බෙල්ලෙ කැක්කුම ඔලුවෙ කැක්කුමක් වෙලාද ?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    ⭕කිසිම දිනක සුළුවට හෝ බෙල්ල කැක්කුමක් නොහැදිච්ච කෙනෙක් නැතුව ඇති.

    ⭕කිසිදු විශේෂිත ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන බෙල්ලෙ කැක්කුමක සිට මාරාන්තික රෝගයක මූලික ලක්ෂණයක් වීම දක්වා බෙල්ල කැක්කුමට හේතු තියෙනවා.

    ⭕බෙල්ලෙ කැක්කුම එන්න හේතු තේරුම්ගන්න ලේසි‍යි මුලින්ම බෙල්ල තියෙන අවයව ගැන සුළු අවබෝධයක් ලබා ගත්ත නම්.
    ⭕ බෙල්ලෙ කශේරුකා හතක් තියෙනවා.

    ⭕හිස්කබල සහ පලවෙනි බෙල්ලෙ කශේරුකාව සම්බන්ධ වී තිබෙන ආකාරයට අපිට බෙල්ල ඉහළ පහළට සහ බෙල්ල පැත්තට ඇලකිරීමටට හැකියාව ලැබිලා තියෙනවා.

    ⭕බෙල්ලේ පළවෙනි සහ දෙවෙනි කෂේරුකා සම්බන්ධ වී තිබෙන ආකාරය නිසා අපිට වම සහ දකුණ බලන්න බෙල්ල කරකවන්න හැකියාව ලැබිල තියෙනවා.

    ⭕තුන්වන සිට හත්වන කෂේරුකාව දක්වාම කශේරුකා හාවී තිබෙන ආකාරය ඔය ඉහත කියපු හැම ආකාරයට බෙල්ල හරවන්න උදව් වෙනවා

    ⭕Degenerative changes කියලා හඳුන්වන ඔය කෂේරුකා අතර තියෙන කාටිලේජ ගෙවීයාම් සහ එන අස්ථි වල වෙනස්කම් බහුලව දකින්න පුළුවන් හතර, පහ, හය සහ හත යන කෂේරුකා අතර.

    ⭕ඔහොම වෙනකොට ඔය කශේරුකාංග අතරින් එළියට එන ස්නායු තෙරපීම බහුලව දැක ගන්න පුළුවන්. ඕකට තමා cervical radiculopathy කියන්නේ.

    ⭕ඔය කෂේරුකා අතරින් එළියට එන cervical spinal nerves ලෙස හැඳින්වෙන ස්නායු අටක් තිබෙනවා. ඔය ස්නායු කොටස් දෙකකට තමා සුසුම්නාවෙන් එළියට එන්නේ.

    ✅Ventral කියල හැඳින්වෙන ඉදිරියෙන් එන ස්නායු තන්තු එකතුවේ චලනයන්ට අදාල ස්නායුත්, Dorsal root කියලා හැඳින්වෙන පසුපසින් එන ස්නායු තන්තු එකතුවේ දැනීමට අදාළ ස්නායුත්තේ තිබෙනවා. ඔය දෙක එකතුවෙලා තමයිි cervical spinal nerve එකක් හැදෙන්නේ.

    ⭕ඔහොම හැදෙන ස්නායු නැවතත් දෙකට බෙදිලා හැදෙන dorsal ramus එකෙන් බෙල්ලේ පසුපස කොටසටත් ventral ramus එකෙන් අත්වලට ස්නායු සැපයුම ලබාදෙනවා.

    ⭕එලෙස සැපයුම ලැබෙන මස් පිඩු වල සහ සමේ කොටස් mayotome සහ dermatome ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

    ⭕උදාහරණයක් කියනවා නම් ස්වසන ක්‍රියාවලියට අදාළ වන මහා ප්‍රාචීරයේ චලනයන්ට බලපාන්නේ තුන හතර සහ පහ කියන ඔය cervical spinal nerves.

