සැබෑ මිත්‍රයා
ඔබ මිත්‍රයකු සොයනව ද? නැත්නම් ඔබ හොඳ මිත්‍රයෙක් වීමට උත්සහා දරනවද? අපි මෙහෙම සිතමු. සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තමයි තමන්ගෙ දේට වඩා අනුනගෙ දේ ගැන සිතන්න සොයන්න තිබෙන කැමැත්ත. ඒ නිසා අප සොයන යහළුවෙකු සතුව තිබිය යුතු ගුණාංග මොනවාද? කියල සොයමු. හැබැයි වරදවා තේරුම් ගන්න නම් එපා. මේ ඔබට කියල දෙන්නෙ ම්ත්රයෙකු මිස පෙම්වතකු - පෙම්වතියක සතු විය යුතු ගුණාංග නොවේ. මොකද මා දන්නවා සමහරෙක්, මිත්‍රය, යහළුව, කියල ආශ්‍රය කරන්නෙ පෙම්වතුන් - පෙම්වතියො. ඒවා පස්සෙ කියල දෙන්නම්. තවම පුතාල, දුලා ඉගෙන ගන්න වයසෙ ඉන්න බව නම් අමතක කරන්න එපා.
පළමුව ඔබේ මිත්‍රය, ඔබට වඩා ඥාණයෙන්, ගුණධර්මයෙන් වැඩි අයකු විය යුතුමයි. නැතහොත් තමන් හා සමානව ගුණ දහමින් හා ඥාණයෙන් යුක්ත විය යුතුයි. ඊට වඩා ගුණ දහමක් නැති ඥාණයක් නැති අය නම් ආශ්‍රයට ගන්න එපා. හැබැයි මෙහිදි වත්-පෙහොසත්කම්, කුල-මල, ජාති-ජන්ම, කලු-සුදු භේද සොයා බලා ආශ්‍රයට ගන්න අවශ්‍ය නෑ. ඒවායෙ ආශ්‍රයට, මිත්‍ර කමට බාධාවන කිසිවක් නෑ ඔබේ අධ්‍යාපන කටයුතු වලට ශක්තියක් වෙන්න යහළුවෙක්ට පුළුවන්.ඔබට පාසලට යන්න බැරි වු දිනක - ඔබේ යහළුවට පුළුවන් ඔහු හෝ ඇය ඒ දින පාසල් ගියි නම් අවශ්‍ය සටහන්, ආදිය ලබල දෙන්නත් - ඉගැන්වූ දේ කියල දෙන්නත්. හැබැයි එහිදි ගොඩක් දුරට ඔබ හා සමාන යාළුවෙක් තමයි ඔබට ලැබෙන්නෙ. හැබැයි ඇතැම් විට යාළුව ඔබට යමක් ඉගෙන ගන්නට තරම් හේතුවන ගුණ ධර්ම ඇති අයෙක් වන්නට පුළුවන්. උපකාර පංති යන විට ඔබේ තනි නොතනියට සිටීමත් යාළුකම බලපානව. හැබැයි දෙන්න එක්ක එක කාඞ් එකෙන් සතියෙන් සතිය මාරුවෙන් මාරුවට පන්තියට සහභාගි වන්නම නෙමෙයි. උපකාර පංතියේ වේවා - පාසලේ වේවා දෙනු ලබන සටහන්, කරණුලබන පාඩම් ගැන නැවත සාකච්ජා කරන්න ඔබගේ යාළුව උපකාර කරගත හැකියි. ඒ වගේම පාඩම්වලට අදාල අළුත් දේ සොයාගෙන ඇවිත් කියල දෙනව නම් එයත් ඉතා හොඳ මිත්‍රත්වයක ලක්ෂණයක්.
