"අත්ලාන්තිසයෙන් නෙරපීම"

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "අත්ලාන්තිසයෙන් නෙරපීම"

    රොබට්. ඊ. හවර්ඩ් ගේ "Exile of Atlantis" නැමැති කෙටි කතාවේ පරිවර්තනයකි.


    පරිවර්ථක: කසුන් ලියනගේ (Dark_Night_of_the_Soul)


    -----------------


    tantor-kull-exileofatlantis.jpg




    Book Cover






    අත්ලාන්තිසයෙන් නෙරපීම
    පලමු කොටස

    හිරු බැසයමින් පැවතිනි. එහි කුණු ලේ පැහැති අවසන් දිස්නය භූමිය පුරා පැතිර තිබිනි. හිම විසිරුණු කදු මුදුන් මත, රුධිර ඔටුන්නක් තැබුවාක් මෙන් එහි ආලෝකය විසිරිලාය. දිනයේ අවසානය නරඹමින් සිටි මිනිසුන් තිදෙනා, සන්ධ්‍යාවේ මද සුළගෙහි ගැඹුරු සුගන්ධය ලය පුරා ආශ්වාශ කලෝය. එම සුළග පැන නැගුනේ ඈතින් තිබූ වානාන්තරයන් තුලිනි. මෙසේ උන් එම මිනිසුන් තිදෙනා, මද වේලාවකින් වඩාත් භෞතිකමය කටයුත්තක යෙදීමට සැරසුනෝය. එක් පුද්ගලයෙකු කුඩා ගිනිමැලයක් මත මුව මස් බදින්නට පටන්ගති. ඔහු දුම් දමන මාංශයට ඇගිල්ලක් තැබුයේ, අනතුරුව එය දිව ගා රස බැලූයේ කලාකරුවෙකු චිත්‍රයක රස බලන උරුවෙනි.

    "කල්, කෑම ලෑස්තීයි -- ගෝර්-නා -- දැන් ඉතිං බුදිමු."

    ඔහු යන්තමින් කොළු වසය පසු කල තරුණ මිනිසෙකු විය. උසැති වූ ඔහු සිහින් බදකින් යුතු වූ අතර, පුළුල් උරසකින් සමන්විත විය. හේ ගමන් කලේ දිවියෙකු චලනය වන්නාක් බදු ලාලිත්‍යයකිනි. ඔහුගේ සහචරයන්ගෙන් එකකු වඩාත් වැඩිමහළු අයෙකු වූයේය. මොහු බල සම්පන්න යෝධ සිරුරකින් යුතු, සිරුර පුරා මවිල් ඉහිරුනු මිනිසෙකු විය. ඔහුගේ මුහුන මත ප්‍රචණ්ඩ පෙනුමකි. අනෙකා මස් පිසූ තරුණයාට සමාන වසයකින් යුතු එකකු වූයේය. එකම වෙනස වූයේ ඔහු මුල් තැනැත්තාට වඩා මදකින් හැඩි දැඩි වීමත්, වඩාත් උසැති වීමත්ය. එමෙන්ම ඔහුගේ උරය වඩාත් ගැඹුරු වූ අතර, උරහිස් වඩාත් පලල් වූයේය. ඔහු අනෙක් තරුණයාට වඩා කඩවසම් සහ බල සම්පන්න සෛය්‍යාවකින් යුතු විය. ඔහුගේ දිගැති සහ සුමුදු මාංශ පේශීන් තුල, හදිසි ක්‍රියාකාරීත්වයකට අවැසි වේගයක් සැගවී ඇත්තක් මෙන් දිස්විනි.

    "බොහොම හොදා," හේ කීයේය, "මට බඩගිනියි."

    "උඹට බඩගිනි නැති වෙලාවක් තියේද?" අනෙක් තරුණය විසිළු කරමින් සිනාසුනි.

    "හටන් කරනකොට මට බඩගිනි නෑ," කල් පිලිතුරු දුන්නේ බරපතල ලීලාවකිනි.

