"අන්දරේ" යන නාමය ඇසූ පමණින් අපගේ සිතට නැඟෙනූයේ රජ කාලයේ අප රටේ සිටියා වූ කවටයකු පිළිබඳ වූ චිත්ත රූපයකි.
අන්දරේ ජීවත්ව සිටියාවූ රාජ්‍ය සමය කුමක්ද යන්න පිළිබඳ නොයෙකුත් ආකාරයේ මතයන් පවතින අතර ඉන් එක් මතයක් වනූයේ "ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලයේ අන්දරේ ජීවත් වූ බවය." අනෙක් මතය වනූයේ "කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමය ආශ්‍රිතව අන්දරේ ජීවත්වූ බවය. මෙම මතයන් අතුරින් බොහෝ දෙනා පිළිගන්නා වූ මතය වනූයේ "ශ්‍රී ජයවර්ධනපූරය තම රාජධානිය කර ගනිමින් වාසය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලය ආශ්‍රිතව අන්දරේ වාසය කළ බවය."
අන්දරේ උපත ලබා ඇත්තේ දකුණූ පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල නම් වූ ග්‍රාමයෙහිය. දුරාව නම් වූ කුල වංශයට අයත් වන අන්දරේ උපතින්ම ලද සහජ කුසලතාව තුළින් කවියෙක් මෙන්ම කවටයෙක්ද වූවා මිස ඔහූ කවිකම දායාද කරගනූ ලැබූවේ උගත්කමින් නම් නොවේ. රජ වාසල කවටයා ලෙසින් අන්දරේ පත්වූයේ රජූගේ නින්දට බාධා කළ පොකුණේ සිටි මැඩියාට ඊතලයෙන් විද මරණයට පත් කිරීමෙන් අනතුරුවය. මේ සඳහා අන්දරේ වෙත රජතුමා විසින් "සද්ද විද්ද පළඟ පතිර...." ආදී වශයෙන් වන ගෞරව නාමයක්ද පිරිනමනූ ලැබීය.
අන්දරේ ප්‍රධාන කර ගනිමින් නිර්මාණය වී ඇති රසවත් කතාවන් ප්‍රමාණය ද ඉතා විශාලය. ඒවා අතුරින් අන්දරේ කුඩා කාලය ආශ්‍රිතව ගොනා වගේ සිටි ආකාරය, අන්දරේ තම බිරිඳට හා රජ බිසවට දෙදෙනාට දෙදෙනා බිහිරි බව ප්‍රකාශ කිරීම, අන්දරේ ළිඳට පැනීම, අන්දරේ කාන්තාවන්ගේ තන මැනීම යනාදී කතා වස්තූන් ඉතාමත් ජනප්‍රිය ය. අන්දරේ විසින් නොයෙකුත් අවස්ථාවන් වස්තු විෂය කර ගනිමින් ප්‍රකාශ කළ කවි ප්‍රමාණය අතිවිශාල අතර ඒ අතුරින් පාඨක ඔබට ඉදිරිපත් කරනූයේ අන්දරේ විසින් ප්‍රකාශිත කවි අතුරින් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයකි.
අන්දරේ විසින් ප්‍රකාශිත කවි පිළිබඳ විමසා බැලීමේදී අනාවරණය වනූ ලබන කරුණක් වනූයේ රූමත් කාන්තාවන් වස්තු විෂය කර ගනිමින් නොයෙකුත් අවස්ථාවන්හිදී කවි පවසා ඇති බවය.
යොවූන් වියේදී අන්දරේ විසින් කී කවියක්:
පල ඇත්නම් වවූලොත් එල්ලෙ තිපේනූ
රුව ඇත්නම් අපටත් බස් දෙති ගෑනූ
දෑසින් එන කඳුළු පිස දමමින් මූනූ
ඉතින් මොටද මේ වයසට නැති ගෑනූ
රූමත් වූ රොඩී කාන්තාවක් දුටූ අවස්ථාවෙහි තරුණ අන්දරේ විසින් කී කවියක්:
මහ මී කුඩා මී හිමයේ බොහොම ඇතී
කොයි කොයි මලෙන් මූත් බඹරුන් රොන් ගනිතී
කොතන වූණත් හරි තෙද මැණික රූ ඇතී
රුව ඇත්නම් අඩූ කුලයට කමක් නැතී
මනාලියක් බැලීමට ගිය අවස්ථාවෙහි අන්දරේ විසින් කී කවියක්:
විවාහ යෝජනාවක ප්‍රතිඵලයක් මත මනාලියක් බැලීමට අන්දරේ ගිය අවස්ථාවක ඔහූ දුටූවේ මනාලිය හූදෙකලාවී සිටින ආකාරයකි. ඇයගේ රූපයෙන් සතුටට පත් අන්දරේ ප්‍රකාශ කළේ මෙවන් වූ කවියකි.
වතට ලවනතට නූඹ බලන බැල්මට
වරලට ගෙලට නළලට නායිකාවට
ගමනට බසට නූඹහට ලොබ කළ මෙමට
කුමකට කියමි නිදි නැත රැය තුන්යමට