ඔබ ඔබේ මිත්‍රය සමග පාඩම් කරනවා නම් හැම විටකම අනවශ්‍ය දේ ගැන කථා කිරීමෙන් වළකින්න ඕන. ඒ නිසා මිතුරා හැම විටම ඔබ සමග පාඩම්කළ දේ කරන්නෙත් විය යුතුමයි. මිතුරට සෙලියුලර් දුරකථනයක් නැත්තෙක් (Mobile Phone) නම් වඩාත් හොඳයි. එතකොට ඔබටත් එවැන්නක් නොතිබිය යුතුයි. නැත්නම් කොයි වෙලාවෙත් (S.M.S)කෙටි පණිවුඩ එන්න පටන් ගනීවි. පාඩම ඉවතලා ඒවා කියවන්න සිදුවේවි. නැවත ප්‍රතිචාර දක්වන්නත් වේවි. එය සිදු නොවිය යුත්තක්. ඔබේ මිතුර කම්මැලි නම්, නිතර නිදියන කෙනෙක් නම් - හැම විටකම බෑ - අමාරුයි - ඕවා කරල වැඩක් නෑ. කියාගෙන ඉන්නවනම් කරුණාකරලා ඔහුගෙන් හෝ ඇයගෙන් ඇත්වෙන්න. මොකද? ඔබටත් ඒ ලක්ෂණ ඉතා ඉක්මණින් පහළ විය හැකි නිසා. ඔබේ මිත්‍රයාට පේ‍්‍රම සබඳතාවයක් තිබේ නම් එයත් ඉතා නරක දෙයක්. ඉගෙන ගන්න වයසෙ එවැන්නකට යොමුවු කෙනා ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකියි. ඒ නිසා වඩා සුදුසු වන්නෙ ඒ මිත්‍රත්වයට ආයුබෝවන් කියන එකයි. නැත්නම් දුවේ, පුතේ ඔබට වෙන්නෙ, ඔහුන්ගෙ පණ්වුඩපත් (ලියුම්) ගෙනියන්න. ඔත්තු බලන්න. කරපු කියපු දෑ හෝ ලසෝ තැවුල් අහගෙන ඉන්න. ඒවගේම ඒ අයගෙ විතරක් නොවෙයි ඔබගේ මව් පියන්ටත් බොරු කියන්න. ඒවාට අමතරව ඔබට නරක නාමය එන්නත් පුළුවන්, ඔහුන්ව තරහ කෙරෙව්ව. ගෙවල් වලට කියල තියෙන්නෙ ඔබ තමයි කියල. ඒවා විතරක් නොවෙයි ඔබගෙ ඇඟටත් ඔවැනිම ලෙඩක් අතාරින්නත් පුළුවන්. ඒ නිසා මිතුරා, මව්පිය ගුරුවර වැඩිහිටි ඔවදන් පිළිපඳින - ඔවුනට ගෞරව කරන, විවිධ දක්ෂතාවයන් ඇත්තෙක් නම් ඔබටත් ඉන් ලොකු ආලෝකයක් ලැබෙනව.
ඒ නිසා මතක තබා ගන්න. පාසල් නිමවූවායින් පසුව හෝ උපකාර පංති වෙලාවක හෝ ඇලේ, දොලේ, වැවේ, මුහුදේ නාන්න යන්න අඬ ගහනව නම්, අනුන්ගෙ දේ පැහැර ගන්න පොළඹවනව නම් ගැහැණු පිරිමි භේදයක් නැතුව විහිළු, තහළු කරල අනුන්ට පිඩා දෙනවනම්. අනුන්ට හිරිහැර කිරිමට තමාටද අඬ ගසනවා නම්, මොනයම් හෝ මත් ද්‍රව්‍යකට, මත් වතුරකට, සිගරැට්ටු, බීඩි වලට, බුලත් විටකට, අනවශ්‍ය චිත්‍ර කථා කියවීමකට හෝ නිතර කොම්පියුටර් ගේම්වලට, වී. සි. ඩි., ඞී. වී. ඞී ආදිය නැරඹිමට, ඇසිමට පෙළඹී සිටින්නෙක් නම් කරුණාකර ඔබ එම මිතුරාගෙන් ඇත් වන්න එය ඔබේ යහපතට හේතු වේවි. ඒත් සමගම ඔබත් සිතන්න. මෙම වැරදි ඔබ ළගත් තිබේ නම් කරුණාකර ඒවා හදා ගන්න. එවිට ඔබත් හොඳ මිතුරෙක් වේවි. ඔබටත් එවැනි හොඳ මිතුරු මිතුරියන්ම එකතු වේවි.
ඔබට කල්‍යාණ ම්ත්‍ර සම්පත්තියම ලැබේවා!