    අනෙකා කල් දෙස බැලුවේ ඔහුගේ සිතුවිලි ගැඹුරෙහි සැගවී ඇති යමක් වටහා ගැනීමට මෙනි. ඔහුට තම මිතුරා පිලිබදව ස්ථීර වූ විශ්වාසයක් තිබුනේ නැත.

    "එතකොට උඹට තියෙන්නෙ ලේ බඩගින්න වෙන්ඩැ," වැඩිමහළු මිනිසා හරස් කැපීය. "අම්-රා, උඹේ වල් පල් විහිළු නවත්තලා ඔය මස් ටික අපට කපලා දියන්"

    රාත්‍රිය නැගී එන්නට විය. එහෙත් තාරකාවන් ඇසි පිය ගසා නොපෙනී යන්නට විය. සන්ධ්‍යා සුළග අන්ධකාර කදු ප්‍රාන්තය පිස දමිමින් හමා ගියේය. හදිසියේම ඉතා ඈතින් ව්‍යාග්‍රයකුගේ ගර්ජනාවක් පැන නැගිනි. ගොර්-නා තමා අසල වැතිර තිබූ ගිනි-ගල් තුඩක් සහිත හෙල්ලය දෙසට චලනය වූයේ සහජාසයානුගතවය. කල් තම හිස හැරවූ අතර, ඔහුගේ අළුවන් ශීතල දෑස් තුල කිසියම් අසාමාන්‍ය වූ අලෝකයක් නිවි නිවී දැල් වුනේය.

    "අපේ ඉරි-සහෝදරවරු අද රෑට දඩයමට ලෑස්ති වෙනවා." හේ කීයේය.

    "උන් අර පායන හදට වන්දනා කරනවා." අම්-රා පෙරදිග දිශාව පෙන්වූ අතර, එතැන අකාශයෙහි රතුවන් දිස්නයක් මතුවී එන බව සහතිකවම පෙනී ගියේය.

    "ඒ මොක?" කල් විමසුවේය.

    "හද උන්ට උන්ගේ ගොදුරු සහ උන්ගේ හතුරෝ පෙන්නුම් කරලා දෙනවා."

    "එක පාරක්, අවුරුදු සිය ගානකට උඩදී," ගොර්-නා පැවසීය, "දඩයක්කාරයෝ වගයක් රජ කොටියෙකු පිටිපස්සේ එලෙවුවා. කොටියා හදේ ඉන්න ස්ත්‍රී පරානෙට කෑ ගහලා කථා කරා. එතකොට ඒ ගෑණු පරානේ, හදේ ඉදන් පහලට වැලක් වීසි කලා. ඌ ඒ වැල දිගේ කරදරයක් නැතුව හදට නැගලා, අවුරුදු ගානක් හදේ වාසේ කලා. එදා ඉදන් හැම ඉරි-මිනිහෙක්ම හදට වන්දනා කරනවා"

    "මල විකාර" කල් එකවරම කියා දැම්මේය. "ඉරි-මිනිස්සු මොකද එච්චර කාලෙකට උඩදී තමන්ගේම එකෙක්ව මරන්ඩ උපකාර කරපු හදව වදින්නේ? හොගක් කොටියෝ මාරක ගල නැගලා දඩයක්කාරයින්ගෙන් බේරිලා ගිහිං තියෙනවා. ඒත් උං ඒ ගලට වදින් නෑ නෙව. උං කොහොමද ඕච්චර කාලෙකට කලිං සිද්ද වුනයි කියන ඔය හදේ හුටපටේ ඇත්තක්ද කියලා දන්නේ?"



    ------



    මතු සම්බන්ධයි...
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    conan_the_barbarian_copy.jpg


    ..ගොර්-නා ගේ නලල අදුරු වී ගියේය. "ඒම කියන්ඩ හොදයැ, කල්. උඹේ ලොක්කන්වයි, උඹව හදාගත්තු මිනිස්සුන්ගේ පුරාවෘත වලටයි විහිළු කරන්ඩ හොදයැයි. ඒ ඉතිහාස කතාව ඇත්තක් වෙන්න ඕන. මොකෝ, මිනිස්සුන්ට අමතක වෙලා ගිය පරන අතීත කාලේ ඉදලා, පරම්පරාවෙන් පරම්පරාවට උරුම වුනු කතාවක් ඕක. එච්චර කාලයක් විස්වාස කරපු දෙයක්, බොරු කෙප්පයක් වෙන්ට බෑ."

