අප සියලුදෙනා මාත් ඇතුලුව අද වෙනකොට පවත්වාගෙන ගිය බොහෝ සංවාද තුලින් එකිනෙකාට ලබාගත් බොහෝ අත්දැකීම් ආශ්‍රිතව එය ඉතා අර පරිස්සමින් මගේ හෘද සාක්ෂියට අනුව නිරීක්ෂණය කල මා හට අප ඉදිරියේ මෙතැන් පටන් දිග හැරී ඇති අපේ රට, ආගම හා ජාතිය ආරක්ෂා කිරීම හා ගොඩ නැගීමේ අති උදාර කර්තව්‍යය සම්භාව්‍යය ලෙසත් තර්කානුකූල මත ගැටුම් තුලිනුත් ඉදිරියට ගෙන යාමට ඇවැසි සහන ඉමක් අප අපටම සකසා තෝරා බේරා ගැනීමේදී ඉවහල් විය හැකි යැයි සිතට හැඟුණු සටහනක් මෙසේ අකුරු කරන්නට සිතුවෙමි..
සෑම දෙනාම සතුටින් දිවි ගෙවීමට කැමැතිය. සමාජයක් යනු පුද්ගලයින්ගෙන් සුසැදි විධිමත් ලෙස සමූහගත අන්තර්ක්‍රියා පද්ධතියක් බැවින් පුද්ගලාන්තර සම්බන්ධතාවයන්හි විධිමත් බව සහනශීලී සමාජයකට අතිශයින්ම වැදගත් වේ. කිසිදු භේදයකින් තොරව සමාජ සංස්ථාවලට අයත් සෑම පුද්ගලයෙකුහටම තමන්ගේ අනන්‍යයතාවය පිලිබඳව සුබදායක යහපත් පිලිගැනීමක් ඇති වන පරිදි සමාජ ප්‍රතිමාන සකස්වීම සමාජ වගකීමක් මෙන්ම පුද්ගල අයිතිවාසිකමක් ලෙස ද අර්ථකථනය කළ හැක.
මෙය තව දුරටත් විකාශය වීමේ දී මානව අයිතිවාසිකම් දක්වා ව්‍යාප්ත වේ. වෙනත් අයුරකින් කිවහොත් සමාජ ප්‍රතිමාන ස්ථාපිතවීමේ දී කිසිම විටකදීවත් එමඟින් මානව හෝ පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය නොවීමට කටයුතු කිරීම වැදගත්ය. සමාජ ප්‍රතිමාන සකස්වී ඇත්තේ මිනිසා වෙනුවෙන් වන හෙයිනි. එසේම පුද්ගල අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඉන් සමාජ ප්‍රතිමාන ද කඩ නොවිය යුතුය. මක් නිසා ද යත් පුද්ගල හා මානව අයිතිවාසිකම් යනු සමාජ ප්‍රතිමානයක් ලෙස පැවතිය යුතු දෙයක් වන හෙයිනි. සමාජයෙහි සතුටින් දිවි ගෙවීමට නම් සියළු දෙනාහටම පොදුවේ එකඟ විය හැකි පරිදි එක් එක් සමාජ සංස්ථාවන්හි යහ පැවැත්මට හා පුද්ගල සංතෘප්තිය ලැබීමේ ක්‍රමවේදයට අදාළ වූ සමාජ විනයක් පැවතිය යුතුය. සමාජ විනය නොමැතිවීම පිලිබඳ කිසියම් විශේෂිත පාර්ශවයකටම පමණක් වරද පටවා අත පිසදා ගැනීමට කිසිදු ඉඩක් කිසිවෙකුහටවත් නොමැත්තේ සමාජ විනය නොමැති වීම නිසා ස්ත්‍රී පුරුෂ දුප්පත් පොහොසත් ලොකු කුඩා භේදයකින් තොරව සමාජයෙහි වෙසෙන සෑම පුද්ගලයෙකුම මෙයින් ඉමහත් ලෙස පීඩා විඳින බැවිනි.
