති ගණන ද එය පැමිණි දේශය ද ඇතුළත් විස්‌තර සැකයෙන් යුතුව සඳහන් කරන ලද නමුත්, සැකයෙන් තොරව සඳහන් කළ හැකි කරුණක් ඇත්තේය. එනම් එයින් නිරූපිත ඔටුන්න ලද මුල් යක්‌දෙස්‌සා මෙන්ම, එම ඔටුන්න මුලින් දරා සිටි මලය රජු ද යක්‍ෂ ගෝත්‍රයේ රුධිරය ඇත්තකු බවයි.
අයි. ගුණරත්න පොල්ගහවෙල
උපුටා ගැනීම - දිවයින (2009/09/16)