    "ඒ වුනාට මම ඕක විස්වාස කොරන් නෑ" කල් කියා දැමීය. "මේ කදු මෙතෙක් කල් නොහෙල්වී පැවතිලා තියනවා, ඒත් එක දවසකදී ඒවා දිරාපත් වෙලා කඩා වැටිලා අතුරුදහන් වෙනවා නියතයි. එක දවසකදී මුහුද මේ කදු උඩින් ගලා බහීවි."

    "ඔය අපහාස කිරිල්ල නවත්තපන්. ඔය ඇති!" ගොර්-නා කෑගෑවේ ක්‍රෝධයට ආසන්න හඩකිනි. "කල්, උඹයි මමයි හොද යාළුවෝ නෙව. මම උඹට කැමති උඹේ ඇති තරුණ එඩිතර කම හන්දා. ඒත් උඹ එකක් දැනගන්ඩ ඕනැ. උඹ උඹේ මුතුන් මිත්තන්ට ගරු කරන්ඩ ඉගෙන ගනින්. උඹ අපේ මිනිස්සුන්ගේ සිරිත් විරිත් විහිළුවකටයි ගනන් ගන්නේ. යකෝ, ඒ මිනිස්සුනෙ උඹව වනාන්තරයෙන් ගලවගෙන, උඹට ගෙයක් දොරක් දුන්නේ, උඹව උන්ගේ ගෝත්‍රයට අරගත්තේ."

    "ඔව්, මම ලොං නැති වානරයෙක් වගේ ඉබාගාතේ කැලේ කරක් ගැහුවා තමා." කල් එය එකවරම පිලිගත්තේ විළියකින් තොරවය. "මට මිනිස්සුන්ගේ බාසාව කතා කරන්ඩවත් බැරුව හිටියා තමා. මගේ එකම යාළුවෝ වුනේ දිවියොයි වෘකයොයි. ඒත් මම දන්නෑ ඇත්තටම මාව වදාපු මිනිස්සු කවුද කියලා, මගේ ඇගේ දුවන්නේ කාගේ ලේද කියලා..."

    "ඒවයිං වැඩක් නෑ" ගොර්-නා මැද්දට පැන්නේය. "උඹට තියෙන්නේ, අර කොටි-නිම්නයේ හිටපු නීතියක් රීතියක් නැති මිලේඡ්ච ගෝත්‍රිකයන්ට තියන පුරුදු. උන් සේරම මහා ගංවතුරට යට වෙලා අතුරුදහං වෙලා ගියා. ඉතිං දැන් ඔය කතා වලින් වැඩක් නෑ. උඹ අපේ ගෝත්‍රයේ එඩිතර සටන්කාරයෙකු බව උඹ ඔප්පු කරලා තියනවා. අති දස්ස දඩයක්කාරයෙක් බව උඹ ඔප්පු කරලා තියෙනවා.."

    "හෙල්ලේ එල්ලයට විසි කරන්ට හරි, මල්ලෝපොර අල්ලන්ට හරි, මූ තරම් දස්ස ඉලංදාරියෙක් හොයාගන්ඩ උඹට ඇහැකි ද? බෑ නෙවෙද?" එවර හරස් කැපුවේ අම්-රා ය. ඔහුගේ දෑස් බැබලෙමින් තිබිනි.

    "සහතිකයි." ගොර්-නා කීයේය. "මුලු මුහුදු-ගිරි ගෝත්‍රයටම, "කල්" කියන්නේ අභිමානයක්. ඒත් මිනිහාට උගේ කට පරෙස්සං කරගන්ට වෙනවා. ඒ වගේම පෞරාණික සහ වර්ථමානයේ තියන ශුද්ධ වූ දේවල් වලට ගරු කරන්ට පුරුදු වෙන්න වෙනවා."

    "මම මොකෙකුටවත් කරපු අපහාසයක් නෑ," කල් පැවුසූයේ සන්සුන්වය. "ඒත්, මේ පූජකයෝ දෙසන බොහොමයක් දේවල් පට්ටපල් බොරු බව මම දන්නවා. මොකෝ මම ව්‍යාග්‍රයොත් එක්ක දුවපු මිනිහෙක්. මම කැලෑ සත්තු ගැන මේ පූජකයින්ට වඩා හොදට දන්නවා. සත්තු කියන්නේ දෙවිවරු වත් මිත්‍රයොවත් නෙවෙයි. ඒත් උන්ට මිනිස්සුන්ට වගේ දැඩි කාමාශාවක් වත් තණ්හාවක් වත් නෑ.."

    "ඕං! අයෙ පාරක් අපහාස කොරනවා!" එවර ගොර්-නා කෑගෑවේ කෝපයෙනි. "මනුශ්‍යයා කියන්ගේ වල්කා දෙයියංගේ අපූරුම නිර්මානය."

    අම්-රා, මෙම කතා මාතෘකාව වෙනතකට හැරවීමට හරස් කැපුවේය. "අද උදේ පාන්දර මට ඇහුනා, වෙරලේ ඇති බෙර ගහන සද්දයක්. මුහුදේ යුද්දයක්. වැලූසියාව, ලෙමූරියානු මූදු කොල්ලකායොත් එක්ක හටං කරනවා."

    "උං දෙකම මකබෑ වෙච්චාවේ" ගොර්-නා ගොරවමින් කියා සිටියේය.

    කල් ගේ දෑස් වල තිබූ අලෝකය නැවතත් ඇසි පිය ගැසීය. "වැලූසියා! මයාවේ දේශය! කවදා හරි දවසක මම ඒ ආශ්චර්ය්‍යජනක නගරය බලන්ට යනවා."

    "ඒ ඉතිං උඹ මකබෑ වෙන දවස තමා." ගොර්-නා කීවේ දත් නියවමිනි. "එහේ ගියාම උං උඹව දංවැල් වලින් බදිනවා නියතයි. ඊට පස්සෙ ඉතිං වද විදිල්ලයි, අවසානයේදි මරණයයි තමා උඹට උරුම වෙන්නේ. අපේ ගෝත්‍රයේ අහවල් මිනිහෙකුට බෑ ඒ නගරෙට යන්ඩ, වහලෙක් වෙලා මිසක්."
    -----

    මතු සම්බන්ධයි..
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ..."වැලූසියාව අපල නගරයක්" අම්-රා මිමිනුවේය.
    "මාරක රතු අපලයක්!" ගොර්-නා කෑ ගසා කීය. ඔහු තම මිට මෙලවූ හස්තය නැගෙනහිර දෙසට ඔසවා සෙලවූයේය. "හොලවපු හැම අත්ලාන්තිස් ලේ බින්දුවක් වෙනුවෙන්ම, උන්ගේ සාපලත් හම්බාන් වල දුක් විදින හැම වහලෙක් වෙනුවෙන්ම, වැලූසියාව උඩින් කාලවර්ණ අංගමාර වසංගතේ පැතිරේවා! අනෙක් රාජධානි හතටත් එසේම වේවා!"

    කෝපයෙන් ගිනිගත් අම්රා, සුනම්‍ය ලෙස උඩපැන තම දෙපයින් නැගී සිටියේ, එම සාපයෙන් අඩක් නැවත වරක් කෑගා පිටකලේය. එහෙත් කල්, පිසූ මසින් තවත් මස් තීරුවක් කපා ගත්තා පමනි.

    "මම වැලූසියානුවොත් එක්ක හටන් කර තියෙනවා" හේ කියා සිටියේය. "උන් එඩිතරයි, ඒත් උන්ව මරන්න එච්චර අමාරු නෑ. උන්ට ඔය කියන යක්ෂ පෙනුමවල් තිබුනෙත් නෑ."

