සඳකඩ පහණ
සඳකඩ පහණ යනුවෙන් හැඳින්වෙන්නේ පඩිපෙලෙහි අවසාන පඩියයි. එය අටුවාවන්හි විස්තර කර ඇත්තේ (සෝපන හෙට්ඨිචන්ද නම් පාෂාණ) පියගැට පාමුලෙහි ඇති අඩ සඳක හැඩය ගල් පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස කෙරිණි. සඳකඩ පහණ අනුරාධපුරයෙහි ගොඩනැගිලි තැනීම ඇරඹුණ මුල් කාලයේදීම (ක්‍රි.පූ. 3 වන සියවසේ) ආරම්භ වූ බව සිතිය හැකිය. සඳකඩ පහන (7-9 වන සියවස් වලට අයත් වේ.) මුල් කාලයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමට නිමවා තිබුනද පසු කාලෙය් කැටයම් වලින් සැරසූ බව සිතිය හැකිය. පසු කාලයේ වුවද කැටයම් සහිත සඳකඩ පහන යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සඳහාය.
මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ පිළිම ගෙවල් වලට ඇතුළුවන තැනැත්තාව සිහිපත් කරයි. එතුමාගේ අදහස් අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස (ශෛලිගත) නිරෑපනය කරන ලද ගිනිදැල්ලයි. එයින් අදහස් කරන්නේ සාමාන්‍ය ලෝකයේ කරදර දුක් ගැහැට වලින් පිරී තිබෙන බවයි. (ලෝකය ගින්නේ දැවෙද්දී කුමන සිනහවක්ද? - ධම්ම පදය)
ඝන ලියවැලෙන් තෘෂ්ණාවද, හංස පේලියෙන් පිරිසිදු බවද, සත්තාවලියෙන් සංසාරයද, පද්මයෙන් නිවනද, අපේක්ෂා කරයි.
එයින් දැක්වෙන්නේ ලෝකයේ බුද්ධිමත් පුද්ගලයන් පවතින නරක අත්හැර ධර්මය අනුගමනය කරන බවයි.
පසු කාලයේ විවිධ හැඩයෙන් යුත් සඳකඩ පහන් දැකිය හැකිය. ඒ අනුව අශ්ව ලාඩමක හැඩයේ සඳකඩ පහන්ද දැකිය හැකිය. ඉන්පසු කාලයේදී සම්ප්‍රධාය ලෙස එම ගොඩනැගිලි ඉදිරියෙන් (සිමෙන්ති වැනි) සඳකඩ පහන් නිර්මාණය කරන ලදී.
සඳෙන් අඩක් බඳු ගල යන අරුත ඇතිව නිම වූ විශිෂ්ට නිර්මාණයක් ලෙස සඳකඩ පහණ හැඳීන්විය හැකිය.මුල් සඳකඩ පහණ කැටයම් රහිත වුව ද පසුකාලීනව බිහි වූ සඳකඩ පහණ හි විවිධ කැටම්වලින් අලංකාර වී ඇති සැටියක් දක්නට ලැබේ.මෙය අනුරපුර හා පොළොන්නරු යන ඉපැරණි නගරයන්හි දක්නට ලැබේ. මහා තේජසින් ඔබිනව විරාජමාන වූ ගල්කණු ඉදිරිපස අදටත් නටබුන් නොවී පවතින නිර්මාණයක් ලෙස සඳකඩ පහණ හැඳින්වේ. අනුරාධපුර සඳකඩ පහණ හි කැටයම් යම් රටාවකට අනුව නිමවා ඇත. එහි මධ්‍යයෙහි අර්ධ නෙළුම් මලකි. ඉන් අනතුරුව නෙළුම් පොහොට්ටු තුඩින් ගත් හංස පේළියකි. හංස පේළියට පිටින් ලියපත් පෙළියක් වේ. ඉන් අනතුරුව ඇත්, ගව, සිංහ, අස් ආදී සත්වයන් එකා පිටුපස එකා යන අයුරුත් නිරූපිත දසුනකි.
