



අලවතුගොඩ, ඇස්සැද්දුම පදිංචි පී. ඩී. අමරකෝන් මහතා වයස අසූවක් ආයු වළඳා පසුගියදා මිය ගියේය. ඔහු ජීවත්ව සිටි කාලයේ සුරතලයට ඇති කළ බළලා ද මහත් සොවින් යුතුව අමරකෝන් මහතාගේ දේහය බහා තිබූ පෙට්ටියේ එකම ඉරියව්වකින් වැතිර දින තුනක් තිස්සේ කල් ගත කළේය. දේහයේ අවසන් කටයුතු කිරීමට පෙට්ටිය වසා දැමීමට බළල් සුරතලා ඉවතට ගැනීමට ආරක්ෂිත අත්වැසුම් භාවිතා කිරීමට නිවැසියන්ට සිදු වූයේ බළලා සපාකෑමට උත්සාහ දැරීම නිසාය.
අමරකෝන් මහතා මියයැමට පෙර දින 20 ක් මාතලේ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබූ අතර එම කාලයේ බළල් සුරතලා කෑ ගසමින් දැඩි ශෝකයෙන් සිටි බව ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව්. ඇම්. විමලාවතී මහත්මිය පැවසුවාය. රෝහලේදීම මියගිය අමරකෝන් මහතාගේ දේහය නිවසට රැගෙන පැමිණි සැණින් බළල් සුරතලා දේහය අසල වැතිර තිබේ.
තිරිසන් කුලේ ඉපිද ජීවත් වුවත් තමන් ආදරය කළ ස්වාමියාට දැක්වූ සෙනෙහස, ලෙන්ගතුකම විශ්මයජනක විය.