    "උඹ ඒ හටන් කොරලා තියෙන්නේ, ඒකේ උතුරු වෙරලේ ඉන්න අබ ඇටේක හයියක් නැති මුරකාරයොත් එක්කයි" ගොර්-නා ගෙරවූයේය. "ඒම නැත්තං ඔය නිකංම නිකං වෙලද නැවක හිටපු නාවික රංචුවක් එක්ක. උන්ගේ කළු බලකායේ හරි මහා හමුදාවේ හරි බලයට මූන දෙන්ඩ වෙනකං ඉවසලා හිටහං. මං උං එකක් හටං කරා. හා! එතකොට බොන්ඩ පුළුවං තරමට ලේ ගලයි! හෙලිකාර ගන්ඩාරෝ එක්ක මං වැලූසියානු වෙරලට පහරදුන්නා, කල්. ඒ මම උඹේ වයසට එන්ඩත් කලිං. එහෙමයි, අපි රාජධානියේ බොහොම ගැඹුරට යනකම්ම ගිනිතිබ්බා, කඩුගෑවා. අපි මිනිස්සු පන්සීයක්. ඒ කියන්නේ අත්ලාන්තිස වෙරලබඩ සේරම ගෝත්‍රික මිනිස්සු. ආපහු ආවේ අපි හතර දෙනයි! අපි උකුසු-ගම්මානය ගිනිබත් කරලා කොල්ල කාකා ඉදිද්දී, කළු-බලකාය අපට කණ පැලෙන්න පහර දුන්නා! හෙල්ලයන් ලේ බීවා, කඩු වලට ලේ පිපාසාව නිවාගන්ට ඉඩ ඇරියා! අපිත් මැරුවා, උනුත් මැරුවා. ඒත් යුද්දයේ හෙන හඩ නිශ්චල වෙලා ගියායිං පස්සේ, අපි හතර දෙනයි යුද පිටියෙන් පැනලා ගියේ. ඒ ගියෙත් බරපතල තුවාල ඇතුව."

    "අස්කලන්තේ මට කියනවා," කල් කීයේ ගොර්-නා කීවක් නෑසුනා මෙන්ය. "පළිගු නගරයේ තාප්ප උස මිනිහෙකු වගේ දහ ගුණයක් උසලු. රත්තරං සහ රිදී වලින් නැගෙන දිස්නය ඇස් නිලංකාර කරනවලු. ඒ වගේම පාරවල් වල රංචු පිටින් ඇවිදින හරි, උන්ගේ ජනේල වලින් එබිලා බලන එහේ ගෑනු, ඇදගෙන ඉන්නේ අසාමාන්‍ය ඇදුම් ලු. ඒ ඇදුම් බොහොම මටසිලිටු නිසා හුළගේ බොහොම පහසුවෙන් දග කරනවලු, දිස්නේ දෙනවලු."

    "ඔය අස්කලන්තේ දැනගන්ඩ ඕන එක දෙයක්" ගොර්-නා කීයේ අදුරු ස්වභාවයෙනි. "අස්කලන්තේ උන්ගේ වහලෙක් වෙලා බොහොම කාලයක් හිටි නිසා, මිනිහාට මිනිහාගේ හොද අත්ලාන්තිස නමත් අමතක වෙලා ගිය බව. ඉතිං මිනිහා අර මොකාද වගේ දැං ඉන්නේ, වැලූසියානුවො මිනිහට දීපු නමත් එක්ක."

    "මිනිහා පැනලා ගියා" අම්-රා එකතු කලේය.

    "එහෙමයි, ඒත් රාජධානි හතේ දඩු අඩුවෙන් පැනලා යන එක වහලෙක් වෙනුවට, ඒ වගේ වහල්ලු හත් දෙනෙක් හිරගෙවල් වල දවස ගානේ දිරාපත් වෙලා මැරිලා යනවා. මොකද, අත්ලාන්තිසයෙකුට වහලෙකු වෙලා ජීවත්වෙන්න තරම් පහත් ඉරණමක් නැති නිසා."

    "කාලයේ ආරම්භයේ ඉදලා අපි රාජධානි හතේ හතුරෝ වෙලා ඉදලා තියෙන්නේ." අම්-රා කල්පනාබර ව කීය.

