මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වී අධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින චීවරධාරියෙකු විසින් විහාරස්ථානයකට අයත් සාංඝික ඉඩමක් කූට ලේඛන සකස් කර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමේ පුවතක් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් බයව ටැංපිට රජමහා විහාරය, කැලේගම පුරාණ විහාරය සහ වඳුරැස්ස වේරගොඩැල්ල පුරාණ විහාරයන්හි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කරගස්වැවේ විමලානන්ද හිමියන් විසින් වාරියපොළ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ බයව ටැංපිට රජමහ විහාරස්ථානය සතු, නිවසක් සහිත පර්චස් 30ක පොල් ඉඩම මෙලෙස හොර ලේඛන සකසා අලෙවි කර අනීතික ලෙස මුදල් ලබාගෙන ඇති බවයි.
අදාළ මනුෂ්‍ය ඝාතනය සිදුවීමෙන් පසු අදාළ චීවරධාරියා විහාරස්ථානයෙන් පිටමං කර ඇති අතර, නීත්‍යනුකූල භික්ෂුත්වය අහිමි වීම සහ දායකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඔහු පෞද්ගලික නිවසක ජීවත් වී ඇත. එහිදී ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබූ බැවින්, ජීවත්වීම සඳහා එම ඉඩමේ පොල් ආදායම පමණක් ලබාගන්නා ලෙස තමන් වහන්සේ කටවචනයෙන් ඔහුට දැනුම් දී තිබූ බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
කෙසේ වෙතත්, අදාළ ඉඩමට පිටස්තර පුද්ගලයන් අනවසරයෙන් ඇතුළු වන බවට තොරතුරු ලැබී ඒ පිළිබඳව සොයා බැලීමේදී, මෙම චීවරධාරියා විසින් කූට ලේඛන සකසා ඉඩම සම්පූර්ණයෙන්ම අලෙවි කර මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විහාරාධිපති හිමියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.
