පණ්ඩුක සමරසේකර|Dinamina
ඕනෑම පුද්ගලයකු පිළිබඳ තොරතුරු හා දත්තයන් විනාඩි 3කින් ලබාගත හැකි දකුණු ආසියානු රටක පොලිස් දෙපාර්තමේන්තුවක් සතු එකම ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු පද්ධතිය තව නොබෝ දිනකින් ම මෙරට දී විවෘත කෙරේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ ඊයේ (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කෙළේය. ලොව දියුණුම යුරෝපා රටවල පමණක් දැනට ක්‍රියාත්මක වන මෙම ක්‍රමය ආසියානු රටක ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් රටේ පූර්ණ ආරක්ෂාව මෙයින් තහවුරු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වීමේදී මෙම ක්‍රමය ඉතාම යෝග්‍ය වන බව මීට පෙර සිටි පොලිස්පතිවරුන් ද ආරක්ෂක අංශ භාර ප්‍රධානියාට මෙන්ම රාජ්‍ය නායකයන්ට ද පෙන්වාදුන් නමුදු එහි නියම ප්රථිඵලය ලැබුණේ වත්මන් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් නිසා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවැසීය. මෙවැනි ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු මෘදුකාංග පද්ධතියක් ජපානයෙන් ආනයනය කිරීමට මිල ගණන් කැඳවා තිබුණු නමුදු එහි මිල රුපියල් කෝටි 80ක් පමණ වූ නමුදු මෙම මෘදුකාංග පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විශේෂඥයන් විසින් රුපියල් කෝටියක පමණ ඉතාම අඩු මුදලකට සපයා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම පරිගණක පද්ධතිය මගින් මෙරට ඕනෑම පුද්ගලයකු පිළිබඳ ඕනෑම තැනක සිටින පොලිස් නිලධාරියකුට සිය භාරයේ ඇති පරිගණක මෘදුකාංගය මගින් ඔහු අපරාධකරුවෙක්ද නැද්ද යන වග සොයා ගැනීමට හැකිවන බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මෙරට අපරාධකරුවන් ලක්ෂ පහක පමණ ප්රමාණයකගේ දත්ත පොලිසිය සතුවන බවත් ඉන් 1,30,000ක පමණ මේ වන විට මියගොස් හෝ සොයාගැනීමට නොහැකි වන බවත් පැවසූ අජිත් රෝහණ මහතා, දැනට තිබෙන පහසුකම් මත යම් පුද්ගලයකු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට දින 15ක් පමණ ගතවන බවද ප්‍රකාශ කළේය.
මෙම නව ක්‍රමය මගින් ජනතාවට කිසිඳු අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍ර හෝ සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය පොලිස් වාර්තාවන් ඉතා සුළු වේලාවකින් ලබාගත හැකි බවත් ජනතාවගේ සියලු හිමිකම් මේ තුළින් ආරක්ෂා වන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.