එහිදී දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාකිස්ථාන් ජාතිකයන් කිහිපදෙනකු හා තවත් පාතාල කෙරුමන් දෙදෙනකු වන මහරගම කලු ඉෂාර හා ගල්කිස්සේ වෙළේ ගුණා පිළිබඳ සටහන් නොවුවහොත් එය අඩුපාඩුවකි.
දෙමටගොඩ දාවිත්ගේ ගල්කිස්ස ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන්නා ද වන වෙළේ ගුණා මේ වන විට මෙරට සුප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක සියයට හැටක් පමණ කොටස් හිමි කෝටිපතියකු බවද කියති. කාලයක සිට ගල්කිස්ස පාතාල රාජධානියේ ඔටුන්න හිමිව ඇත්තේ ද මේ ගුණාටය.
මහරගම කලු ඉෂාර යනු මහරගම ප්‍රදේශය රාජධානිය කරගෙන දිගු කලෙක සිට මහරගම හා අවට ප්‍රදේශයට මත්කුඩු බෙදා හරින ප්‍රබල පාතාල මැරයෙකි.
මිනිස් ඝාතනයක සැකකරුවකු ලෙස ඔහු දැනට බන්ධනාගාරගතව සිටින අතර මත්කුඩු තොගයක් සමග පොලිසියට කොටු වීම නිසා වෙළේ ගුණා සිරබත් කමින් සිටී.
මෙරට හෙරොයින් ජාවාරමේ හිනිපෙත්තේ සිටින දෙමටගොඩ දාවිත්, වෙළේ ගුණා ඇතුළු කල්ලිය රටේ අනාගත පරපුරට කුඩු පොවා දිනකට උපයන සුද්ද ආදායම රුපියල් ලක්ෂ 20 ඉක්මවා තිබෙන බවද කියති.
බන්ධනාගාරගත පාතාල කෙරුමන් මත්කුඩු ජාවාරමින් අද රට වනසමින් සිටින්නේ එසේය. එහෙත් වර්තමානයේ අප උපන් මේ පින් බිම තුළ සැළසුම් සහගතව ක්‍රියාත්මක ජාලගත හෙරොයින් ජාවාරම දෙස බැලුවහොත් සිදුවෙමින් තිබෙන්නේ ඊටත් එහා ගිය ඇති දැවැන්ත ව්‍යසනයකි.
ඒ බන්ධනාගාරයෙන් පිටතදී ද රට පුරා විහිද යන අයුරින් තවත් පාතාල කෙරුමන් රැසක් මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වා බෙදා හැරීමේ යෙදී සිටින බැවිනි.
දෙමටගොඩ අමල්, මාතර ඛාන්, එමිල්, ගාල්ලේ විදුර, බොරැල්ලෙ ඛන්නා, තොටළඟ නවුසර් සහ ජින්නා, ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ විනීතා, ජාඇල ක්‍රිෂාන්ත, කිරුළපනේ සිරිල් හා රම්‍යා, පොල්හේන්ගොඩ අමිත්, මෝදර ප්‍රීති ජූන්ට, බත්තරමුල්ලේ සීමන්, ධර්මසිරි හා කලා මිගාර, මීගමුවේ රොම්ලස් හා බිබිලි පාරිස්, කැලණියේ වර්ෂා, නිශාන්ත නුවර කුඩු ෆරීඩා, කොටහේන රොලෙක්ස්, සොබා, කොළඹ අලුත්කඩේ ඡේසන් යනු එකී පාතාල කෙරුමන් සහ කෙරුම්කාරියන්ගෙන් කිහිපදෙනෙකි.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ සමයේ මෙරටට මත්කුඩු ගෙනෙන ප්‍රධානම කේන්ද්‍රස්ථානය බවට මන්නාරම ප්‍රදේශය පත්ව තිබිණි. එහිදී අංක එකේ හෙරොයින් ප්‍රවාහනය කරන්නන් ලෙස එල්. ටී. ටී. ඊ. මුහුදු කොටි ත්රස්තයන් පෙරමුණ ගෙන සිටි අතර ඉන්දියාව හා පාකිස්තානයේ සිට විශාල වශයෙන් මෙරටට මත්කුඩු රැගෙන ඒම නොකඩවා සිදු කෙරිණි.
