අපරාධකරුවාට ප්‍රේම කරන ස්ටොක්හෝම් සහලක්&

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපරාධකරුවාට ප්‍රේම කරන ස්ටොක්හෝම් සහලක්&

    61990808_2366551360270505_5171379184047489024_n.jpg

    ඒ 1973 වසරයි. මේ සිද්ධිය වෙන්නේ ස්වීඩනයේ ස්ටොක් හෝම් නුවරයි. එක්තරා බැංකුවකට ඇතුළු වන ජෑන් එරික් ඕල්සන් නම් පුද්ගලයා ගිනි අවියක් පෙන්වා බැංකු සේවකයන් බිය වද්දා බැංකුවේ මුදල් මංකොල්ලා කෑමට තැත් කරනවා. නමුත් එහිදී පොලීසියත් එම ස්ථානයට පැමිණීම නිසා දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදු වෙනවා. පොලීසියෙන් ගැළවී යාමට නොහැකි නිසා ඒ අවස්ථාවේදී ඕල්සන් එතැන සිටි බැංකු සේවකයන් හතර දෙනෙක් බැන්කුවේ සුරක්ෂිතාගාරය තුළ ප්‍රාණ ඇපයට තබා ගන්නවා. පොලීසිය සහ ඕල්සන් ගිවිසුමකට එළැඹීමට අසමත් වන නිසා, මේ තත්වය දවස් 6ක් දක්වා දුර දිග ඇදෙනවා. නමුත් අවසානයේදී බැංකු සුරක්ෂිතාගාරයට ඉහළ තට්ටුවේ සිට ඒ දක්වා කුඩා සිදුරක් විදින පොලීසිය ඒ හරහා නිර්වින්දක වායුවක් එතුළට මුදා හරිනවා. එමගින් ඕල්සන් අඩපණ වූ පසු, පොලීසිය විසින් පහසුවෙන්ම ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නවා.

    නමුත් වඩාත් පුදුමාකාර දෙයක් සිදු වන්නේ මින් පසුවයි. ප්‍රාණ ඇපයේ පසු වූ පුද්ගලයන් සිව්දෙනා පොලීසියට අසීමිත බියක් දක්වනවා. ඔවුන් පවසන්නේ පොලීසිය සමග පිටව යනවාට වඩා, ඔවුන්ව ප්‍රාණ ඇපයට ගෙන සිටි පුද්ගලයා සමග රැඳී ඉන්නට තමා කැමති බවයි. ඒ වගේම ඔවුන්ව මුදා හැරුණු පසු, ඔවුන් කිසිවෙක් ඕල්සන්ට විරුද්ධව උසාවියේදී සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරනවා. එපමණක් නෙවෙයි, ඔවුන් එකතු වී ඕල්සන්ගේ අධිකරණ වියදම් වලට මුදල් එකතු කිරීම සඳහා අරමුදලක්ද ආරම්භ කරනවා. මේ සිද්ධිය පොලීසියත්, උසාවියත්, මහ ජනයාත් අතිශය පුදුමයකට ලක් කරන්නට හේතු වෙනවා. තමාව ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයා කෙරෙහි මේ ආකාරයේ ඇල්මක් ඇති වන්නේ කොහොමද කියන එක හැමෝටම අභිරහසක් වෙනවා.

    ප්‍රාණ ඇපකරුවන් අතරින් එක් අයෙක් වුණු ක්‍රිස්ටීන් එන්මාර්ක් නම් තරුණිය ඕල්සන් සමග ඉතා තදින් බැඳී තිබුණා. ඔවුන් ප්‍රාණ ඇපයේ පසු වූ දින කිහිපය තුළ එක් වරක් ඔවුන් ස්වීඩනයේ අගමැතිවරයා සමග දුරකථන ඇමතුමකින් සම්බන්ධ වී තිබුණා. එහිදී ක්‍රිස්ටීන් ආයාචනා කර තිබුණේ තමාට ඕල්සන් සමග බැංකුවෙන් පිටවී යාමට ඉඩ ලබා දෙන ලෙසයි. සිද්ධියෙන් පසු කාලීනව ඔවුන් දෙදෙනා විව්වහ ගිවිසා ගත් බවටද ආරංචි පැතිරී තිබුණා.

    පසු කාලීනව මේ අවස්ථාව විශේෂ මානසික තත්වයක් ලෙස මනෝ විද්‍යාඥයන් විසින් හඳුනා ගන්නවා. ඔවුන් මෙය නම් කරන්නේ ස්ටොක් හෝම් සහලක්ෂණය නමින්. මෙහිදී සිදු වන්නේ යම් අපරාධ සිදුවීමක වින්දිතයන් තුළ තමාගේ රැකවලුන් වෙත ධනාත්මක සම්බන්ධයක්, ඇල්මක් ගොඩ නැගීමයි. මීට සමාන සිදුවීම් ලෝකයේ විවිධ රට වලින් වරින් වර අහන්නට ලැබෙනවා.

    ස්ටොක් හෝම් සහලක්ෂණය පෙන්නුම් කරන තවත් ප්‍රධාන සිද්ධියක් වුණේ 1974දී කැලිෆෝනියාවේ විසූ වයස අවුරුදු 19ක තරුණියක් වූ පැටී හර්ස්ට්ව, නගරබද ගරිල්ලා කණ්ඩායමක් විසින් පැහැරගෙන යාමයි. මාස දෙකකට පසු ඇය පවසා තිබුණේ තමන් ගරිල්ලා කණ්ඩායම සමග එකතු වන බවත්, තමා ඔවුන් සමග සිටින්නේ ඉතා සතුටින් බවත්. පසුව ඇය ඔවුන් සමග එක්වී බැංකු මංකොල්ලකෑම් කිහිපයකටත් සහභාගී වී තිබුණා. පසුව පොලීසිය විසින් ඇයව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ මොහොතේදී නීතීඥයන් විසින් ප්‍රකාශ කළේ ඇය ස්ටොක් හෝම් සහලක්ෂණය නිසා මොළ සේදීමකට (brain washed) ලක්ව සිටි නිසා ඒ අපරාධ සිදු කළ බවයි.

    ඇත්තටම මෙහෙම දෙයක් සිදු වන්නේ කොහොමද? ස්ටොක් හෝම් සහලක්ෂණයේ මනෝ විද්‍යාත්මක පදනම මොකක්ද? මනෝ වෛද්‍යවරුන්, අපරාධ විද්‍යාඥයන් මේ සඳහා මතයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රාණ ඇපකරුවෙකුගේ මනෝ භාවය අවධි කිහිපයකට වෙන් කර පෙන්වා දෙනවා.

    පළමු අවදියේදී සිදු වන්නේ සාමාන්‍ය ලෙස ජීවිත ගත කරමින් සිටි පුද්ගලයෙකුට එකවරම අධික බියජනක අත්දැකීමකට මුහුණ දීමට සිදු වීමයි. එයින් ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා කිව්වොත් නිවැරදීයී. ඔවුන් සියළු දෙනාම පාහේ සිතන්නේ තමා මෙයින් මරණයට පත් වනු ඇති බවයි. දෙවැනි අවදියේදී ප්‍රාණ ඇපකරුවන්, කුඩා දරුවන් බවට පත්වීමක් සිදු වෙනවා. හරියට කුඩා දරුවෙකුට වගේ ඔවුන්ටත් කෑමට, බීමට, වැසිකිළි යාමට පවා තමාට ඉහළ කෙනෙක්ගෙන් අවසර ගැනීමට සිදු වෙනවා.

    තුන් වන අදියරට එළඹෙන විට ප්‍රාණ ඇපකරුවන්ගෙන් සමහරෙක්, තමාගේ රැකවලා විසින් සිදු කරන කුඩා කාරුණික ක්‍රියාවක් පවා, උදාහරණයක් ලෙස තමාට කන්නට යමක් දීම, වැසිකිළි යාමට ඉඩ දීම වගේ, ඉතා ඉහළ කෘතඥතාවයකින් සැළකීමට පුරුදු වෙනවා. මේ කෘතඥතාවය කොපමණ ප්‍රබල හැඟීමක්ද කිව්වොත්, තමා මේ තත්වයට පත්ව සිටින්නේ මේ අපරාධකරුවා නිසා බව පවා ඔවුන්ට අමතක වී යනවා. ඔවුන් ඔහුව දකින්නේ තමාට ජීවත් වීමට ඉඩ ලබාදෙන පුද්ගලයා වශයෙනුයි. ඒ නිසා තමා දිවි හිමියෙන් ඔහුට / ඔවුන්ට ණය ගැති බව ඔවුන් විශ්වාස කරන්නට පෙළඹෙනවා.

    ස්ටොක් හෝම් සහලක්ෂණය ආතතිජනක අවස්ථාවකට මුහුණ දීමට අපේ මොළය විසින් නිර්මාණය කරගන්නා ආරක්ෂක උපක්‍රමයක් ලෙස හඳුනාගන්න පුළුවන්. මොකද යම් ප්‍රාණ ඇපකරුවෙක් සිය රැකවලාට කීකරුව සිටින විට රැකවලාටත් ඔහු හෝ ඇය කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා. ස්වීඩනයේ සිද්ධියේ වරදකරු වූ ඕල්සන් පොලීසියට පවසා තිබුණේ, තම ප්‍රාණ ඇපකරුවන් තමන්ට කීකරුව සිටින් නිසා, තමාට ඒ එක් අයෙකුටවත් වෙඩි තැබීමට හෝ තර්ජනය කිරීමට නොහැකි වූ බවයි. ඒ නිසා, මෙවැනි තත්වයකදී ස්ටොක් හෝම් සහලක්ෂණය ඇති කර ගන්නා ප්‍රාණ ඇපකරුවන්ට නොමැරී ජීවත් වන්නට ඇති අවස්ථාව අනෙක් අයට සාපේක්ෂව ඉහළයි. එනිසා මෙය නොනැසී ජීවත් වීමේ උපක්‍රමයක් (survival strategy) ලෙස හඳුන්වන්න පුළුවන්.

    ස්ටොඛෝම් සහලක්ෂණයේම වඩාත් සරළ ආකාරයක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තුළ දැකිය හැකි බව ඇතැම් විද්වතුන් පවසනවා. තමාට නිතර දෙවේලේ පහර දෙන ස්වාමි පුරුෂයා වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින ඇතැම් භාර්යාවන් තුළත්, අතවරයට ලක් වී, නමුත් තමාව අතවරයට ලක් කළ පුද්ගලයාව පාවා නොදෙන කුඩා දරුවන් තුළත් මේ සරළ ආකාරය දැකගන්නට හැකියී.


    ගත්තේ - Science සිංහලෙන් පිටුවෙන්
     
    Last edited: