මෙයා මෙච්චර කළු වුණේ කොහොමද? (විද්‍යාත්මක පැහැදිලි කිරීම)
ඔයා දන්නවද, මේ කළු කොටියෙක්ගේ බිහිවීම පිටිපස්සේ තියෙන්නේ සොබාදහමේ මාරම "ජානමය සෙල්ලමක්"? කළු කොටියෙක් ඉපදෙන්නේ **"Melanism" (මෙලනිසම්) කියන සුවිශේෂී තත්ත්වය නිසා. මේක සරලවම කිව්වොත්, අපි හැමෝම අහලා තියෙන ඇලිබව එහෙමත් නැත්නම් Albinism වල සම්පූර්ණ අනිත් පැත්ත. විද්‍යාත්මකව බැලුවොත්, මෙයාගේ සිරුරේ සමට සහ ලොම්වලට වර්ණය ලබාදෙන "මෙලනින්" කියන වර්ණකය අසාමාන්‍ය විදිහට, ඒ කියන්නේ සීමාව ඉක්මවා ගිහින් ශරීරය පුරාම වැඩිපුර නිපදවෙනවා.
හැබැයි මේක නිකම්ම නිකම් පාට වෙනස් වීමක් නෙවෙයි. මේක මෙයාගේ සිරුරේ තියෙන Agouti Gene කියන විශේෂ ජානයේ සිද්ධ වෙන විකෘති වීමක් නිසා තමයි මේ අඟුරු වගේ කළු පෙනුම මෙයාට ලැබෙන්නේ. සාමාන්‍ය කොටියෙක්ගේ තියෙන රන්වන් පාට ලොම් වෙනුවට, මේ අතිරික්ත මෙලනින් වර්ණකය නිසා මුළු සිරුරම අඳුරු සෙවනැල්ලක් වගේ කලුපාට වෙනවා.
තවත් පුදුම හිතෙන දෙයක් තමයි, මේ කළු පාටට යටින් මෙයාගේ අනන්‍යයතාවය වෙච්ච "තිත් රටාව" (Rosettes) එහෙම්මම තියෙන එක. හිරු එළිය කෙලින්ම මෙයාගේ හමට වැටුණු වෙලාවට, අර කළු පාටට යටින් හැංගිලා තියෙන තිත් රටාව ඔයාට පැහැදිලිවම බලාගන්න පුළුවන්. මේ වගේ කලු කොටි පැටියෙක් එපදෙන එක නිකම්ම උපතක් නෙවෙයි ඒක ඝන වනාන්තරයක අඳුර ඇතුළේ අදෘශ්‍යමාන දඩයක්කාරයෙක් වෙන්න සොබාදහම විසින්ම මෙයාට ලබා දීපු සුපිරි ජානමය ආවරණයක්.
කළු කොටියෙක් ඉපදීම කොච්චර දුර්ලභද?
මුළු ලෝකයම පීරලා බැලුවත් කළු කොටියෙක් දකින්න ලැබෙන්නේ හරිම අතලොස්සකට විතරයි. සංඛ්‍යාලේඛන දිහා බැලුවොත් මුළු ලෝකයේම ඉන්න කොටින්ගෙන් කළු කොටින් ඉන්නේ යන්තම් 11% ක් වගේ අතිශය සුළු ප්‍රමාණයක් විතරයි. හැබැයි මේ "කළු කුමාරයාගේ" පැතිරීම ලෝකයේ එක එක පැතිවලට අනුව මාරම විදිහට වෙනස් වෙනවා.
ඉන්දියාවේ සහ මැලේසියාවේ වගේ රටවල්වල තියෙන, ඉර එළිය පවා පොළොවට වැටෙන්නේ නැති අතිශය ඝන අඳුරු වනාන්තර ඇතුළේදී කළු කොටින් දකින්න ලැබෙන සම්භාවිතාව වැඩියි. ඒක නිකම්ම සිද්ධ වෙන දෙයක් නෙවෙයි; ඒ වගේ ඝන අඳුරක් ඇතුළේ හැංගිලා සතුරන්ට නොපෙනී දඩයම් කරන්න මෙයාට මේ කළු වර්ණය "Natural Camouflage" එකක් එහෙමත් නැත්නම් ස්වභාවික ආවරණයක් ලබා දෙනවා. කළුවර ඇතුළේ කළු සෙවනැල්ලක් වගේ දඩයමේ යන මෙයාව අඳුරගන්න එක ගොදුරකට හීනයක් වගේ.
අපේ ලංකාව ගැන කතා කළොත්, කළු කොටියා කියන්නේ "ලෙජන්ඩ්" එකක් වගේ අතිශය දුර්ලභ ජීවියෙක්. අවුරුදු ගණනාවකට පස්සේ ශ්‍රී පාද අඩවිය වගේ සීතල කඳුකර වනාන්තරවලින් තමයි මෙයාව ආයෙත් දකින්න ලැබුණේ. නමුත් එයා මද්දකට අහුවෙලා මියගියා. ලංකාවේ සාමාන්‍ය පරිසරය ඇතුළේ මේ වගේ කළු කොටියෙක් ඉපදීමේ සම්භාවිතාව කොයි තරම් අඩුද කියනවා නම්, මෙයාව එක පාරක් හරි දැකගන්න ලැබෙන එක ජීවිත කාලයටම ලැබෙන ලොකුම වාසනාවක් විදිහට තමයි අපිට සලකන්න පුලුවං.
