සෙපෝයි සේනාව සිටියද එය ප්‍රමාණවත් නොවූ නිසා බර්ගර්වරු ද සිවිල් සේවාවල අය ද ඊට යොදා ගති. මුත්තුසාමි කුමරු මාර්තු 4 වැනිදා නුවරට රැගෙන ආ අතර මාර්තු හයවැනිදා රජකමේ පිහිටුවුයේ මනුෂ්‍යයන් නැති පාළු මහනුවරය. අලුත් රජු පිළිබඳ ශුභාරංචිය දීමට හමුදා කොටස් අසල ගම්වලට ගියවිට ගම්මුන් පලාගිය බැවින් මිත්‍රත්වයේ පණිවිඩය දීමට නොහැකි විණි. ආණ්ඩුකාරයා හා මුත්තුසාමි රජු අතර ගිවිසුමක් ද අත්සන් තැබිණි. එය පහත පරිදිය. ඉංග්‍රීසීන් විසින් හතර කෝරලේ, ගිරාගම හා ගලගෙදර හැර ඉතිරි කොටස් රජුට දීම හා අවශ්‍ය වුවොත් රජුට අතිරේක හමුදා සැපයීමට ද පොරොන්දු වූහ. රජු විසින් උඩරට හරහා ත්‍රි'මලය දක්වා පාරකට ඉඩම් පටියක් ලබා දීම. උඩරට වසන මැලේවරු මුහුදුබඩ ප්‍රදේශවලට යෑවීම, බලන කන්දෙන් බටහිර ඇති කුරුඳු ඉංග්‍රීසීන්ට ලබාදීම. ඉවත් කළ රජුට කොළඹට යැමට ආරක්ෂාව ලබාදීම, ශ්‍රී වික්‍රම රජුට පක්ෂව ක්‍රියා කළ අයට සමාව දීම හා උඩරට ගංගාවල යාත්‍රා කිරීමට ඉංග්‍රීසීනට අවසර දීම පොරොන්දු විය. නමුත් තමා සමඟ ආ ඥතීන් අටදෙනා හැරුණු විට රජුට වෙනත් රටවැසියන් නොවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද, නිලධාරීන්ද, සන්නද්ධ මහජනයා ද හඟුරන්කෙත ආරක්ෂිත රජමාලිගා ආශ්රිත ජනාවාසයෙහි විසූ අතර එය පිහිටියේ දින දෙකක් ගමන් කළ යුතු දුරිනි. කැලෑ වැදුනු මහජන සෙනාවට කැලෑවේ ගඩාගෙඩි කමින් වුවද ජීවත් වීමට සුදුසු පරිදි පලතුරු ගස්වලින් සැදි කැළෑව වවන ලද්දේ සෙනරත් රජතුමා විසිනි. තමනට වඩා සන්නද්ධ බලයෙන් ඉංග්‍රීසීන් වැඩි නිසා ආහාර හිඟ වී, යල් වැසි මැයි මාසයේ ආරම්භ වී, භූමිය මඩ වී ලෙඩ රෝගද පැතිරෙන තුරු බලා හිඳීම පෘතුගීසි ආක්‍රමණවලදී පටන්ම උඩරැටියන් විසින් උගත් යුද්ධෝපක්‍රමයක් විය. තමන් සතු සීමිත අවි ආයුධ, වෙඩි බෙහෙත්, පතුරම් ආදිය අනවශ්‍ය ලෙස නාස්තිකර නොගෙන කුඩා එකාගේ වාරය එනතුරු බලා සිටීමට අවශ්‍ය විනය හා ඉවසීම ඔවුනට තිබිණි. දිවා කාලයේ සැඟවී සිට ඔත්තු බලා රාත්‍රි කාලයේ හදිසියේ පහරදීමක් කර පලායැමේ හැංගිමුත්තම්වලින් ඉංගී්රසීන් වෙහෙසට පත් කරවීමට ද වග බලා ගත්හ. පිලිමතලාවේ මහඅදිකාරම නැවත මිත්‍රත්වයේ වෙස් මුහුණ දමාගෙන මැක්ඩෝවල්ට දැන්වූයේ නිවැරදි ලෙස ගමන් කර ශ්‍රී වික්‍රම රජු අල්ලා ගැනීමට උදව් කිරීම තමනට කළ හැකි බවය. මාර්තු 13 වැනිදා කර්නල් බේලි යටතේ 300 සහ කර්නල් ලොගන් යටතේ 300 ක් දෙපැත්තකින් හඟුරන්කෙත බලා යෑවිණ. ගමන දුෂ්කර නිසා සුළු අවි පමණක් රැගෙන ගියහ. දෙපස කඳුවල සිට සිංහල හමුදාව වෙඩි සැර එල්ල කිරීම හා ගල් පෙරළීම කළ ද ඔවුන් පළවා හැරීමට හැකි වුණි. මියයැම් හා තුවාලවීම් සිදුවිය. මාර්තු 14 දා සවස හමුදාංක දෙක හඟුරන්කෙත දී හමුවූහ. සටනකින් තොරවම මාලිගා ව අල්ලා ගැනුනි. රජු හා ප්‍රභූන් පැන ගියහ. වටිනා කිසිවක් ඉතිරිව නොවීය. දවස් 8 කට ප්‍රමාණවත් ආහාර පමණක් ගෙන යැම නිසා මාලිගාව හා ගෙවල් ගිනිතබා 15 දා ආපසු පිටත් වී 16 දා මහනුවරට ආහ. ආපසු ගමනේ විරුද්ධතා ඇති වුණේ පළමු වරට වඩා අඩුවෙනි. කඳු මුදුන්වල සැඟවී සිට ශබ්ද නැතිව ඊතල ප්‍රහාර එල්ල කිරීම මෙහි විශේෂ වූ පහරදීමකි. කොළඹ සිට නුවරට සැපයුම් මාර්ගය දඹදෙණියේ දී අවහිර කෙරුණි. මාර්තු 16 දා ලියුම් පැහැරගෙන පණිවිඩ හුවමාරුව නතර වුණි. මාර්තු 30 දක්වාම කොළඹ - නුවර මාර්ගය අවහිරව පැවතුනි. කැප්ටන් පොලොක් මහනුවර සිට හමුදාංකයක් රැගෙන දඹදෙණියට ගොස් සටන් වැදී සිංහල හේවායන් පරාජය කළේය. නමුත් ඔහු උණ ගැනී කොළඹට ගියේය.

