යාළුවන්ගේ මිත්‍රකම් බලාගෙනයි

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
යාළුවන්ගේ මිත්‍රකම් බලාගෙනයි

අසල්වාසීන්ගේ හා යාළුවන්ගේ මිත්‍රකම් බලාගෙනයි


attachment.php


යාළුවෝ කියන්නේ නැතුවම බැරි ජාතියක්. සමහර යාළුකම් සහෝදර බැඳීම් වගේ. ජීවිත කාලය පුරාම රැඳෙනවා. සමහර යාළු මිත්‍රකම් නිතර දෙවේලේ හමුවුණේ නැති වුණත් මොන විදියකින්වත් නැති වෙන්නේ නෑ. මේ මිතුදම් දෙකම එක වගේ වටිනවා. මොකද මේ දෙගොල්ලොම අත්‍යාවශ්‍ය හැම මොහොතකම ළඟින් ඉන්න අය.



තාවකාලික මිතුදම්, ඉස්කෝලේ යනකල්, පන්ති යනකල්, විශ්ව විද්‍යාලයේ ඉන්නකල්, රැකියාව කරන කල් විතරයි. සමහර යාළුකම් හායි බායි විතරමයි. සමහරවිට ඒකත් නෑ. පොඩි හිනාවක් විතරයි.



අපි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ කොයි මිතුරුකමෙන්ද …?


අපි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ කොයි මිතුරුකමෙන්ද…? සරළවම කිව්වොත් හැම යාළුකමකින්ම පරිස්සම් වෙන්න ඕනේ. නිතර හමුවෙන, හමුනොවෙන, තාවකාලික, සදාකාලික හැම යාළුකමකින්ම පරිස්සම් වෙන්නම ඕනේ. ඒ මොකද යාළු මිත්‍රකම් ඇතැම් වෙලාවට අරන් එන්නේ අවාසනාව මිසක් වාසනාව නෙමෙයි.



අකුල් හෙලන මිත්‍රයෝ


පවුල් පන්සල් වෙන්න කලින් විතරක් නෙමෙයි ආදර සබඳතා තියෙන කාලේ ඉඳන්ම සමහර යාළුවෝ කරන්නෙම අකුල් හෙලන එක. හැබැයි එයාලා උඩින් පෙන්නගෙන ඉන්නේ තමන් තරම් හොඳ යාළුවෙක් මේ තුන් ලෝකේවත් නෑ කියලා. හැබැයි කරන්නෙම කුහකකම්. ඒක නිසා ආදර සම්බන්ධයක් පටන් ගත්තම, විවාහ වුණාම යාළුකම් වලින් ටිකාක් විතර ඈත් වෙනවා නම් ඒක ඇඟට ගුණයි. සම්පූර්ණයෙන් යාළුකම අතාරින්න කියන එක නෙමෙයි. නමුත් පවුලක් වුණාම ඒ දෙන්නා වෙනම ඒකකයක්. දරුවෝ ලැබුණම ඒ පවුල ඇතුළේ තීරණ ගන්න සැමියට, බිරිඳට හැකියාවක් තියෙන්න ඕන.



ඇණයක් වගේ ඉන්න මිත්‍රයෝ


හැබැයි සමහර යාළුවෝ ඉන්නවා, කෙටියෙන් කිව්වොත් මාරම ඇණයක්. සමහර වෙලාවට එයාලට අඹු සැමි සබඳතා ගැන පවා දැනගන්න ඕනේ. විශේෂයෙන් මේවා දැනගන්න ඕනේ වෙන්නේ කාන්තා පාර්ශවයට. ඒක නම් එච්චර ලස්සන දෙයක් නෙමෙයි. අතිශය පෞද්ගලික දේවල් පවා ඔවුන්ට කියන්න ඕනේ. නැත්තන් තරහා වෙනවා. ඒක හරිම මානසික වදයක්. පොල්තෙල් ගාලා කොහොල්ලෑ ඇරියත් මේ යාළුවන්ව මොන විදියකින්වත් අත අරින්න බෑ. කූඩැල්ලෝ වගේ එල්ලි එල්ලි එනවා.