    "කාලයේ අවසානය දක්වාම එහෙමම වේවි" ගො-ර් නා කීවේ ම්ලේඡ්ච තෘප්තියකිනි. "වල්කා දෙයියන්ගේ පිහිටෙන්, අත්ලාන්තිසය කියන්නේ අනෙක් සියළුම මිනිස්සුන්ගේ හතුරෝ." අම්-රා නැගී සිටියේය. ඔහු තම හෙල්ලය ගෙන, තම මුර වටයට සූදානම් වූයේය. අනෙක් දෙදෙන තණින් හෙවී ගිය පොලොව මත ඇල වී නින්දට වැටුනෝය. ගොර්-නා සිහිනෙන් කුමක් දුටුවේද? ඇතැම් විට ඔහු යුද්ධය ගැන සිහින දුටුවා විය හැකිය.. නැතිනම් මීහරකුන් හෙන හඩින් කෑගානා ශබ්ධය. එසේත් නැතිනම් ලෙන් තුල වාසය කරන තරුණ කෙල්ලක ගැන. කල්?...
    -----


    මතුවට..
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ...කල්?

    ඔහුගේ සිහිනයන්හි මිහිදුම අතරින්, ඈතින්.. යන්තමින්.. රත්‍රන් ට්‍රම්පටයන්හි සංගීත රාවයක් නැගිනි. ඔහු මතින් රැස් විහිදුවන වලාකුළු වැනි ආලෝකයක් පාවෙන්නට විය. ඉන්පසු, ඔහු ඉදිරියේ විවර වූයේ අතිශය ප්‍රභල, මහානුභවසම්පන්න දර්ශණයකි. ඈතින් ඈතට, දෑසට නොපෙනී යන තරම් ඈතට, මිනිසුන් කෙල කෝටී ගණනක් විසිරී පැතිරී සිටියෝය. ඔවුන් අතරින්, ඔහු කිසිදා නෑසූ භාශාවකින් යුතු මහා ගර්ජනාවක් ආකාශයට පැන නැගෙමින් තිබිනි. එමෙන්ම අතරින් පතර, වානයට වානය ගැටෙනා සියුම් හඩවල් ද ඇසිනි. මහා කාලවර්ණ හමුදාවක් වමතිනුත් දකුණතිනුත් පේලි ගැසී සිටියේය. විහිදී තිබූ මීදුම බොදවී ගිය අතර, එක්තරා මුහුනක් පැහැදිලිව මතුවී ආවේය. එම මුහුන මතින් රාජකීය ඔටුන්නක් පාවෙමින් පැවතියේය. එය උකුසෙකුගේ බදු හැඩරුව සහිත මුහුනක් විය.. හැගීම් වලින් තොර, නොසෙල්වෙන, සීතල කුණාටුකදී සාගර ජලයේ පවතින අළු පැහැයෙන් යුතු දෑසකින් යුතු මුහුනක්. දැන් නැවතත් මිනිසුන්ගේ ගර්ජනය නැගී එන්නට පටන් ගති. "රජුට ජයවේවා! රජුට ජයවේවා! කල් රජුට ජයවේවා!"

    කල් තිගැස්සී අවදි විය. ඈත කදු යාය මත සද එලිය බැබලෙමින් තිබිනි. උසැති තණපත් අතරින් සුළග සුසුම් ලෑවේය. ගොර්-නා ඔහු අසලින් නිදා සිටි අතර, අම්-රා සිටගෙන සිටියේය. ඔහුව දිස්වූයේ තාරකාවන්ට එදිරිව අඹන ලද නිරුවත් ලෝකඩ පිලිමයක් සේය. ඔහු එහෙන් මෙහෙන් එල්ලාගෙන සිටි වස්ත්‍ර කෙරෙහි කල් ගේ ඇස ගියේය. අදුන් දිවියෙකුගේ බදු ඔහුගේ ඉග වටා එතී තිබුනේ දිවි හමකි. නිර්වස්ත්‍ර මිලේඡ්චයෙක්.. කල් ගේ ශීතල දෑස් බැබලී ගියේය. කල් රජු! ඔහු නැවතත් නින්දට වැටුනේය.