    ⭕සැලකිය යුතු අවස්ථාවලදී අපට රෝග ලක්ෂණ අනුව බෙල්ලෙ කොහෙද ස්නායු තෙරපීම තියෙන්නේ කියලා දළ අදහසක් ගන්න පුළුවන්.

    ⭕බෙල්ලේ තිබෙන විවිධාකාර මස්පිඩුවල කාර්යය තමා මම ඉහත සඳහන් කරපු චලන පරාසයන්ට උදව් වන ගමන් බෙල්ල හරියට කෙලින් තියාගෙන බෙල්ලෙ ස්නායු පරිස්සම් කරන එක. ඊට අමතරව බෙල්ලේ කශේරුකා cervical lordosis ලෙස අපි හඳුන්වන විශේෂිත වූ ආනතයකින් තබා ගැනීම සඳහා මෙම මස්පිඩු උදව් වෙනවා.

    ⭕මොළයට රුධිරය අරන් යන සහ එන ප්‍රධාන ලේ නහර යන්නේ බෙල්ල හරහා. තයිරොයිඩ් ග්‍රන්ථිය, පැරාතයිරොයිඩ් ග්‍රන්ථි, ආහාර මාර්ගය මුල කොටස බෙල්ලට ඇතුළත්.

    ⭕එතකොට බෙල්ලේ කැක්කුමට හේතුව හොයනකොට අපි කැක්කුම එන්නේ ඔය මොන අවයවයට අදාල ගැටලුවකටද කියල හොයාගන්න ඕනේ.

    ⭕බෙල්කෙ අවයව ඔච්චර තියනවනම් බෙල්ලෙ කැක්කුම එන්න හේතුත් ගොඩක් තියෙනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයිනේ.

    ⭕බෙල්ලෙ මස්පිඩු ඇදීම (cervical strain, cervical spasm), බෙල්ලෙ කාටිලේජ දිරාපත් වීම (cervical spondylosis), බෙල්ලෙ ස්නායු/සුසුම්නාව තෙරපීම (cervical radiculopathy සහ cervical myelopathy), බෙල්ලේ පිලිකා, බෙල්ලේ වසාගැටිති ඉදිමීම, බෙල්ලේ ලේ නහර ඉරීයාම, whiplash injury කියල හඳුන්වන එක වර බෙල්ල අධික ලෙස ඉදිරියට සහ පසුපසට නැවීම නිසා එන ස්නායු ගැටලු, බෙල්ලෙ අතර තියෙන facet joint වල එන osteoarthritis, DISH තත්වය, පපුවේ අමාරුවක් එනකොට එන කැක්කුම, උරහිසේ ආතරයිටිස් රෝගයක් නිසා බෙල්ලේ එන්න පුලුවන් referred pain තත්වය, myofascial pain, Polymyalgia rheumatica, Giant cell arteritis, Takayasu arteritis, cervical rib තත්වය, පෙනහල්ලේ ඉහල කොටසේ එන වර්ධන වගේම තවත් හේතු නිසා බෙල්ලෙ කැක්කුම එන්න පුළුවන්.

    ⭕මේක කියවන ඔබට දැනට පැහැදිලි වෙන ප්‍රධානම දේ වෙන්න ඕනෙ හැම බෙල්ලෙ කැක්කුමකටම එකම ප්‍රතිකාරය කලහම හරි යන්නේ නෑ කියල.

    ⭕ඔය හේතු සඳහන් කළ තත්ව පිළිබඳව සරල වැදගත් කාරණා ටිකක් පහත සඳහන් කරගෙන යන්නම්.

    ⭕ඔය සමහර වෙලාවට එක දිගටම එක දිහාවක් බලාගෙන රැකියාව කරන software engineersල වගේ අයට එන්නේ ඔය cervical strain හෝ cervical musscle spasm කියන තත්වය. ඒකෙදි ස්නයු තෙරපීමක් එන්නේ නෑ.