මෙයාලගෙන් බේරෙන්න හරිම අමාරුයි. ගොඩක් වෙලාවට මෙයාලට ඕන විදියට තමා අපිට අපේ පවුලේ දේවල් කරන්න වෙන්නේ. දරුවා යන්න ඕන ඉස්කෝලේ තීරණය කරන්නේ මෙයාලා. දරුවා අඳින ඇඳුමේ පැළඳුම කන කෑම බීම පවා මෙයාලා තීරණය කරලා දෙනවා. ඒ විතරක් නම් බැරියැ. ලෙඩක් වුණාම යන්න ඕනේ ඩොක්ට කවුද කියන එකත් මෙයාලා තීරණය කරනවා. මේ තත්වය කොයි තරම් භයානකද කිව්වොත් තත්වය දරුණු වෙනවා සැමියා මේ වදෙන් හති වැටුණු දවසට.



විහින් අමාරුවේ වැටෙන සෙට් එක


ඒ වගේම තමන්ගේ දරුවා පෙර පාසලට, පාසලට දාලා ඇරෙනකල් ගේට්ටුව ළඟට වෙලා ඉන්න අම්මලා කණ්ඩායම් ඉන්නවා නේද…? විහින් අමාරුවේ වැටෙන්න කියාපු සෙට් එක. අමාරුවේ නොවැටී හිටියත් වළට ඇඳලා ගන්න දක්ෂ අම්මලා ඕන තරම්. අනියම් සබඳතා වලට පවා යොමු කරලා ඒවා සැමියන්ට දන්වලා පවුල් අවුලවන්න මෙයාලා තරම් දක්ෂ නැතුව ඇති වෙන කිසිම කෙනෙක්.



එයාලා විතරක් නෙමේ. එහෙම අය සමාජයේ ඕන තරම් ඉන්නවා. ගෑණු පිරිමි දෙගොල්ලොම. ඒක නිසා තමන් ආශ්‍රය කරන යාළුවෝ කරේ තියන් යන්නේ නැතුව සාමාන්‍ය ගාණකට අශ්‍රය කරලා ඉන්නවා නම් ඒක කාගෙත් යහපතට හේතු වෙනවා.



සහෝදර සහෝදරියන් වගේ ඉන්න යාළු මිත්‍රයෝ


මම කලිනුත් කිව්වේ සමහර යාළුවෝ ඉන්නවා සහෝදර සහෝදරියෝ වගේ. එයාලා තමන්ගේ සීමාවන් දන්නවා. ඒ සීමාවේ ඉඳන් උදව් කරනවා. උපදෙස් දෙනවා. හැබැයි කොයිම වෙලාවකවත් පවුල් කඩලා දාන්න, අනවශ්‍ය බලපෑම් කරන්න, ඕන එකටයි එපා එකටයි හැම දේටම උපදෙස් දෙන්න යන්නේ නෑ. ඒ වගේ අය හරිම අඩුයි. හැබැයි ඒ වගේ යාළුවන්ව නැති කරගන්නත් එපා.



“මම මේ දේවල් කියන්නේ ඔයාගෙම හොඳට අනේ….” කියාගෙන ඉන්න අය ඉන්නවා නේද…?? එයාලා ඒ දේවල් කියන්නේ අපේ හොඳටම නෙමෙයි කියන එක පොඩ්ඩක් විතර ඔළුවේ තියාගන්න. ඒ වගේ අය කියන දේවල් හිස් මුදුනෙන් පිළිගන්න යන්න එපා. පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරලා බලන්න. ඒ කියන හැමදේම හරිද කියලා.



