ප්‍රතිකාර සඳහා රැගෙන ගිය මත්කුඩු ජාවාරම්කරු නිශාන්ත මෝදර පොලිසියට රැගෙන ආවේය. අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් භාරයේ සිටින බව ඔහුගේ ඥතීන්ට දැනුම්දීමට පොලිසිය කටයුතු කළේය.
පොලිසියට පහරදී ආයුධ පැහැර ගෙන යැම ඉතාම බරපතල සිදුවීමක් විය. වහාම ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දුන්නේය.
අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි ආර්. එල්. රණවීර එහි ස්ථානාධිපති හේමන්ත දික්ඕවිට ඇතුළු නිලධාරීහු මට්ටක්කුලිය පොලිසිය වෙත පැමිණ සිය පරීක්ෂණ ආරම්භ කළහ.
සිද්ධිය වී හෝරාවක් ගතවීමට පෙර මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත්වූහ.
සර් අපි සේරම කියන්නම් අපිට කරදර කරන්න එපා. පොලිසියට ගහලා ආයුධ අරන් ගිය අයත් අපි දැක්කා ඒ අය අපි පෙන්වන්නම්.
අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර සිටි තිදෙනකු අනෙක් සැකකරුවන් පොලිසියට සොයාදීමට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූහ.
එදින රාත්‍රිය පහන්වන විට මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රධාන පෙළේ සැකකරුවන් 36 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසය සමත් විය. තොරතුරු ලබාදීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සැකකරුවන් මාර්ගයෙන් පැහැරගත් පිස්තෝල තුනද සොයා ගැනීමට පොලිසියට හැකි විය.
ඒ පිස්තෝල නිවාස තුනක වළ දමා තිබියදී සොයාගත් අතර ඒවා රැගෙන ගිය සැකකරුවෝ අත්අඩංගුවට ගත්හ.
එහෙත් චූටි උක්කුවා ගල්සම්පත් සහ කළුමහත්තයා පොලිස් ඇසින් බේරී පැන ගත්හ. එකම යුද පිටියක් බවට පත්ව තිබූ සමිට්පුර ප්‍රදේශය පසුදා පහන් වන විට මුළුමනින්ම පාලනය කිරීමට යුදහමුදාව සහ පොලිසිය සමත් වූහ.
ඒ වන විට සමිට්පුර ප්‍රදේශයේ නිවාස වෙළෙඳසල් සහ වාහන රැසකට ප්‍රහාර එල්ල කර ඒවාට බරපතල හානි කිරීමට කිසියම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කර තිබිණි. මේ සිදුවීමට සම්බන්ධ නොවූ අහිංසක පුද්ගලයන්ගේ නිවාස රැසක්ම මෙසේ ප්රහාරයන්ට ලක්වී තිබිණි. දුක්මහන්සියෙන් උපයාගත් දේපල විනාශ වී තිබීම නිසා ඔවුහු දැඩි කම්පාවට පත්ව සිටියහ.
පසුදා උදෑසන (4 වැනිදා ඉරිදා) මුළු මෝදර ප්‍රදේශයම ආවරණය වන පරිදි දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ පොලිසිය සහ යුද හමුදාව ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන තුන්සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගත්හ.
පාසල් දරුවන්, ගැබිනි මවුවරුන්, වයෝවෘද්ධ පුද්ගලයන් කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වූහ.
මොවුන් අතුරින් ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් තෝරා ගැනීම පොලිසියට විශාල ප්‍රහේලිකාවක් විය. සැකකරුවන් සොයා ගැනීමට උපකාර කළ පුද්ගලයන් තිදෙනාගේ සහාය ඒ සඳහා ලබා ගැනීමට පොලිසිය තීරණය කළහ.
සර්... පොලිසියට ගහන්න ආව අය පෙන්වන්න පුළුවන්. හැබැයි පස්සෙ උන් අපිව මරලාදායි. ඒ නිසා අපි මුහුණු වහගෙන ඇවිත් මිනිස්සුන්ව පෙන්වන්නම්.
අත්අඩංගුවේ සිටි පුද්ගලයන් තිදෙනා පොලිසියට කීහ. පසුව තුන්සීයකට අධික සැකකරුවන් පිරිස මෝදර ප්‍රදේශයේ ක්‍රීඩංගනයක් වෙත බස් රථ වලින් රැගෙන යැමට පොලිසිය කටයුතු කළේය.
සැකකරුවන් සොයා දීමට ඉදිරිපත්වූ පුද්ගලයන්ගේ මුහුණු වසා දමා ඔවුහුද එම ස්ථානයට රැගෙන ගියහ. මේ ක්‍රියාවලිය බොහෝ දෙනෙකුට මෙරට එක්තරා අතීතයක් ආවර්ජනය කරන්නක් විය.
එදා 88/89 භීෂණ සමයේ මුහුණු වසාගෙන ආ ගෝනිබිල්ලන් ඡේ. වී. පී. කාරයන් සොයා ගැනීමට පොලිසියට සහයෝගය දුන්නේ මේ ආකාරයට බව බොහෝ දෙනෙකුගේ සිත්වලට නැඟෙන්නට වූහ.
ගෝනිබිල්ලන් තිදෙනාගේ සහායෙන් සැකකරුවන් 176 දෙනකු හඳුනාගැනීමට පොලිසිය සමත් වූහ. ප්‍රහාරයට සම්බන්ධ නොවූවන් ඒ මොහොතේම මුදාහැරීමට පොලිසිය කටයුතු කළේය.
මට්ටක්කුලිය පොලිසිය විනාශ කර දැමීමේ මෙහෙයුමට නායකත්වය දුන් චූටි උක්කුවා ඇතුළු කීපදෙනකු කොළඹ නගරයද අතහැර ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.
මත්කුඩු ජාවාරම්කාරයන් පාතාල සාමාජිකයන් කොළඹ පොලිස් ස්ථානයකට පහරදී එහි බලය අත්පත් කරගෙන අවි ආයුධ පැහැරගෙන යැම ඉතාම බරපතල සිදුවීමකි. මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ නමට බලවත් කැළලකි.
මට්ටක්කුලිය පොලිසියේද යම් යම් දුර්වලතා නිසා මෙවැනි බරපතල තත්ත්වයක් ඇති වූ බව නොරහසකි. කොටි ත්‍රස්තවාදී තර්ජන පැවැති කාලසීමාවේදී පොලිසිය ප්‍රජා පොලිස් සේවාව හරහා සාමාන්‍ය ජනතාව සමග විශාල සම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය. පොලිසිය මහජනතාවත් අතර සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන තිබුණේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබිණි.
තතුදත් ආරංචි මාර්ග පවසන අන්දමට මට්ටක්කුලිය පොලිසිය තම බල ප්‍රදේශයේ ජනතාව සමග එතරම් හොඳ සම්බන්ධතාවක් ගොඩගෙන තිබුණේ නැත. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී යම් යම් අඩුපාඩු සිදුවූ බවද දැනගන්නට ඇත.
මේ හේතූන් නිසා මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාව වැඩි පිරිසක් පොලිසිය සමග සිටියේ වෛරයකිනි.