    උදෑසන ඔවුන් පිබිදුනු අතර, ඔවුන් ගේ ගෝත්‍රික ගුහාවන් කරා ආපසු යාමට පටන්ගත්තෝය. ගුහා සංකීර්ණය පැන නැගී දර්ශණය වන විටදීද, නීලවර්ණ පුළුල් නදී තීරය ඔවුන්ගේ ඇස ගැසෙන විටදීද, තවමත් සූර්ය්‍යයා ආකාශයේ ඉහලට නැගී තිබුනේ නැත.

    "අර බලපල්ලා!" අම්-රා තියුනු හඩකින් කෑගෑයේය. "උං කාවහරි පුච්චනවා!"

    ගුහා ඉදිරිපිට බරැති පොල්ලක් සිටවා තිබිනි. එහි බැද දමා සිටියේ තරුණ කෙල්ලකි. අවට සිටගෙන උන් මිනිසුන්ගේ දෑස් දරදඩුව ගොස් තිබුනු අතර, ඔවුන් වෙතින් අනුකම්පාවක කිසිම සේයාවක් දිස්වූයේ නැත.

    "අලා" කීයේය ගොර්-නා. ඔහුගේ මුහුණ දෘඩ ඉරි පේලියකට පෙරලෙමින් තිබිනි. "මේකී නෙව අර ලේමූරියානු මූදු කොල්ලකාරයෙක් එක්ක පැනලා ගිය ගෑනි. වේසි."

    "එහෙමයි," ගල් ගැසී ගිය දෑසකින් යුතු වූ මහළු ගැහැනියක් කීවාය. "මේකි මගේ දුව. මේකි මුළු අත්ලාන්තිසයටම විලි ලැජ්ජාවක්. මේකි මෙයිං එහාට මගේ එකියක් නෙවේ! මේකිගෙ මිනිහා මලා. අත්ලාන්තිස නැවකින් උන්ගේ නැවට පහර දීලා ගිල්ලෙවුවා. මේකි වෙරලට පාවෙලා ආවා."

    කල් තරුණිය දෙස බැලූයේ සානුකම්පිත දෑසිනි. ඔහුට වටහා ගත නොහැකි විය.. මේ මිනිස්සු මොකද තමන්ගේම එකියකට මෙහෙම කරන්නේ. මුංගේම ලේ. හතුරු ජාතියක මිනිහෙක් එක්ක ගිය පලියට? ඈ දෙස දැල්වී තිබූ සියළුම දෑස් අතරින්, යන්කමින් හෝ කාරුණික යැයි කිව හැකි එකම දෑසකි කල් දුටුවේ. ඒ අම්-රා ගේ නිල් පැහැති, ශෝකජනක සහ කරුණාබර, අස්වාභාවික දෑසය.

    කල් ගේ නොසෙල්වෙන මුහුනෙන් කුමන හැගීමක් පිටවූයේ දැයි කිව නොහැකි විය. එහෙත් මරණයට කැප වූ තරුණියගේ දෑස් පතිත වී තිබුනේ ඔහුගේ දෑස් මතය. ඇගේ රූමත් දෑසෙහි බියක් තිබුනේ නැත. ඒවායේ තිබුනේ ගැඹුරු සහ උද්දීපිත ආයාචනයක් පමණය. කල්ගේ දෑස් ඇගේ පය පාමුල ගොඩ ගසා තිබූ දර කොටු කන්ද කරා ගමන් කලේය...

    ----

    මතුවට..
     