    ⭕Cervical spondylosis තත්වය තමා ඔය සාමාන්‍ය වහරේ බෙල්ලෙ කාටි ලේජ ගෙවෙනවා කියලා හඳුන්වන්නේ. X ray එක බලනකොට ගොඩක් වෙනස්කම් පෙන්නුවාට ඇත්තටම සැලකිය යුතු ආකාරයට ස්නායු තෙරපීමක් එන්න පුළුවන් ඉතාම සීමිත පුද්ගලයින් ප්‍රමාණයකටයි. බෙල්ලෙ කැල්සියම් තැන්පත් වෙලා කැල්සියම් කඩන්න කියලා නානාවිද වැරදි ප්‍රතිකාර නියම වෙන්නේ ඔය තත්ත්වයට තමා.

    ✅බෙල්ල කැල්සියම් තැන්පත් වෙන්නේ රෝගයේ කොටසක් හැටියට මිසක් ඔබ ආහාරයට හෝ පෙති වශයෙන් ගන්නා කැල්සියම් වැඩි වෙලා නෙමෙයි. බෙල්ලෙ X ray බලලා, හොඳටම කැල්සියම් තැන්පත් වෙලා, ඒ හින්ඳා කැල්සියම් බොන්න එපා කියලා කවුරුහරි ඔබට උපදෙස් දුන්නොත් ඒ සම්බන්ධ මනා දැනුමක් ඇති වෛද්‍යවරයෙක් හමුවෙලා එම තීරණය ගන්න එක නුවණට හුරුයි. මොකෝ ඔබ දැනට බොන කැල්සියම් පෙත්ත හින්ද වෙන්න පුළුවන් කවද හරි දවසක ඔබට ඔස්ටියොපොරෝසිස් හැදිල "උකුල කැඩිලා ඇඳට වැටෙන එක නවතින්නේ"

    ⭕Whiplash injuries එන්නේ විශාල පීඩනයකින් ලොකු චලනයක් ආවහම, හොඳම උදාහරණය තමා අධිවේගී රථ වාහන අනතුරක්. ඔය දේ වළක්වා ගන්න තමා රේස් කාර් පදින අය අමුතු ගැජට් එකක් බෙල්ල වටේ පලඳින්නේ

    ⭕Myofascial pain එකේදී බෙල්ලේ මස් පිඩු වලින් තැනින් තැන රිදෙන තැන් දකින්න පුළුවන්. ඔය තත්වය fibromyalgia තත්ත්වය එක්ක සමහර වෙලාවට පැටලෙන්න පුළුවන්.

    ⭕DISH කියන තත්ත්වයේදී බෙල්ලේ කශේරුකා අතර තියෙන පටකවල අධික ලෙස අස්ථි කොටස් තැන්පත් වෙනවා. X ray එකේ බොහොම පහසුවෙන් ඔය තත්ත්වය හඳුනාගන්න පුළුවන්.

    ⭕Cervical radiculopathy තත්ත්වය දෙන්නේ අර මම පෙර විස්තර කළා වගේ බෙල්ලෙ කෂේරුකා අතරින් එළියට එන ස්නායු වලවල තෙරපීම. ඔය වගේ රෝග අවස්ථාවලදී MRI පරීක්ෂණයක් කළොත් රෝග ලක්ෂණය තියෙන ස්ථානයට අදාළ ස්නායු තෙරපීමක් දකින්න නැති වුණාට රෝග ලක්ෂණ නැති ස්ථානයකට අදාල ස්නායු වල ස්නායු තෙරපීමක් දකින්න පුළුවන් අවස්ථා තියනවා. ඔය හේතුව නිසා තමා ස්නායු ශල්‍ය වෛද්‍යවරු ස්නායු තෙරපීම් තියෙන හැම රෝගියෙක්ම සැත්කම් කරන්නේ නැත්තේ.