ලෝකයේ කොටි ගහනයෙන් බැලුවොත් කලු කොටි ඉන්නේ 11% ක් වගේ. ඉතිං ඒ වගේ ගොඩකට අපේ සතෙකුත් යනවා කියන්නේ ඒක ලොකු ආඩම්බරයක්.
කළු කොටියා සහ බ්ලැක් පැන්තර් (Black Panther)
ගොඩක් දෙනෙක් පටලවා ගන්න තවත් දෙයක් තමයි මේ "පැන්තර්" කියන නම. ඇත්තටම "බ්ලැක් පැන්තර්" (Black Panther) කිව්වම ඒක ලෝකයේ ඉන්න වෙනමම සත්ව විශේෂයක් කියලා හිතුවොත් ඒක වැරදියි. මේක හරියට පොදු නමක්. ආසියාවේ හරි අප්‍රිකාවේ හරි ඉන්න කළු කොටින්ට (Black Leopards) වගේම, ඇමරිකා මහද්වීපයේ ඉන්න කළු ජගුවර්ලාටත් (Black Jaguars) අපි කියන්නේ බ්ලැක් පැන්තර් කියලාම තමයි.
හැබැයි විද්‍යාත්මකව එයාලා කලු වෙන්න ක්‍රම දෙකක් තියෙනනා. තවත් විදිහකට කිව්වොත් මේ දෙවර්ගයම කළු වුණාට, ඒ කළු පාට ලැබෙන විදිහේ ජානමය වෙනස්කම් ආකාර දෙකක් තියෙනවා:
කොටියාගේ කළු පාට තීරණය වෙන්නේ Recessive එහෙමත් නැත්නම් "නිලීන" ජානයකින්. ඒ කියන්නේ අම්මයි තාත්තයි දෙන්නාගෙම ඇඟේ ඒ කළු ජානය හැංගිලා තිබුණොත් විතරයි කළු පැටියෙක් බිහිවෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒකයි කළු කොටින් මෙච්චර දුර්ලභ වෙලා තියෙන්නේ.
හැබැයි ජගුවර්ගේ තත්ත්වය මීට වඩා වෙනස්. මෙයාගේ කළු පාට ලැබෙන්නේ Dominant එහෙමත් නැත්නම් "ප්‍රමුඛ" ජානයකින්. ඒ කියන්නේ එක දෙමව්පියෙක් කළු වුණත් කළු පැටියෙක් බිහිවෙන්න තියෙන ඉඩකඩ මාරම වැඩියි.
ඉතින් ඔයා දකින හැම බ්ලැක් පැන්තර් කෙනෙක්ම එකම ජාතියේ අය නෙමෙයි. එකෙක් ආසියාවේ ඝන කැලෑවක හැංගිලා ඉන්න කොටියෙක් වෙද්දී, අනිකා ඇමසන් වනාන්තරයේ රජ කරන ජගුවර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ දෙන්නාම කළු වුනත් ඒ පෙනුම පිටිපස්සේ තියෙන්නේ සොබාදහමේ එකිනෙකට වෙනස් අබිරහස් ජානමය කතා දෙකක්!
සොබාදහමේ මේ විපර්යාසය ඇයි?
සොබාදහම කියන්නේ නිකම්ම වැඩක් කරන තැනක් නෙවෙයි; ඒකෙ සිද්ධ වෙන හැම වෙනසක් පිටුපසම ප්ලෑන් එකක් තියෙනවා. විද්‍යාඥයෝ පෙන්වලා දෙනවා අඳුරු, හිරු එළිය පොළොවට වැටෙන්නේ නැති අතිශය ඝන වනාන්තර ඇතුළේදී, සාමාන්‍ය තිත් කොටියාට වඩා කළු කොටියාට ජීවත් වීමේ සහ පැවැත්මේ වාසිය ගොඩක් වැඩියි කියලා. මෙයාට තියෙන ඒ කළු වර්ණය නිසා, රාත්‍රී කාලයේදී කිසිම හතුරෙක්ට තියා ගොදුරකටවත් නොපෙනී, මීටර් කිහිපයක් දක්වාම අතිශය සමීපයට යන්න මෙයාට පුළුවන්. ඒ නිසාම එයාව අභිරහස් දඩයක්කරුවෙක් වෙනවා.
අවසාන වශයෙන් බැලුවොත්, කළු කොටියෙක් කියන්නේ සොබාදහමේ තියෙන පුදුමාකාර ජානමය සෙල්ලමක අවසාන ප්‍රතිඵලයක්. මෙයාව දකින්න ලැබීම පවා කෙනෙක්ගේ ජීවිත කාලයටම ලැබෙන ලොකුම වාසනාවක් විදිහට සලකන්නේ අන්න ඒ දුර්ලභ බව නිසයි. අඳුරු වනාන්තරයක නිහඬව රජ කරන මේ අද්භූත කළු සෙවනැල්ල, අපේ පෘථිවියේ තියෙන ජෛව විවිධත්වයේ මනස්කාන්තම වගේම අභිමානවත්ම කොටසක් කිව්වොත් ඒක තමයි ඇත්තම කතාව! ඉතිං අපි බලමු තවත් කලු කොටියෙක් ලංකාවේ ඉපදෙයිද කියලා.