පවුල් ජීවිත අසාර්ථක වුණ අය


තමන්ගේ පවුල් ජීවිත අසාර්ථක වුණ අය, දරුවෝ නොමඟ ගිය අය ලෝකෙට කොහොම පෙන්නුවත් හොඳ හිත, එයාලා හිත් ඇතුළෙන් දැවෙනවා. පසුතැවිලි වෙනවා. හොඳින් ඉන්න පවුල් ජීවිත දැක්කම, හොඳ දරුවෝ දැක්කම ඒ හිත් වල ඉරිසියාව ඇතිවෙන එක නවත්තන්න බැහැ. ඉතිං තමන්ට නොලැබුණු දේ තව කෙනෙක්ට ලැබෙනවා දකින්න එයාලා හරි අකමැතියි. ඒක නිසාම එයාලා හරි සියුම් උපක්‍රම මඟින් ඒ ජීවිත විනාස කරනවා. හොඳ හිතවත්කම් පෙන්නගෙන තමා ගොඩක් වෙලාවට මේ දේවල් කරන්නේ.



සැමියගේ බිරිඳගේ නැති වැරදි කියනවා, නැති සබඳතා තියෙනවා කියලා කියනවා. එහෙමත් නැත්නම් අතීත සිදුවීමක් හරි දන්නවා නම් ඒ ගැන කියලා හරි පවුල් ජීවිත අවුල් කරන්න මේ වගේ අය හරි දක්ෂයි. තමන්ගේ සැමියට වඩා මිතුරියගේ සැමියා ලස්සනයි නම්, පෝසත් නම් තමන්ට ලබා ගන්න බැරි නම් මොන මාර්ගෙකින් හරි ඒ පවුල කඩනවා. එහෙම නැත්තම් බිරිඳගේ මිතුරිය ලස්සන නම්, ආකර්ෂණීය චරිතයක් නම් ඒත් ඒ වගේම තමා.



තේරුම් ගැනීමට අපහසු යාළුවො


යාළුවෝ විතරක් නෙමෙයි මේ සමාජයේ මිනිස්සු කියන සත්ව කොට්ඨාසය තේරුම් ගන්න හරිම අමාරුයි. ඉතිං එහෙම සමාජයක හොඳ යාළුවෙක් හොයාගන්න එක කොයි තරම් අමාරුද කියලා කියන්න ඕන නැහැනේ. සමහර යාළුවෝ අපි අමාරුවේ දාන්නේ අපි හීනෙකින්වත් නොහිතන වෙලාවට. සතුරන්ගෙන් පරිස්සම් වෙනවා නම් අපි සීයට සීයක් ඒ වගේ සිය දහස් වාරෙකින් යාළුවන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ.



කළ්‍යාණ මිත්‍රයෙක්ලැබෙන එක සසරේ පිනක්


කළ්‍යාණ මිත්‍රයෙක් ලැබෙන එක සසරේ පිනක්. එහෙම යාළුවෝ පවුල් කඩන්න නෙමේ කැඩෙන්න යන පවුලත් රැකලා දෙනවා. දරුවෙක් නොමඟ යනවා දැක්කොත් ඒ දරුවා යහ මඟට ගන්න උදව් කරනවා. යහපත් දේ මිසක් මොනම වෙලාවකවත් අයහපතක් කරන්න හිතන්නෙවත් නෑ. හොඳ යාළුවෙක් ලැබෙන එක බොහොම දුර්ලභ දෙයක්. එහෙම ලැබෙන යාළුවෙක් රැකගන්න එක ඊටත් වඩා අමාරු දෙයක්. තමන් වටේ ඉන්න යාළුවෝ ගැන සිහි නුවණින් විමසලා බලන්න. ඉන්නේ කළ්‍යාණ මිත්‍රයොද නැත්තන් පාප මිත්‍රයොද කියන එක. මොකද වැඩිපුරම මිතුරු වෙසින් ඉන්නේ නරුමයෝ නිසා.



source http://thewoman.lk/friends-family-life/
 

Attachments

  • Friends thewoman.lk.jpg
    Friends thewoman.lk.jpg
    65.5 KB · Views: 287
  • Like
Reactions: Sanjeewamilan