බාහිර අඩ රවුම ඉන් පසුව ඇති අතර එහි පලාපෙති මෝස්තරයකි. මෙලෙස නිම වූ අලංකාරම සඳකඩ පහණ දක්නට ඇත්තේ අනුරාධපුර බිසෝ මාළිගය ඉදිරිපිටය. මෙය මහසෙන් මණ්ඩපය ලෙස ද හඳුන්වයි. එහි ඉදිරිපස ඇති ඉහත කී සඳකඩ පහණ දැනට ආසියාවේ ඇති අලංකාරම සඳකඩ පහණ ලෙස සැලකේ.එහෙත් පොළොන්නරුවේ ඇති සඳකඩ පහණ අනුරාධපුර සඳකඩ පහණට වඩා මඳක් වෙනස් වේ. ඇත්, අස්, සිංහ, ගව යන සත්වයින් ගේ ‘ගව‘ රූපය පොලොන්නරු සඳකඩ පහණෙන් ඉවත් වී ඇත. එයට හේතු වී ඇත්තේ එහි ඇති හින්දු බලපෑම වේ.
හින්දු භක්තිකයන් ගවයාට මහත් ගෞරව දක්වයි. එනිසා පයට පෑගීම එම සත්වයාට කරන නිගරුවක් ලෙස ඔවුන් සලකයි. ඒ හේතුවෙන් එම යුගයේ නෙළන ලද සඳකඩ පහණින් ගවයා ඉවත් කොට පියගැට පෙළ ඉදිරිපස ගවයාගේ රුව නෙලා ඇති අයුරු එහි දී දැකගත හැකිය. තවද අනුරපුර සඳකඩ පහණෙහි එකා පසුපස එකා ලෙස ගමන් කරන සිංහ, ඇත්, අස් යන සතුන් පොළොන්නරු සඳකඩ පහණේ වෙන වෙනම පේළි වශයෙන් ගමන් කරයි. පොළොන්නරු යුගයේ ඇති සඳකඩ පහණේ හි උසස් නිර්මාණයක් ලෙස දැකිය හැකිවන්නේ වටදාගෙය ඉදිරිපස ඇති සඳකඩ පහණයි.
අනුරාධපුර යුගෙන් පොළොන්නරු යුගයටත්, ඉන් අනතුරුව මහනුවර යුගයටත් ව්‍යාප්ත වූ සඳකඩ පහණේ තවත් වෙනස්කම් ඇතිවිනි. එහි මධ්‍යයේ ඇති නෙළුම් මල අඩක් ලෙස නොව පූර්ණව දැකිය හැකි වේ. සත්ව රූප සම්පූර්ණයෙන්ම ඉවත් වී ගොස් ඇති අතර ඉතිරි කොටස් ලිය වැල හා ලිය පත අනුසාරයෙන් අලංකාර කොට ඇත. එසෙම එහි හැඩය ද අනෙකුත් යුගවල සඳකඩ පහණ වලට වඩා විශාල ආකාරයක් ද වේ. ලාංකීය කලාකරුවා රළු ගල් කුළක් සුමට පෘෂ්ඨයක් ලෙසට පරිවර්තනය කොට ඉතා අලංකාරව නිමවා ඇති සඳකඩ පහණ යුගයෙන් යුගයට වෙනස් මුහුණුවරක් ගත්ත ද, ඉන් හෙළ කලාකරුවාගේ උසස් නිර්මාණ ශක්තිය පිළිබිඹුවේ.
අනුරපුර යුගයේ සඳකඩ පහන
අනුරාධපුර අභයගිරි විහාරයේ බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිලි පහකින් යුක්තව තනන මෙම ක්‍රමය (පංචවාස) නමින් හැඳින්වේ
අනුරාධපුර අභයගිරි විහාරයේ බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිලි පහකින් යුක්තව තනන මෙම ක්‍රමය (පංචවාස) නමින් හැඳින්වේ
පොළොන්නරු යුගයේ සඳකඩ පහන
12 වන සියවසේදී පොළොන්නරු යුගයේදී හින්දු ආගමික බලපෑමත් සමගම ගව රෑපය පූජනීය වස්තුවක් සේ සලකා සඳකඩ පහණේ කැටයම් වලින් ගවයා ඉවත් කරන ලදි.
මහනුවර යුගයේ සඳකඩ පහන
17 වන සියවස පමණ වන විට ක්‍රමයෙන් කවාකාර ස්වරූපයට පරිවර්ථනය වෙමින් මහනුවර යුගයේ සඳකඩ පහන විකාශනය විය.
ගලේ රටා කියන කතා
පද්මය - නිවන
ලියවැල - තෘෂ්ණාව
හංසාවලිය - පිරිසිදුබව
සත්තාවලිය - සංසාරය
ගිනිදැල්ල - සතර අගතිය

