…මහා කරුණාව…
“මුලද, මැදද, අගද” වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු, අප “සලායතන සය” තුළම වැඩ සිටින, අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ, විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය, සෙනෙහස හා කරුණාවයි.
පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්, ඔහු දෙන අවවාද පිළි පදින්නේත්, අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්, විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්, දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි?. අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි? ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්, ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්රත්යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා, සහ අප තාත්තාට අවනත වන්නෙමු.
මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද?
දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්, සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද?
ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද?
මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද?
ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද?
මහා ඇලෙක්සැන්ඩර්, රෝමානු ආක්‍රමණ, ඉස්ලාම් ආක්‍රමණ, චෝල මණ්ඩල ආක්‍රමණ, ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ, කුරුස යුද්ධ, සිය අවුරුදු යුද්ධය, නැපෝලියන්, යුරෝපීය ලෝකාධිපත්‍ය, ධවල අධිරාජ්‍යයන්, නිදහස් සටන්, ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්, රුසියානු සුදු හමුදා සටන්, බොල්ෂෙවික් වරු, පළමු ලෝක සංග්‍රාමය, හිට්ලර්, දෙවැනි ලෝක සංග්‍රාමය, යුදෙව් සංහාරය, ඩකාවු, බ්‍රැටේන්, අවුෂ්විට්ස් වධකාගාර, හිරෝෂිමා, නාගසාකි, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර, මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද?
දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද?.
දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද?
ලෙඩ රෝග, වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද? අභිවාතක රෝගය, වසූරිය, මහාමාරිය, මැලේරියා, ඒඩ්ස්, එබෝලා, කහ උණ, සෙංගමාලය, දියවැඩියාව, පිළිකා වර්ග 271ක්, මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද?
අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා, ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන “මානුෂික පිය සෙනෙහස” වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද?
ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන, ගණන් තැබීමටවත් හැකිද?
නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ ” ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි”. දෙවියා කාළය අවසාන වන (End of Time Theory) තෙක් බලා සිටින බවත්, ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත, පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් “Time Mark” කරමින් සිටීම කෙතරම් දුරට උචිතද?
ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…