අපුරු ලෝක වාර්තා කිහිපයක්

Faraday

Member
Aug 2, 2017
211
48
0
අපුරු ලෝක වාර්තා කිහිපයක්

අපුරු ලෝක වාර්තා කිහිපයක්

ලෝකය කියන්නේ අමුතුම අමුතු තැනක්. මේ අමුතු ලෝකය තුළ විවිධ ආකාරයේ අපුරු මිනිසුන් අපට හමුවනවා. ඒ අතරින් සිය සිරුර හෝ සිරුරේ අවයව නිසා ලෝක වාර්තා පොතට ගියවුන් කිහිපදෙනෙක් ගැන මේ කියන්න යන්නේ. මේ සඳහා පදනම් වන්නේ සුප්‍රකට ගිනස් වාර්තා පොතයි.

වඩාත්ම ඇදෙනසුළු සම සහිත මිනිසා

WR1.jpg


ගැරී ටර්නර් මේ ලෝක වාර්තාව නිල වශයෙන් තමන් සතු කරගත්තේ 1999 වසරේදීයි. එංගලන්තයේ වාසය කරන ඔහුගේ උදරයේ සම සෙ. මි. 15.8 ක් දක්වා ඇදිය හැකි වීම ඔහුට මෙම වාර්තාව හිමි වීමට මූලිකම හේතුවයි. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාත්මකව සැලකූ විට ගැරීගේ මෙම අසාමාන්‍ය සමට හේතුව Elhers Danlos Syndrome නම් පටක සම්බන්ධ රෝගයක් බව පැවසෙනවා.

දිගම කාන්තා කකුල් තමයි මේ

wr2-680x433.jpg


තමන්ගේ කකුල් දිගෙන් වැඩි කර පෙන්වන්න කාන්තාවන් විවිධ විලාසිතා සහ ක්‍රම අනුගමනය කරත් රුසියානු ජාතික එකතිරීනා ලිසිනාට නම් ඇගේ කකුල්වල දිග කරදරයක් වී ඇති බව පැවසෙනවා. විලුඹේ සිට උකුල දක්වා ඇගේ පාදවල දිග සඳහන් වන්නේ සෙන්ටිමීටර 132.8 ක් ලෙසිනුයි. මීටර් 2.06 ක උසින් යුතු ලිසිනා රුසියානු ජාතික දැල්පන්දු කණ්ඩායම පවා නියෝජනය කළ ක්‍රීඩිකාවක්. 2008 ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනු කණ්ඩායමේ සාමාජිකාවක් ද වන ඇය මේ වන විට පසුවන්නේ 30 වැනි වියේයි. මෙම වාර්තාවට අමතරව ලොව උසම නිරූපිකාව ලෙස වාර්තාව හිමිකරගෙන සිටින්නේද ලිසිනා යි.

මෙහෙමත් නාසයක්

wr3-680x433.jpg


ඉතාලියේ වෙසෙන මෙහ්මත් ඔසියුරෙක් නම් තුර්කි ජාතිකයා ලෝක ප්‍රකට වී ඇත්තේ සිය අසමසම නාසය හේතුවෙනුයි. අවසාන වරට මනින විට එහි දිග සෙන්ටිමීටර් 8.8 ක් ලෙස සටහන් වූ අතර ඔහු මෙම ලෝක වාර්තාවේ හිමිකරු වී සිටින්නේ 2010 වසරේ සිටයි.

වැඩිම දත් ඇති කට

wr4-680x433.jpg


ඉන්දියාවේ බැංගලෝරයේ වෙසෙන විජය කුමාර් කට නිසා ලෝක ප්‍රකට වුවෙක්. ඔහුගේ කටේ දත් 37ක් ඇති අතර එය ලොව වැඩිම දත් ඇති කට ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා. දත් වැඩි වීම ඇතැම් විට ඔහුට බාධාවක් වී ඇත්තේ ඔහුගේ දිව නිරන්තරයෙන් හැපීමට ලක් වන නිසයි.

මේ වගේ නියපොතු දැකල තියෙනවද

wr5-680x433.jpg


ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිටින අයානා විලියම්ස් ලොව දිගම නියපොතු ඇති කාන්තාවයි. ගිනස් වාර්තා පොතට අනුව ඇගේ නියපොතුවල සමස්ත දිග ප්‍රමාණය සෙන්ටි මීටර 576.41 ක්. වසර 20 ක් තිස්සේ නියපොතු වවන ඇයගේ නියපොතු සියල්ල එකවර වර්ණ ගැන්වීම සඳහා නිය ආලේපන බෝතල දෙකක් අවශ්‍ය වීමත් විශේෂත්වයක්. ඇයට මෙම වාර්තාව 2017 වසරේ හිමි වූ අතර ඊට හේතු වුයේ එම වාර්තාවේ පුර්ව හිමිකාරිනිය අනතුරකට ලක්වීමෙන් ඇගේ නියපොතු කැඩී යාමයි.

ඔහුට සමවූ කිසිවෙක් නැත

wr6-680x433.jpg


රොබර්ට් වඩ්ලෝ හෙවත් ඉලිනොයිස් හි හි යෝධයා ඉතිහාසයට එක්ව සිටින්නේ ලොව වාර්තාවූ උසම තැනැත්තා ලෙසටයි. ඇමරිකානු ජාතික රොබර්ට්ගේ උස අඩි 8 යි අඟල් 11.1 ක් වූ අතර 1940 වසරේ දී මියයන විට ඔහුගේ වයස අවුරුදු 22ක් වීමත් විශේෂත්වයක්. වයස අවුරුදු 8 දී අඩි හයකට වඩා උසින් වැඩි සිටි රොබර්ට් වෙනුවෙන් පසුකාලයේදී පාසලේ වෙනම බංකුවක් සකස් කළ බවත් පැවසෙනවා. ඔහුගේ සපත්තු ප්‍රමාණය 37 AA (ඇමෙරිකානු ප්‍රමාණය) වූ අතර එය සාමාන්‍ය අයෙකුගේ සපත්තුවක් මෙන් දෙගුණයක් පමණ විශාල ප්‍රමාණයක්.

යෝධ නිවුන්නු

wr7-680x433.jpg


ලොව විසු දැවැන්තම නිවුන් සොයුරන් දෙදෙනා ලෙස සැලකෙන්නේ බිලි මක්රේරි සහ බෙනි මක්රේරි දෙදෙනායි. 1946 දෙසැම්බර් 7 වැනිදා උපත ලැබූ ඔවුන් දෙදෙනා ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වුණේ මැග්යුරේ නිවුන්නු ලෙසිනුයි. වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයන් ලෙසටද කටයුතු කළ ඔවුන් දෙදෙනාගේ බර කිලෝ ග්‍රෑම් 338 සහ 328 බැගින් වූ අතර මේ වන ඔවුන් දෙදෙනාම ජිවතුන් අතර නැහැ.

මිටිම විවාහය

wr8-680x433.jpg


වසර අටක පෙම් සම්බන්ධතාවයකින් පසු විවාහ වූ පවුලෝ ගාබ්‍රියෙල් සහ කටියුසියා හොශිනෝ දෙදෙනාගේ උස දැක්වෙන්නේ පිලිවෙලින් අඟල් 34.8 සහ අඟල් 35.2ක් ලෙසටයි. Facebook වෙබ් අඩවියෙන් හඳුනාගත් ඔවුන් දෙදෙනා මේ වන විට සාර්ථක විවාහ දිවියක් ගෙවමින් සිටින්නේ ආදරයට උස ගැටළුවක් කර නොගනිමිනුයි. ඔවුන් ජීවත් වන්නේ බ්‍රසීලයේයි..

අවුලක් නැති රැවුලක්

wr9-680x433.jpg


කැනඩාවේ වෙසෙන සර්වාන් සිං ගේ රැවුලේ සම්පුර්ණ දිග ප්‍රමාණය මීටර 2.495 ක්. මීට පෙර මෙම වාර්තාව හිමිව තිබුණේ පන්ජාබයේ වෙසෙන ඉන්දියන් ජාතික ශම්ශේර් සිං හට වන අතර එම ප්‍රමාණය දැක්වුණේ මීටර් 1.8 ලෙසිනුයි.

දිගම දිවේ හපන්කම්

wr10-680x433.jpg


සෙන්ටිමීටර් 10.1ක් දිගින් යුතු දිවක් සහිත වීම හේතුවෙන් ඇමරිකානු ජාතික නික් ස්ටෝර්බර්ල් වාර්තා පොතට එක්ව සිටිනවා. ඔහු එම දිව යොදාගෙන විවිධ නිර්මාණාත්මක කටයුතු සිදුකරන අතර ඉන් ප්‍රමුඛ ස්ථානය ගනු ලබන්නේ දිවෙන් චිත්‍ර ඇදීමයි. ඔහුගේ එම හැකියාව නිසා නික් ට “ලෙව කෑමෙන් චිත්‍ර අඳින පිකාසෝ” යන අදහස ඇති “ලිකාසෝ” යන අන්වර්ථ නාමයද පටබැඳි තිබීම විශේෂයි. “මේ දිව මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. මට මීට වඩා වටිනා වෙනත් කිසිම දෙයක් නැහැ.” නික් එසේ පවසනවා.

Source- Roar.media