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් එලෙස මේ බිම ත්‍රස්තවාදයෙන් පමණක් නොව මත්කුඩුවලින් ද විනාශය වෙත රැගෙන යද්දී. එකල ත්රස්තයන් ගෙන එන මත්කුඩු රට පුරා බෙදා හැරීමේ කොන්ත්‍රාත්තුවට උරදී සිටියේ දකුණේ ක්‍රියාත්මක වූ පාතාල කෙරුමන්ය.
මෙම කාර්යයේදී ඒ සමයේ දකුණේ ක්‍රියාත්මකව සිටි ද්‍රවිඩ, මුස්ලිම් හා සිංහල ආදී වශයෙන් වූ පාතාලයේ රජ කළ සෑම කණ්ඩායමක්ම එල්. ටී. ටී. ඊ. හා බද්ධ වී සිටියහ. ඒ දිනවල ආරක්ෂක බුද්ධි අංශ මගිssන්ද දකුණේ පාතාල කණ්ඩායම්හි මෙම කෙරුවාව පැහැදිලිව අනාවරණය කරගෙන තිබිණි. මෙහිදී හෙරොයින් කුට්ටියට පෙම් බැඳි දකුණේ පාතාල කෙරුමන් එල්. ටී. ටී. ඊ. යට දකුණේ ත්‍රස්තවාදය වැපිරීම සඳහා විවිධ අයුරින් වරදාන ලබා දුන් බවටද බුද්ධි අංශ හෙළි කරගෙන තිබිණි.
ඇතැම් අවස්ථාවල දකුණට පැමිණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්රස්තයන් පවා සිය ඉලක්ක සපුරා ගන්නා තුරු දකුණේ පාතාලයන්ගේ සෙවනේ සැඟව සිටි අවස්ථා ද විය.
මේ බිම අමු සොහොනක් කළා වූ එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන්ගේ ඉතිහාසයට උරුමව තිබුණේ දශක තුනක කාලයකි. ඒ කාලය පුරා මේ රට වැනසූ ත්‍රස්තවාදය දැන් අවසන්ය. එහෙත් ඒ ත්‍රස්තවාදය හා බද්ධව සිටි මෙරට පාතාලය මෙන්ම ඔවුන්ගේ මත්කුඩු ජාවාරම මේ වන විටත් එහි දෙවන දශකයේ අවසානයට ළඟාවෙමින් සිටිති.
එසේ වුවද මෙහි විනාශයට අප දශක තුනක් බලා සිටිය යුතුද? තැන. එසේ වුවහොත් රටට සිදුවන ව්‍යසනය සුළුපටු නොවනු ඇත.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ යථාර්ථය මැනවින් හඳුනාගෙන ආරක්ෂක අංශයන්හි ඊළඟ මෙහෙයුම් පාතාලය දෙසට යොමු කිරීම පිළිබඳ අද මෙරට සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ සුවිශාල ප්‍රසාදයකි. මෙහිදී කටපුරා ජනාධිපතිවරයාට පින්සිදු විය යුතු යෑයි කියන්නෝ ද බොහෝ සිටිති. මේ ලිපියට කරුණු සොයා ගැනීමට කළ කතා බහවලදී එය මා බොහෝවිට අත්දුටුවෙමි.
වන්නි මානුෂීය මෙහෙයුමත් සමග සිදුවූ එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදයේ අවසානය හමුවේ මන්නාරම ප්‍රදේශයට කේන්ද්‍රගතව තිබූ මෙරටට මත්කුඩු රැගෙන ඒමේ ජාවාරමට එල්ල වූqයේ මරු ප්රහාරයකි.
එහෙත් මෙහිදී එල්. ටී. ටී. ඊ. ය විනාශ වුවද එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය හා බද්ධව ක්‍රියාත්මක වූ දකුණේ පාතාලය තවදුරටත් විරාජමානව තිබිණි.
ඒ අනුව එල්. ටී. ටී. ඊ. ය සමග මිතුරුව සිටියදී ඇති කරගත් සබඳතා මත මත්කුඩු ජාවාරමේ ජාත්‍යන්තර ඒජන්තයන් හා ගනුදෙනු කරන තත්ත්වය දක්වා දකුණේ සිටි ඇතැම් පාතාල ප්රබලයන්ගේ ක්‍රියාකාරකම් විහිද ගොස් තිබිණි. මේ වන විට එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන් සමග පැවැත්වූ සබඳතා නිසාම ආරක්ෂක අංශවලින් බේරීම සඳහා දකුණේ රජ කළ තවත් පාතාලයන් කිහිපදෙනකු සිටියේ රට හැර ගොස් විදේශගතවය.