තමන් ද ඉන් පීඩාවට පත් වුවත් මේ සඳහා කුමක් සිදු කළ යුතුදැයි නොදන්නා බව නිසා බොහෝ දෙනෙකු මෙම ප්‍රශ්නයේ දී කෂාය බිවූ ගොළුවන් සේ මුනිවත රකින බව පෙනෙන්ට තිබේ. සමාජ විනය බිඳ වැටීම සුළු දෙයක් සේ මතුපිටින් පෙනුනත්, වර්තමානයෙහි උද්ගතව ඇති තත්වය නම් එය කිසිසේත් ලඝු කළ නොහැකි සුවිශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතින බවයි. මුල් කාලයෙහි දී මේ ප්‍රශ්නය පිලිබඳව මූලික අවධානය යොමු කිරීමට අතපසුවීමට යම් යම් හේතු සාධක සමාජය තුළ පැවතියත් එකී හේතු සාධක අතර සුවිශාලතම හේතු සාධකය වූ යුද බිය මේ වන විට පහව ඇති හෙයින් හා මුළු මහත් දේශය යුද බියෙන් සුරක්ෂිත බැවින් රටේ හා ජාතික ආරක්ෂාව පිණිස යොදන ලද කැපවීම හා අවධානය බිඳ වැටී ඇති සමාජ විනය ප්‍රකෘතිමත් කිරීම සඳහා භාවිතා කිරීමේ හැකියාව ඇති බව රටේ පිළිගත් විවිධ විද්වතුන් හා උගතුන් විසින් ද පෙන්වා දී තිබෙන අත්‍යවශ්‍ය කාරණයකි.
සමාජ ප්‍රතිමාන සකස් වී ඇත්තේ මිනිසුන් හට සමාජයෙහි සුරක්ෂිතව දිවි ගෙවීම සඳහාය. සමාජ ප්‍රතිමාන පමණක් තිබුණත් එය ප්‍රමාණවත් නොවේ. මිනිසුන් අතර ආචාරශීලී පැවැත්මක් ද තිබිය යුතුය. අන්‍යයන් කෙරෙහි පවා පවතින පොදු මනුෂ්‍යත්වය සඳහා නිසි ගෞරවයක් පැවතිය යුතුය. තමාගේ, තම පවුලේ අයගේ මෙන්ම සමාජයෙහි ජීවත්වන සෙසු පුද්ගලයන්ගේ ද රුචි අරුචිකම් පිළිබඳ වැටහීමක් මෙන්ම ඒ සඳහා චිත්ත අභ්‍යන්තරයෙන් පැණ නඟින කිසියම් ගරුත්වයක් සෑම පුද්ගලයෙකු වෙතම පැවතිය යුතුය. තමා ජීවත්වන සමාජයෙහි අන් අයට කරදරයක් නොවී හැසිරීමට නම් මිනිසුන් තුළ අන්‍යයන් කෙරෙහි කිසියම් ගෞරවයක් හෝ මනුෂ්‍යත්වය පිළිබඳ උසස් හැඟීමක් සතුවිය යුතුය. එසේ නොමැති වූ විට මිනිසා ස්වකීය නෛසර්ගික සහජ සත්ව ස්වභාවයම ප්‍රකට කිරීමට කැමැත්තක් දක්වයි.
නූතන මිනිසා අන්‍යයන් කෙරෙහි නිරන්තරව ද්වේෂයෙන් සිටින නිසාදෝ වඩාත් කැමති තමාට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැති වුවත් අන්‍යයන්ට හිරිහැර හා කරදර වන පරිදි හැසිරීමට හා ජීවත්වීමටය. අසන දකින කියවන දේ දූෂ්‍යවීම නිසා දෝ සිතුම් පැතුම් අපවිත්‍රය. වචනය කය හා සිත බොහෝ සේ අසංවරය. මිනිසත් බවට නොගැළපෙන සේ දුඟඳ හමන ගති සිරිත් පුරුදු පුහුණු වී ඇති ආකාරය සිතට නංවන්නේ මහත් පිළිකුළකි.
මීට සාපේක්ෂකව හොඳ මිනිසුන් මෙබඳු දේ නිසා බහුල සමාජ සම්බන්ධතා පැවැත්වීමෙන් මඳක් හෝ දුරස් වී සිටීමට කැමැත්තක් දැක්වීම අරුමයක් නොවේ. සමාජයක බරසාර ගුණ සම්පන්න සත් පුරුෂයින් යට ගොස් හිස් පුද්ගලයින් මතුවීම නිසා යහපත් අයට පවා ජීවත්වීම අසීරු තත්වයකට පත් වී තිබේ.
බුදු සමයෙහි කාල වකවානු සමයන්හි පවා කිසියම් හොඳ හා නරක වඩා අධිකව බලපැවැත්වෙන සීමා දක්වා තිබේ. මේ අනුව සංවට්ට කප්ප හා විවට කප්ප ලෙස ද බුද්ධොත්පාද කාලය හා අබුද්දස්ස කාලය ලෙස ද සෙසු මිනිසුන්හට සාපේක්ෂව වඩා හොඳ මිනිසුන් හා නරක මිනිසුන් ජීවත්වන කාල වකවානු ලෙසද පෙන්වා දී ඇත.
මගේ දයාබර සොයුරු සොයුරියනි...මෙම සටහන කියවීමෙන් පසු මේ පහත දැක්වෙන මධුර ගීතයට සවන් දෙන්න අමතක කරන්න එපා......
Last edited: