අපි නිදහස් ද?
එය අහසින් වැටුණු නිදහසක් නම් නො වේ. මෙරට නායකයන් ගේ හා වැසියන් ගේ දීර්ඝකාලීන ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඉතිහාසය හදාරන්නවුන්ට නම් නොරහසකි.
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය 2018 වර්ෂයේ පෙබරවාරි මස 4 වැනි දාට යෙදී ඇත. 1948 පෙබරවාරි මාසයේ ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ ඩොමීනියන් තත්ත්වයේ පාලනයක් සහිත ව ය. එනම්, ඉන් පසු ව ද මෙරට රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජන විය. ඔහු ගේ හෝ ඇය ගේ හෝ නියෝජිතයා වූයේ අග්‍රාණ්‌ඩුකාරවරයා ය. මේ තත්ත්වය වෙනස් වී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ 1972 වර්ෂයේ මැයි මස 22 වැනි දින දී ය. ඇතැම් අයට අමතක ව ඇති එම සිදු වීම මෙරට නිදහස පූර්ණ වූ අවස්‌ථාව සේ සැලකිය හැකි ය.
හැත්තෑ වැනි නිදහස් උත්සවයට බ්‍රිතාන්‍ය රැජන නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු වන එඩ්වඩ් කුමරු සහභාගි වන බව වාර්තා වෙයි. මීට පෙර දී ද බ්‍රිතාන්‍ය රාජකීයයන් අපේ රටේ නිදහස් උළෙලවලට සහභාගි වී ඇත. නිදසුනක් ලෙස ගත හොත්, 1998 වර්ෂයේ පැවැති 50 වැනි නිදහස් උත්සවය සඳහා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු මෙරටට පැමිණියේ ය. එහෙත් බ්‍රිතාන්‍යයන් යටත්විජිතයක් ලෙස මෙරට පාලනය කළ සමයේ සිදු වූ දේ අනුව ඔවුන් හා එක් ව හෝ නිදහස සැමරිය හැකි ද යන්න අපට නම් ගැටලුවකි.
එහෙත් මෙරට තීරණ ගන්නා ඇතැමුන් ගේ අතීත ක්‍රියාකාරකම් අනුව එය එ තරම් පුදුමයක් ද නො වේ. පෘතුගීසීන් මෙරටට පැමිණ වසර 500ක් සම්පූර්ණ වීමට නියමිත වූ 2005 වර්ෂයේ දී පෘතුගාලයෙන් නියෝජිතයන් මෙරටට ගෙන්වීමට හෝ දෙරටේ ම උත්සවාකාරයෙන් සැමරීමට හෝ මෙරට ඇතැම් දේශපාලන නායකයන්ට අවශ්‍යතාවක් පැවැති බව වාර්තා විණි. පෘතුගීසීන් මෙරට සිදු කළ මහා විනාශය, අපේ රට හා සංස්‌කෘතිය උඩු යටිකුරු කළ වෙනසක් ඇති කළේ ය. එය පරාධීන සමයක ආරම්භය ද විය. වාසනාවකට මෙන් 2004 දී සිදු වූ ආණ්‌ඩු මාරුවත් සමග එම සැලසුම් වෙනස් විය.
1796 සිට මෙරට පහත රට ප්‍රදේශවලත්, 1815 සිට සමස්‌ත රට තුළ බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන ලද පාලනය යටතේ මෙරට තුළ ඇති වූ වෙනස්‌කම් මෙරට අනෙක් යටත්විජිත පාලන සමයන්වල සිදු වූ දේට වඩා එ තරම් වෙනස් නො වේ. මේ පිළිබඳ අංශ කිහිපයකින් පමණක් මෙහි දී සලකා බලමු.
පරිසරය හා සම්පත් සූරා කෑම
ශ්‍රී ලංකාවේ පරිසරය සම්බන්ධ ව බ්‍රිතාන්‍ය පාලනය යටතේ සැලකිය යුතු විනාශයක් සිදු විය. අතීතයේ සිට මෙරට මධ්‍ය කදුකර ප්‍රදේශය වැසී තිබුණේ වනාන්තරවලිනි. උඩරට රාජධානි සමයේ පවා විශාල වනාන්තර බිම් ප්‍රමාණයක් රාජධානියේ ආරක්‍ෂිත වී තිබිණි. එහෙත් බ්‍රිතාන්‍ය පාලන සමයේ දී වනාන්තරවලින් වැසී ගොස් තිබූ විශාල ප්‍රදේශයක් පළමුව කෝපි වගාව සඳහා ද, පසුව තේ වගාව හා රබර් වගාව සඳහා ද එළිපෙහෙළි කරන ලදි. බ්‍රිතාන්‍ය ඉඩම් ප්‍රතිපත්තිය අනුව, විවිධ නීති රීති යටතේ පෞද්ගලික මෙන් ම විහාර දේවාල සතු ඉඩම් ද රජයට ලබාගෙන වතුවගා සඳහා යොදාගන්නා ලදි.