    ⭕Cervical myelopathy තත්වයේදී එන්නෙ බෙල්ලේදී සුසුම්නාව තෙරපීම නිසා එන රෝග ලක්ෂණ. ඇවිදගැනීමේ අපහසුතා, මුත්‍රා පිට කිරීමේ සහ මල පහ කිරීමේ අපහසුතා ඇතුළු විශේෂිත රෝග ලක්ෂණ කිහිපයක් දකින්න පුළුවන්. අනිවාර්යෙන් MRI පරීක්ෂණයක් කරලා ඔය තත්ත්වය තහවුරු කරගන්න අවශ්‍ය වෙනවා.

    ⭕බෙල්ල කැක්කුම එන්නේ හේතු රාශියක් තිබ්බට red flags කියලා අපි හඳුන්වනුයේ රෝග ලක්ෂණ හෝ සායනික ලක්ෂණය නැතිනම් විශාල වශයෙන් ලෙඩාට report ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. MRI වගේ පරීක්ෂණ කෙරෙන්නේ තෝරා ගත්ත රෝගීන්ට තමා.

    ⭕අවුරුදු පනහ විතර පැනපු ඕනෑම කෙනෙක්ගේ බෙල්ලෙක් X ray ගත්තොත් සැලකිය යුතු ආකාරයේ කෂේරුකා සහ අනෙක් පටක වල වෙනස්කම් දකින්න පුළුවන්. නමුත් ඔය සෑම වෙනස්කමක්ම රෝගියාගේ බෙල්ල කැක්කුම එන්න හේතු වෙන්නේ නෑ. සැලකිය යුතු අවස්ථාවක කොච්චර X ray වෙනස්කම් තිබ්බත් කිසිම බෙල්ල කැක්කුමක් නැතුව පුද්ගලයා ජීවත් වෙන්න පුළුවන්.

    ⭕MRI පරීක්ෂණයක් කලොත් එක්ක එකේ තියෙන විස්තර වලට අමතරව ස්නායු තෙරපීම තියෙන තැන් හොයාගන්න පුළුවන්. නමුත් ඒවාට නිශ්චිත ප්‍රතිකාරයක් කරනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ "එම වෙනස්කම්වලට අදාළ රෝග ලක්ෂණ" රෝගියා පෙන්වනවා නම් විතරයි.

    ⭕CT scan, CT myelography වගේ පරීක්ෂණ කෙරෙන්නේ MRI පරීක්ෂණයක් කරන්න රෝගියා සුදුසු නැත්නම් විතරයි.

    ⭕Nerve conduction study එකක් වැදගත් වෙන්නේ බෙල්ලෙ ස්නායු තෙරපීමත් සමගම අතේ ස්නායු වලින් ගැටළුවක් තියනවා යයි
    සැක අවස්ථා වලදී තමා. හොඳම උදාහරණය තමා බෙල්ල කැක්කුම එක් එන රෝගියෙක් අතත් හිරිවැටෙනවා කියන අවස්ථාව.

    ⭕ESR, CRP වගේ ඇඟේ ප්‍රදාහය ගැන අදහසක් දෙන ලේ රිපෝට් වල වෙනස්කම් දකින්න තියෙනවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.

    ⭕නිවැරදි ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන් ඉතින් නිවැරදිව රෝගය හොයාගත්තට පස්සේ තමා.

    ⭕X ray එකේ කැල්සියම් වලට බෙල්ලෙ කැක්කුම ආවා කියල හිතාගෙන හැම ලෙඩාටම ප්‍රතිකාර කරන්නන ගියොත් නම් සමහර සැලකිය යුතු රෝග තියෙන ලෙඩුන්ට නිසි ප්‍රතිකාර නොලැබෙන්න පුළුවන්.

    ⭕කල්පනාකාරී වන්න

    ⭕ Dr අරුණ කල්දේරා
    සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යය
    MBBS, MD, MRCP (UK), MRCP (RHEUMATOLOGY)