අපේ 225 මංත්‍රීලගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි නොකර හංගගෙන ඉන්නේ ඇයි

jayadush

Active member
  • Mar 16, 2008
    194
    182
    43
    (උපුටා ගැනීමකි ) මෑතක දී නැවත වරක් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග රට පුරා සිටින මිලියන සංඛ්‍යාත පාසල් සිසුන්, ඔවුන්ගේ පවුල් සහ සුභ පතන්නන්ගේ සිත් තුළ අධ්‍යාපන සුදුසුකම් ඉහළින්ම පවතින සමයයි මේ.

    ලැබුණු ප්‍රතිඵලවලට අනුව සතුටු වූ හෝ බලාපොරොත්තු සුන් වූ බොහෝ පවුල්වවලට, ආර්ථික බංකොලොත්භාවය, සමාජ නොසන්සුන්තාව, දේශපාලන අස්ථාවරත්වය, සහ නීතියේ ආධිපත්‍යය ගිලිහී යාම හේතු කොට ගෙන විනාශ වූ දූෂිත කාලකණ්ණි රටක ජීවිතය වුව පවත්වා ගෙන යාමට ඇති දුෂ්කරතා විසින් දරුවන්ගේ අධ්‍යාපනය යටපත් කෙරෙනු ඇතැයි කෙනෙකුට අනුමාන කළ හැකිය.

    එමෙන්ම, සිසුන් 10,863 ක් A සාමාර්ථ 9 ක් ලබා ගත් බවටත්, 231,982 ක් අ.පො.ස (උ) පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවටත්, 6566 ක් සියලු විෂයයන් අසමත් බවටත් පැතිර යන උණුසුම් පුවත් නිසා අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතී.

    පාහරමේන්තුවේ මන්ත්‍රීහු ඡන්දදායකයන්ගේ මුහුණට කෙළ ගසති..​

    ඒ අතරේ, ශ්‍රී ලංකා පාහරමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් ඔවුන් නියෝජනය කරන බව කියන ඡන්දදායක ජනතාවට හෙළි කිරීම උද්ධච්ඡ ලෙස ප්‍රතික්ෂේප කිරීම පිළිිබඳ කාරණය නැවත වරක් මතු කිරීමට සුදුසු කාලයකි, මේ. එවැනි මූලික තොරතුරු ස්වේච්ඡාවෙන් හෙළි කිරීමට ඔවුන් දක්වන තකතීරු ප්‍රතිරෝධය ඔවුන් තෝරා පත් කර ගත් ඡන්දදායකයින්ගේ මුහුණට කෙළ ගැසීමක් හා සමානය.

    පාහරමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනා අතර විශ්ව විද්‍යාල උපාධිධාරීන් 25 දෙනෙකු පමණක් සිටින බවත්, 94 දෙනෙකු අපොස (සාමාන්‍ය පෙළ) විභාගයවත් සමත්ව නැති බවත්, 2017 වසරේ දිවංගත මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා කළ හෙළිදරව්ව සමඟ මෙම “කුණු ගඳ” වඩාත් නරක අතට හැරිණි.

    2020 දී තේරී පත් වූ මන්ත්‍රීන් 225 දෙනා සම්බන්ධයෙන් මෙම සංඛ්‍යා ඊටත් වඩා කණගාටුදායක විය හැකි බව පැහැදිලි හේතූන් මත කෙනෙකුට අනුමාන කළ හැකිය. මන්ත්‍රීන් තම තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගැන මෙතරම් රහස්‍යභාවය රකින්නේ ඇයි දැයි එයින් පැහැදිලි කර ගත හැකිය.

    එංලන්තේ, ඇමරිකාවේ, සිංගප්පූරුවේ, ඉන්දියාවේ තත්ත්වය..​

    ඊට වෙනස්ව, 2019 දී එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ සාමාජිකයින්ගෙන් 85% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබූ අතර, කැබිනට් සාමාජිකයින්ගෙන් 57% ක් ඔක්ස්ෆර්ඩ් හෝ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබුණි!

    සිංගප්පූරුවේ කැබිනට් ඇමතිවරුන් 22 න් 20 ක්ම පශ්චාත් උපාධිධාරීන්ය.

    ඇමරිකා එක්සත් ජනපදයේ 116 වැනි කොන්ග්‍රසය ආරම්භයේ දී, එහි බහුතරය (කොන්ග්‍රස් සාමාජිකයන්ගෙන් 94.8% ක් ද, සෙනෙට් සභිකයන්ගෙන් 100% ක් ද) විශ්ව විද්‍යාල ප්‍රථම උපාධිධරයන් විය. කොන්ග්‍රස් සාමාජිකයන්ගෙන් 68% ක් සහ සෙනෙට් සභිකයින්ගෙන් 77% ක් ප්‍රථම උපාධියෙන් ඔබ්බට ගිය උපාධි ලබා තිබුණි.

    පුදුමයට කරුණක් නම් ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීන් 394 දෙනාගෙන් 75% කටම අවම වශයෙන් විශ්ව විද්‍යාල උපාධියක් තිබීමයි.

    ඉහත කී සැසඳීම් අනුව ශ්‍රී ලංකාවේ පාහරමේන්තුවේ මන්ත්‍රීන් ලැජ්ජා විය යුතුය.

    ඡන්දය ප්‍රකාශ කිරීමේ දී දැනඋගත්කම් ඇති අයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අවශ්‍ය තීරණාත්මක තොරතුරු දැන ගැනීම පිණිස ඡන්දදායකයාට ඇති අයිතිය ගැන දන්නා මේ මූර්ඛයන් තම තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ස්වේච්ඡාවෙන් ප්‍රකාශ කිරීම තකතීරු ලෙස ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවේ.

    පාහරමේන්තු ඔපිසරයන්ගේ බයාදුකම සහ තකතීරුකම..​

    2021 තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම තොරතුරු සොයන පුරවැසියෙකුට තව දුරටත් පෙනී යන්නේ, පාහරමේන්තුවේ ඔපිසරයන් විසින් අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ තොරතුරු සපයන ලෙස මන්ත්‍රීන්ගෙන් ඉල්ලා ඇත්තේ ඕනෑවට එපාවට බවයි. මෙම තොරතුරු ඔවුන් “කැමති” නම් පමණක් “කරුණාවෙන්” ලබා දෙන ලෙස මන්ත්‍රීකාරයන්ගෙන් ඉල්ලා සිටිය ද, හැකි තාක් යටහත් පහත් ස්වරයෙන් විමසා සිටිය ද, මාස දෙකක කාලයක් පුරා එකදු මන්ත්‍රීවරයකු හෝ ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා එම විමසීම යටපත් විය.

    වෙනත් අවස්ථාවල දී සභාව තුළ පවතින්නේ මන්ත්‍රීකාරයන්ගේ මාළු කඩේ වැනි මහා ඝෝෂාකාරී ලොකු කතා සහ ආත්ම විශ්වාසයකි; එහෙත් හදිසියේවත් සභාවේ සිටින අයගෙන් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන විමසූ විට ඇති වන්නේ මහා භයංකර නිහඬතාවයකි.

    මන්ත්‍රීන් තම අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා දෙන නිදහසට කරුණු ඇත්ත වශයෙන්ම අගතිගාමීය. එවැනි තොරතුරු ‘පුද්ගලික’ බැවින් ඒවා හෙළිදරව් කිරීම පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් යයි පාහරමේන්තුවේම තොරතුරු නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි මුල් පෙළ සති අන්ත පුවත්පතක් වාර්තා කළේය.

    ඇත්තෙන්ම එම ප්‍රකාශය පාහරමේන්තු ඔපිසරයන්ගේ ද බුද්ධිය හා අධ්‍යාපනය ගැන ද ප්‍රශ්න කළ යුතු වන ආකාරයේ විකාරයකි!

    චන්දෙ ඉල්ලං එන එකා නූගතෙක්ද? පිස්සෙක්ද? අපරාධකාරයෙක්ද? ඇසීම අයිතියක්…​

    මිනිසුන් මන්ත්‍රීන්ගේ ලිංගික මනාප අමනාපකම් ගැන විමසනවා නොවේ, ඔවුන් කොපමණ වාරයක් බොනවා ද, දුම් පානය කරනවා ද, බුලත් හපනවා ද, කුඩු ගහනවා ද කියා අහනවා නොවේ. ඔවුන් දත් මදිනවා ද, දත් මදිනවා නම් ඒ වාර කීයක් ද කියා අහනවා නොවේ.

    කාලාන්තරයක් පැවැති බඩජහරිකම, කැරකෙන පුටුවලම විසි හතර පැයම ගෙවීම, සහ ඕනෑම එකෙකුට වැඳ ගෙනම ඉඳීමේ පුරුද්ද ආදී ජීවන රටාවක් ඇති, ඡන්දය ඉල්ලා ගෙන එන දේශපාලකයකුගේ තරබාරුකමෙන්ම ඔහු සෞඛ්‍ය හෝ අධ්‍යාපන ඇමතිකමට සුදුසු වන බව කිව හැකි හෙයින්, ජනතාව ඔවුන්ගේ බර හා බඩේ වට ප්‍රමාණය කොපමණ ද කියා අහනවාත් නොවේ.

    නිසැකවම, එවැනි සියලු තොරතුරු පෞද්ගලික හා අතිශයින් රහසිගත බව ගැන කිසිවෙක් තර්ක නොකරයි. මන්ත්‍රීන් තමන් පිළිබඳ එවැනි තොරතුරු හෙළිකරයි කියා කිසිවකු බලාපොරොත්තු වන්නේ ද නැත.

    අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් එසේ නොවේ. අයදුම් පත්‍රයේ අධ්‍යාපන සුදුසුකම් සඳහන් නොකර ඔබට මෙරට රැකියාවක් ලබා ගත නොහැක.

    එසේ නම්, ඔබේ ඡන්දය ඉල්ලා සිටින පාහරමේන්තු මන්ත්‍රීන් ව්‍යවස්ථාදායකයන් වීමට අයදුම් කිරීමේ දී එහි ව්‍යතිරේකයක්, විශේෂයක් විය යුත්තේ ඇයි? එවැනි රහස්‍යභාවයක ඇති තේරුමක් නැත. එය සාධාරණ හෝ තර්කානුකූල ද නොවේ.

    දැනඋගත්කමක් ඇති උන් අනාගත නියෝජිතයින් කර ගැනීම සඳහා අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව මෙන්ම, ඡන්දය ඉල්ලා ගෙන එන එකා නූගතෙක් ද, මනෝ වෛද්‍යවරයකු විසින් පිස්සෙකු යයි සහතික කර තිබේ ද, නැතහොත් අධිකරණයක් මගින් වරදකරු කර තිබේ ද යන කාරණා පිළිබඳව ද ඡන්දදායකයින් දැනුවත්ව සිටීම අත්‍යවශ්‍යම වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආගමේ පූජනීය ග්‍රන්ථ සමඟ සම කළ යුතු නැත…​

    පෙර කී පාහරමේන්තු නිලධාරියා විසින් ඉදිරිපත් කරන ලද දෙවන දුර්වල නිදහසට කරුණ නම්, මන්ත්‍රීකම සඳහා අවම අධ්‍යාපන ප්‍රමිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර නැති බවයි. එහි යටි අරුත නම්, තම අධ්‍යාපන සුදුසුකම් ඡන්දදායකයින්ට ස්වේච්ඡාවෙන් හෙළි කිරීමට මන්ත්‍රීන් බැඳී නැති බව කීමයි.

    එහෙත් පාහරමේන්තු මන්ත්‍රීකාරයෙකු තම බිරිඳට පහර දීම, හෝ අනාචාරයේ යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිශ්චිතවම තහනම් කර නැත. එහෙත් එවැනි හැසිරීම් වල නොයෙදීමට ඔහුට සදාචාරාත්මක යුතුකමක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

    පාහරමේන්තු මන්ත‍්‍රීකාරයෙකු උසස් අවංකභාවයකින් යුතු, රාජකාරියට හා සේවයට කැපවීමකින් යුතු පුද්ගලයෙකු විය යුතු යැයි ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැත. එහෙත් එවැනි ගුණාංගවලින් තොර ඕනෑම ඊනියා මහජන නියෝජිතයකු වෙතොත් ඌ දේශපාලනිකව ජනතා ලේ උරා බොන ආත්මාර්ථකාමීයෙකු ලෙස මැකී යනු ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආගමේ පූජනීය ග්‍රන්ථ සමඟ සම කළ යුතු නැත. ජනතාව නියෝජනය කරන බව කියන අයගේ සදාචාරාත්මක ප්‍රමිති, සදාචාරාත්මක අවශ්‍යතා සහ රාජකාරිමය බැඳීම් පිළිබඳ අවසාන වචනය එය නොවේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් කීවත් නොකිව්වත්, තම අධ්‍යාපන සුදුසුකම් ඡන්දදායකයින්ට ස්වේච්ඡාවෙන් හෙළි කිරීමේ නොවැළැක්විය හැකි සදාචාරාත්මක යුතුකමක් පාහරමේන්තු මන්ත්‍රීකාරයන්ට තිබේ.

    අවසාන විරෝධය වඩාත්ම හාස්‍යජනකය…​

    එවැනි හෙළිදරව් කිරීම සඳහා අවසාන විරෝධය වඩාත්ම හාස්‍යජනකය. පාහරමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අධ්‍යාපන සුදුසුකම් කිසිදු "මහජන ක්‍රියාකාරකමකට" කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එවැනි හෙළිදරව් කිරීම සඳහා බහුතර ජනතාවගේ ලොකු ඉල්ලීමක් නැති බවත් ප්‍රකාශ වී තිබේ.

    ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දදායකයින් සිය ඡන්ද අයිතිය පාවිච්චි කරනවාට වඩා වැදගත් වෙනත් "ජනතා ක්‍රියාකාරකමක්" නොමැති බව මේ පිස්සන් සිතන්නේ නැත.

    සාමාන්‍ය රැකියාවක් සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේ දී රැකියා අපේක්ෂකයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලධාරීන් සොයා බලන්නා සේම, ඡන්දාපේක්ෂකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන දැන ගැනීම ඔවුන් තෝරා පත් කරන ඡන්දදායකයින්ගේ ඉහළම “ජනතා අවශ්‍යතාවයකි.” රාජ්‍ය තනතුරු අපේක්ෂාවෙන් සිටින අයගේ පෞද්ගලික ජීවිතයේ පැතිකඩ ඉහළම පොදු වැදගත්කමක් දරයි.

    “පෞද්ගලික ජීවිතය” නම් සැඟවූ අයිතිවාසිකම දේශපාලකයන්ට නැත..​

    විශේෂයෙන්ම නීති සම්පාදකයින් වීමට තම යෝග්‍යතාවය තක්සේරු කිරීමේ දී ඉතා වැදගත් වන අධ්‍යාපනය වැනි කාරණා ද තම “පෞද්ගලික ජීවිතය” නමැති රෙද්ද අස්සේ ගසා සඟවා තබා ගැනීමේ අයිතිවාසිකමක් දේශපාලකයන්ට නැත.

    තමන්ගේ පෞද්ගලික ජීවිතයේ රහස්‍යභාවය ගැන අනවශ්‍ය ලෙස සැලකිලිමත් වන අය ඊට සරිලන පරිදි අප්‍රසිද්ධියේ ගත කළ යුතුය; එසේ නොමැතිව, පෞද්ගලික ජීවිතය මහජන අවශ්‍යතා පිළිබඳ තීරණාත්මක නීත්‍යානුකූල කාරණයක් ලෙස සලකන මහජන ආයතන තෝරා ගැනීමෙන් ඔවුන් වැළකිය යුතුය. ඔවුන්ට දෙලොවක් අතර ජීවත් විය නොහැක.

    මෙහි තර්ක කර ඇති පරිදි, පාහරමේන්තු මන්ත්‍රීවරුන්ට ස්වේච්ඡාවෙන් තම අධ්‍යාපනික සුදුසුකම් හෙළිදරව් කිරීමට ඇති චාරමය හා සදාචාරමය වැදගත්කම කුමක් වුවත්, එය නිෂ්ඵල බලාපොරොත්තුවකි. වර්තමානයේ ප්‍රබුද්ධ මහජන මතයට දේශපාලකයින් දක්වන අසංවේදීතාවය අනුව අපට සිදු වන්නේ එවැනි දෙයක් කවදා හෝ සිදු වනු ඇතැයි සිතමින් අප අපම මුළා කර ගැනීම පමණි.

    පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ හැකිය; සිදුවුවහොත් ආශ්චර්යයකි..​

    මෙම ලිපියේ ප්‍රකාශිත අදහස් ගැන කණගාටු වන, විපක්ෂයේ පක්ෂ නායකයින් ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ට මෙම ප්‍රශ්නය විධිමත් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිය; මන්ත්‍රීවරුන් 225 දෙනාම තම අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවට යෝජනා කළ හැකිය.

    එවැනි යෝජනාවක් ඒකමතිකව හෝ අවම වශයෙන් බහුතර ඡන්දයෙන් පිළිගන්නේ නම්, තවත් මොන කතා ද? නමුත් එවැන්නක් සිදු වුවහොත් එය මහා ආශ්චර්යයකි.

    එවැනි යෝජනාවක් මුළුමනින්ම ප්‍රතික්ෂේප වුවහොත්, පක්ෂ විපක්ෂ දෙපක්ෂයේම සිටින, තම අධ්‍යාපනික සුදුසුකම් ප්‍රකාශ කිරීමට කිසිදු චකිතයක් නැති මන්ත්‍රීලාට එය ප්‍රතික්ෂේප කරන අය නොතකා හරිමින් ඉදිරියට යා හැකිය.

    වැඩි සුදුසුකම් ඇති මන්ත්‍රීන් මෙන්ම අඩු සුදුසුකම් ඇති මන්ත්‍රීන් ද මීට ඇතුළත් විය හැකිය. කෙසේ වෙතත්, අඩු අධ්‍යාපනික සුදුසුකම් හෙළිදරව් වීමෙන් ඔවුන්ට දැනෙන අපහසුතාවය, ඔවුන්ගේ අවංකභාවය හා විවෘතභාවය පිළිබඳව පළ වන මහජන කෘතවේදීභාවය විසින් යටපත් වනු ඇත.

    උද්ධච්චකම නිසා ස්වේච්ඡාවෙන් තම අධ්‍යාපනික සුදුසුකම් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරන ඉතිරි දේශපාලුවන් මෙවැනි බැහැර කිරීමේ ක්‍රියාවලියකින් ඉබේටම හෙළිදරව් වනු ඇත. සැලකිය යුතු අධ්‍යාපනයක් හෝ මහජන මතයට ගරු කිරීමක් නොමැති ඒ හැතිකරය ජනතා පිළිකුලට ලක් වනු නොඅනුමානය.

    - 2022 දෙසැම්බර් 26 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Prof. A. N. I. Ekanayake ලියූ, “Voluntary disclosure of educational attainments by MPs: A moral duty” නම් ලිපිය සිංහලට නැගුවේ,
    - ආනන්ද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,768
    32,778
    113
    KY
    එයාලා රටේ මිනිස්සුන්ට වඩා සුදුසුකම් තියන හින්දා ඒවා හංගන් ඉන්නේ. ඉගෙන ගන්න ඩ්ග්‍රී ගන්න ඉන්න අය ඒ සුදුසුකම් දැකලා මොටීවෙට් වෙන එක නැති වෙයි කියලා
     
    • Haha
    Reactions: B.Chat and SLK_sri