බ්‍රිතාන්‍යයන් මෙරට හැර යන අවස්‌ථාව වන විට මේ වතු වගාවලින් වැසී ගොස් තිබූ බිම් ප්‍රමාණය මේ වනාන්තර විනාශයේ තරම පෙන්වයි. 1948 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ පැවැති රබර් වගා බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,660ක් (හෙක්‌ටයාර 266,000) වූ අතර, 1950 වන විට තේ වගාව සඳහා වර්ග කිලෝමීටර් 2,250ක් (හෙක්‌ටයාර 225,000) යොදාගෙන තිබිණි. ඒ අනුව තේ හා රබර් වගා දෙක සඳහා පමණක් එළි කර තිබූ තෙත් කලාපීය බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4,910ක් හෙවත් රටේ බිම් ප්‍රමාණයෙන් 7.48%ක් පමණ වෙයි. පොල්, කෝපි, කොකෝවා, ආදී වතු වගා ද මෙකල ව්‍යාප්ත වී තිබිණි. මේ සඳහා යොදාගත් බිම් අතරින් වැඩි ප්‍රමාණයක් වනාන්තර වෙයි.
මෙහි ඇති වැදගත් කරුණු දෙකක් ඇත. ඉන් පළමුවැන්න මේ වගා සඳහා එළි පෙහෙළි කරන ලද වනාන්තර සියල්ල ම හෝ වැඩි ප්‍රමාණයක් හෝ ජෛව විවිධත්වයෙන් ඉහළ තෙත් කලාපීය වනාන්තර වීම ය. අනෙක් වැදගත් කරුණ වන්නේ මේ වනාන්තර එළි කර භූමිය ලබාගන්නා ලද්දේ මෙරට වැසියන් ගේ යෑපුම් අවශ්‍යතාවක් සඳහා නො ව අපනයනය සඳහා සිදු කරන ලද නිෂ්පාදනයක් වෙනුවෙන් වීම ය. එහි ලාභය උපයන ලද්දේ බ්‍රිතාන්‍යයන් හා බ්‍රිතාන්‍ය සමාගම් විසිනි.
මේ ආකාරයට ම බ්‍රිතාන්‍ය යුගයේ දී වියළි කලාපයේ පිහිටා තිබූ වනාන්තර ප්‍රදේශ විශාල වශයෙන් හෙළි පෙහෙළි කරන ලදි. ඒ දැව ලබාගැනීම පිණිස ය. කළුවර, බුරුත වැනි දැව සඳහා තිබූ ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා දැව හෙළීම නිසා ඇති වූ තත්ත්වය පරිපාලන වාර්තාවල සඳහන් වෙයි. පාලනයකින් තොර ව ඇති වූ මේ තත්ත්වය නිසා, එම වනාන්තර හා ඇතැම් දැව වර්ග තුරන් ව යා හැකි බව බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් ම සඳහන් කරනු ලැබ ඇත. මේ තත්ත්වය පාලනය කර දැව ලබාගැනීම විධිමත් කිරීම කැළෑ දෙපාර්තමේන්තුවක් ඇති කිරීම සඳහා මූලික වූ හේතුව විය. එහි මුල් අවස්‌ථාවේ දී සංරක්‍ෂණ අරමුණක් නො වී ය.
මේ හැරුණු කොට මෙරට තිබූ වෙනත් සම්පත් ද හුදු ආර්ථික වාසි වෙනුවෙන් උකහාගැනීම බ්‍රිතාන්‍ය සමයේ දී සිදු විය. මිනිරන් කර්මාන්තය මීට නිදසුනකි.
යටිතල පහසුකම් ඇති කිරීම
බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන ලද යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙරට වැසියන් ගේ යහපත වෙනුවෙන් සිදු කරන ලද්දක් බව හෝ ඉන් මෙරට වැසියන්ට යහපතක් සැලසුණු බව හෝ ඇතැම් අය විසින් පුන පුනා දක්‌වනු ලබන කරුණකි. එහෙත් එය සැබැවින් ම එසේ ද යන්න ද විමසා බැලිය යුත්තකි.
බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මහා මාර්ග ඉදි කළේ මූලික වශයෙන් ම මෙරට පාලනය පහසුවෙන් පවත්වාගැනීම සඳහා ය. උඩරට ප්‍රදේශ හා පහතරට ප්‍රදේශ සම්බන්ධ කරමින් මහාමාර්ග ඉදි කිරීම පිළිබඳව සැලකීමෙන් ඒ බව පැහැදිලිව පෙනෙයි. අනෙක් අතට විවිධ ප්‍රදේශවල දී ජනතාව රජයෙන් ඉල්ලා සිටි ඇතැම් මාර්ග ඉදි කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් උනන්දුවක් නො දැක්‌වීම මීට මනා නිදසුනකි. එවැනි අවස්‌ථාවල දී ඇතැම් මාර්ග ජනතාව විසින් ම තනාගන්නා ලද අවස්‌ථා තිබෙයි.
එසේ ම බ්‍රිතාන්‍යයන් දුම්රිය මාර්ග ඉදි කළේ වතු වගාව ව්‍යාප්ත වීම හා සමග ඒවායේ නිෂ්පාදන පහසුවෙන් කොළඹ වරාය වෙත ප්‍රවාහනය කිරීම අරමුණු කරගනිමිනි. දුම්රිය මාර්ග ව්‍යාප්ත වූ ප්‍රදේශ පිළිබඳව විමසා බැලීමේ දී මේ තත්ත්වය මනාව පැහැදිලි වෙයි. ඇතැම් නිලධාරීන් විසින් ජනතාව ගේ යහපතට හේතු වන ලෙස නම් කරන ලද දුම්රිය මාර්ග ඉදි කිරීම රජය විසින් ප්‍රතික්‍ෂේප කරන ලද්දේ ඒවායින් ආර්ථික වශයෙන් යහපතක් නො සැලසෙන බව පවසමිනි. මේ සඳහා හොඳ ම නිදසුන වන්නේ මාතරින් ඔබ්බට හම්බන්තොට දක්‌වා දුම්රිය මාර්ගයක් තැනීම පිළිබඳ යෝජනාවට අත් වූ ඉරණම ය. එය මුලින් ම යෝජනා වූයේ 1894 දී තරම් ඈතක දී ය. විටින් විට දිසාපතිවරුන් විසින් ඉල්ලීම් සිදු කරන ලද නමුත් හම්බන්තොට දක්‌වා වූ දුම්රිය මාර්ගයක් සඳහා වූ මිනුම් කටයුතු පවා සිදු කරන ලද්දේ 1921-22 වර්ෂවල දී ය. ඒ සඳහා වූ ඇස්‌තමේන්තු ද සකස් කරන ලදි. එහෙත් 1925 දි පත් කරන ලද කොමිසමක නිර්දේශ මත එම යෝජනාව ක්‍රියාත්මක කිරීම නවත්වන ලදි. එයට හේතුව වූයේ ඉන් වියදමට සරිලන ආදායමක් නො ලැබීම ය. (ඉන් දශක ගණනාවකට පසුව මේ දුම්රිය මාර්ගය යළි ඉදි කිරීම සඳහා 1990 දශකයේ දී හා 2000 දශකයේ දී උත්සාහ ගත්ත ද ඒවා අසාර්ථක විය. අවසානයේ එය මේ වන විට ඉදි කෙරෙමින් තිබෙයි.)
එසේ ම මෙරට සියලු දුම්රිය මාර්ග ඉදි කිරීමේ දී විවිධ කණ්‌ඩායම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්, පෙත්සම් ආදිය අනුව පෙනෙන්නේ එය හුදෙක් පහසු කාර්යයක් නො වූ බවයි. එසේ ම වතු වගා පැවැති ප්‍රදේශවලට දුම්රිය මාර්ග ව්‍යාප්ත කිරීමේ දී අදාළ වගාවල නිෂ්පාදනවලින් අතිරේක බද්දක් ගෙවිය යුතු වූ අවස්‌ථා තිබේ.
වාරිමාර්ග දියුණු කළේ ඇයි?
බ්‍රිතාන්‍ය සමයේ මෙ රට වාරි කර්මාන්ත අලුත්වැඩියා කිරීම සඳහා කිසියම් පියවරක් ගෙන ඇති බව සත්‍යයකි. එහෙත් ඒ ඔවුන් මෙරට පාලනය කිරීම පටන්ගෙන අඩ සියවසක් පමණ ගත වූ පසුව ය. ඊට පෙර එ වැනි උත්සාහයක් ගෙන නොමැති තරම් ය. ඊට හේතුව මෙරටට සහල් ආනයනය කිරීම සඳහා දැරිය යුතු වූ අධික වියදම නිසා ඉන්දියාව හා මෙරට අතර තිබූ වෙළෙඳ ශේෂය යහපත් තත්ත්වයක පවත්වාගැනීමට ඇති වූ අවශ්‍යතාවයි.
එසේ ම රජයේ වියදමින් වැව් ප්‍රතිසංස්‌කරණය කිරීමේ දී එම වැව්වලින් ජලය ලබාගන්නා ගොවීන් කිසියම් කාලයක් යන තුරු වැඩි බදු මුදලක් ගෙවිය යුතු විය. එය අස්‌වැන්නෙන් 10%ක් පමණ විය. රජයේ අපේක්‍ෂාව වූයේ එ මගින් අදාළ කටයුතු සඳහා වූ වියදම පියවාගැනීම ය.
නිදහස් අරගලය
ඇතැමුන් සිතන්නේ මෙරට නිදහස් ලබාගත්තේ ලේ හැළුණු අරගලයකින් නො වන නිසා සුද්දා කැමැත්තෙන් රට අපට දී ගිය බවකි. එහෙත් එය එසේ නො වේ. 1818 හා 1848 වැනි නිදහස් සටන් ද (ඇතැමුන්ට මේවා කැරැලි ය) ඒ හැරුණු විට වරින් වර බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව මෙරට තුළ ඇති වූ කුඩා ප්‍රමාණයේ නැගී සිටීම් ද සියල්ල බ්‍රිතාන්‍යයන් විසින් මර්දනය කරන ලදි. 1818 හා 1848 ඇති වූ අරගල මර්දනය කළ අතිශය ක්‍රෑර ආකාරය අපි අසා ඇත්තෙමු. විශේෂයෙන් 1818 වෙල්ලස්‌සෙන් ඇරඹුණු නිදහස් අරගලය ඉතා ක්‍රෑර ලෙස මර්දනය කරන ලද්දේ විශාල විනාශයක් රටට සිදු කරමිනි. සියලු ගම් බිම්, කෙත් වතු පාළු කර, වයස අවුරුදු දහ සයට වඩා වැඩි පිරිමින් මරා දමා සිදු කළ විනාශය බරපතළ ය. එදා වෙල්ලස්‌ස වැනි ප්‍රදේශවල කළ ජන හා දේපොළ විනාශය හේතුවෙන් සැලකිය යුතු කාලයක් යන තුරු එම පළාත රටේ සෙසු පළාත්වලට වඩා පසුබා තිබිණි. 1848 අරගලය ද මර්දනය කරන ලද්දේ ක්‍රෑර ආකාරයෙනි. 1915 දී ඇති වූ සිංහල - මුස්‌ලිම් කෝලාහලය අවස්‌ථාවේ දී පවා ඒ වන විට නැගී එමින් තිබූ ජාතික නායකත්වය මර්දනය කිරීමට උත්සාහ ගත් බව පැහැදිලි කරුණකි.
කෙසේ වෙතත්, පැවැති ලෝක දේශපාලන තත්ත්වය තුළ 1948 දී බ්‍රිතාන්‍යයට මෙරටට නිදහස ලබා දීමට සිදු විය. එහෙත් එය අහසින් වැටුණු නිදහසක් නම් නො වේ. මෙරට නායකයන් ගේ හා වැසියන් ගේ දීර්ඝකාලීන ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඉතිහාසය හදාරන්නවුන්ට රහසක් නො වේ. අනෙක් අතට අද අප අත්දකින තවත් බොහෝ ගැටලු ද බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිඵල වෙයි. මීට නිදසුන ඔවුන් ගේ බෙදා පාලනය කිරීමේ න්‍යායයේ ප්‍රතිඵලයක් වූ ජනවාර්ගික අර්බුදයයි (එවැන්නක් තිබේ නම්).
මේ කරුණු අනුව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයේ සැබෑ තත්ත්වය පිළිබඳව විමසන විට බ්‍රිතාන්‍යයන් සමග සහයෝගයෙන් මෙරට නිදහස් දිනය සැමරිය හැකි ද යන්න ඉතිහාසය දෙස යථාර්ථවාදීව සිතන ඕනෑම අයෙකුට නැගෙන පැනයකි. එහෙත් අපේ රටේ ඇතැමුන් තවමත් මානසිකව බ්‍රිතාන්‍යයෙන් හෝ බටහිරින් නිදහස් වී නොමැති වීම කණගාටුවට කරුණකි.
ධනේෂ් විසුම්පෙරුම