මම ඔය පොත කියවලා නෑ. හැබැයි ඔය සදහනේ හැටියට මෙහෙමයි.
ලක්ෂණ වශයෙන් දැන ගැනීම.
යම් යම් දේවල්වල ලක්ෂණ අනුව, ස්වරූපය අනුව ඒ ඒ දේවල් බෙදා දැක්විය හැකියි. වර්ග කළ හැකියි. විවිධ වර්ගවල මල් ඇති මල් වට්ටියකින් ඒ ඒ වර්ගයේ මල් ඒ ඒ ගොඩවල් වලට වර්ග කළ හැකියි. රෝස මල් එක ගොඩකටද වතුසුදු මල් එක ගොඩකටද දාස්පෙතියා තව ගොඩකට ද බෙදා වෙන් කළ හැකියි. එසේ බෙදා දැක්වීමට ඉවහල් වන්නේ කුමක්ද? ඒ ඒ මල්වල දක්නට ලැබෙන ලක්ෂණයි.
ඒ පරිදිම සතර පරමාර්ථ ද විවිධ ලක්ෂණ අනුව විශ්ලේෂණය කළ හැකියි. උදාහරණයක් හැටියට විත්ත පරමාර්ථය ගනිමු. චිත්ත පරමාර්ථය 89 ආකාරයකට බෙදා දැක් වූයේ යැයි සිතමු. 89ක් වූ චිත්තයෝ ඒ ඒ චිත්තයන්ගේ ලක්ෂණ අනුව නැවැත වෙන් කළ හැක. ඇතැම් සිත් හටගැනීම හේතු කොට ගෙන ඒ පුද්ගලයාට කටුක විපාක විදීමට සිදුවේ නම් එවැනි සිත් අකුසල සිත් ලෙස දක්වයි. එබදු සිත් 12කි. ඒ අනුව 89ක් සිත්වලින් 12ක් අකුසල සිත් ලෙස වර්ග කරනු ලබන්නේ ඒ සිත්වල දක්නට ලැබෙන පොදු ලක්ෂණ මූලික කොටගෙනය. ඒ ඒ පරමාර්ථයන්ගේ ලක්ෂණ දැනගැනීම ඒ ඒ පරමාර්ථයන් අවබෝධ කර ගැනීමට උපකාරී වේ.
පවත්නා ආකාරයාගේ වශයෙන් දැන ගැනීම.
ඒ ඒ පරමාර්ථයන්ගේ පැවතුම් මාත්‍රය අනුව ඒ ඒ පරමාර්ථ බෙදා දැක්විය හැකියි. උදාහරණයක් ලෙස චිත්ත පරමාර්ථය ම ගනිමු. ඇතැම් සිත් කාමාවචර ලෝකයන්ගේ උපදිති. එය ඒ සිත්වල් පැවතුම් ස්වභාවයයි.ඒ අනුව කාමාවචර ලෝකයන්ගේ පවතින සිත් 54ක් ලෙස දැක්විය හැක. ඇතැම් සිත් අරූපාවචර ලෝකයන්හි උපති. එය ඒ සිත්හි පවත්නා ආකාරයයි.
අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි = ඉතා හොදින් දැනගත යුතු ධර්මයන් දැනගැනීම.
දුක්ඛාර්‍ය සත්‍යට අයත් රූපාරූප ධර්මයන් යනු මොනවාදැයි පළමුව විමසා බැලිය යුතුයි. ඒ අනුව දුක්ඛ ආර්‍යය සත්‍ය මෙසේය.
ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං - ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා
“මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය. (
ධම්මචක්කප්පවත්ත සූත්‍රය)
සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය)
ඒ අනුව පංච උපාදානස්කන්ධය මෙහිලා රූපාරූප නමි. ඊට හේතුව එය රූප හා අරූප ලෙස කොටස් 2කට බෙදා දැක්විය හකිවීමයි. (නාමරූප)
පංච උපාදානස්කන්ධය පහත පරිදිය.
රුප ස්කන්ධය - රූප
වේදනා ස්කන්ධය - අරූප
සඤ්ඤා ස්කන්ධය-අරූප
සංස්කාර ස්කන්ධය-අරූප
විඤ්ඤාන ස්කන්ධය-අරූප
එතකොට රූපාරූප ධර්මයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ කියන්නේ ඒ ඒ ස්කන්ධයන්හි දක්නට ලැබෙන ආවේණික ලක්ෂණයි. පෙර ලකෂණ පිළිබද දැක්වූ විස්තරයම මෙහිදී ද අදාළ කර ගත හැක.
"අනිත්‍ය - දුඃඛ - අනාත්ම යන සාධාරණ ලක්ෂණයන්" යැයි දක්වන ලද්දේ එම ලක්ෂණ ත්‍රය සියලු ස්කන්ධයන්ට සාධාරණ (පොදු) වෙන බැවිනි.
පරමාර්ථ ධර්ම හා පංචස්කන්ධයේ සම්බන්ධය වටහා ගැනීම ද මෙහිලා වැදගත්ය. නිබ්බාණ පරමාර්ථය හර අනෙක් ත්‍රිවිධ පරමාර්ථයෝ පංචස්කන්ධය හා මෙසේ සම්බන්ධ කළ හැක.
රුප ස්කන්ධය - රූප පරමාර්ථය
වේදනා ස්කන්ධය - චෛතසික පරමාර්ථය
සඤ්ඤා ස්කන්ධය- චෛතසික පරමාර්ථය
සංස්කාර ස්කන්ධය- චෛතසික පරමාර්ථය
විඤ්ඤාන ස්කන්ධය- චිත්ත පරමාර්ථය