    Last edited:
    • Like
    Reactions: dina84

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ...තවත් සුළු වේලාවකින්, පූජකයා බිමට නැවී, තම වමතෙහි ඇති ගිනිහුලින් එම දර මිටි ගොඩට ගිනි තබනු ඇත. ඔහු දැන් සිටියේ තරුණිය අසලින් සිටගෙන ඈට කොඩිවින මන්ත්‍රයක් ජප කරමිනි. ඈව දඩුවට ගැටගසා තිබුනේ බරැති දැවමුවා දම්වැලකින් බව කල් හට පෙනී ගියේය. එය අත්ලාන්තිසයේ නිපදවන ලද අස්වාභාවික ස්වරූපයේ දම්වැලක් විය. ඔහුගේ මග හරස් කරමින් සිටි කල්ලිය පීරාගෙන තරුණිය සිටි තැනට ගියද, ඔහුට එම දම්වැල සිදිය නොහැකි බව කල් ට වැටහුනි. ඇගේ දෑස් ඔහු දෙස දැඩි ආයාචනයකින් යොමු වී පැවතිනි. ඔහු දරකෝටු ගොඩ දෙස බැලූ අතර, ඉන්පසු තම ඉග පටියේ ගසා තිබූ ගිනිගල් කිරිච්චියට අත තැබීය. ඈ ඔහු සිදු කිරීමට යන දෙය වටහාගත්තාය. ඈ හිස සැළූ අතර, ඇගේ දෑස් තුලින් සහනදායී බව ගලා හැලෙන්නට විය.

    කල් පහර දුන්නේ නාගයෙකු මෙන් හදිසියේම සහ අනපේක්ෂිත ලෙසය. ඔහු තම කිරිච්චිය ඉග පටියෙන් ගලවා ඉදිරියට වීසි කලේය. එය පියඹා ගොස් ඇගේ හදවත තුලට කිදා බැස්සේ ඈව ක්ෂණිකව මරණයට පත් කරමිනි. දැන් ඈට ගිනි ජාලාවලින් දැවෙමින් මරහඩ නගමින් දුක් විදීමේ අවශ්‍යතාවක් නැත. මිනිසුන් මායාවකට හසුව ගියාක් මෙන් තෘෂ්නිම්භූත ව ගියෝය. කල් බමරයක් මෙන් ආපසු කැරකුණු අතර, ජනකායෙන් ඉවතට පලා දුවන්නට වූයේය. ඔහු දිවගොස්, අසල තිබූ පර්වතයෙහි දැඩි බෑවුම සහිත පැත්ත දිගේ ඉහලට නැග ගියේ බළලෙකු මෙනි. ඔහු පර්වතය දිගේ අඩි විස්සක් පමණ දිවූයේය. මිනිසුන් විශ්මයෙන් භ්‍රාන්තව ගොස් ගල් ගැසී සිටියෝය. අවසානයේදී එකකු තම දුන්න සහ ඊතලය ඇදගෙන, මෘදු පර්වත බෑවුම දිගේ එය මානන්නට විය. කල් ප්‍රභල ශක්තියක් යොදමින් පර්වත හිස මතින් නැගී ගියේය. දුනුකරුගේ දෑස් සිහින් ව ගිය අතර, එවිටම අම්-රා පය පැටලී ගියාක් මෙන් ඔහු මත කඩා පැන්නේය. විදී ගිය ඊතලය සුළං හඩ නගමින් ඇදී ගියේ පර්වතයෙන් ඉවතටය. ඒ වන විට කල් අතුරුදන්ව ගොස් හමාරය.

    ඔහුට තමා පිටුපසින් නැගුනු ගෝෂාව කණ වැකිනි. ඔහුගේම ගෝත්‍රයෙහි මිනිසුන්, ලේ පිපාසාවෙන් ගිනිගෙන තිබිනි. ලේ තැවරුණු තම සදාචාරසම්පන්න දණ්ඩ නීතිය කඩ කිරීම හේතුවෙන්, ඔහුව ඝාතනය කිරීම පිනිස ඔවුන් ඔහු පසුපස දිව ඒමට තැත් කරමින් සිටියෝය. එහෙත් අත්ලාන්තිසයේ කිසිම මිනිසෙකුට, මුළු ලෝකයේ කිසිම මිනිසෙකුට, මුහුදු-කදු ගෝත්‍රයේ කල් සමග දිව යාමට හැකියාවක් තිබුනේ නැත.

    --

    නිමි.

    මෙම කෙටි කථාන්තරය, මින් අනතුරුව ලියවුනු "The Shadow Kingdom" නැමැති කෙටි කථාව සමග සම්බන්ධ වේ.
     
    Last edited: