අමාත්‍ය මණ්ඩල තීරණ

Nov 2, 2011
990
76
0
අමාත්‍ය මණ්ඩල තීරණ










(කොළඹ, ලංකාපුවත්) –
01. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඒකාබද්ධ කෙරේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙම ආයතන දෙක එක් ආයතනයක් ලෙස ඒකාබද්ධ කර රජය විසින් පාලනය කිරීම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මඟින් ලබා දී ඇති නිර්දේශයක් වන අතර ඒ සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
02. මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත.
පසුගිය සැප්තැම්බර් 12වනදා සිට 30වනදා දක්වා පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 18වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳ වාර්තාව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කරයි.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ ඇතැම් රටවල් විසින් අයෝග්‍ය සහ අසාධාරණ පූර්ව විනිශ්චයකට එළැඹිම සම්බන්ධයෙන් වූ ශ්‍රී ලංකාවේ මතය පිළිබඳ පූර්ණ පැහැදිලි කිරීමක් සමාජික රටවල් වෙත කර ඇත.
එහි ප්‍රතිඵලයක් වශයෙක් පාකිස්ථානය, කියුබාව, චීනය, රුසියානු සමූහාන්ඩුව, තායිලන්තය, චිලී, මැලේසියාව සහ ඇල්ජීරියාව ඇතුළු රටවල් බහුතරයක සහය ශ්‍රී ලංකාවට වෙත පළ විය.

එසේම ශ්‍රී ලංකාවේ මතය එක්සත් ජාතීන්ගේ මහ සභා සැසියට හා මෑතකදී අවසන් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙත පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස විසින් ශ්‍රී ලංකාවේ මතය ජාත්‍යන්තරයට පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රශංසාව පළ විය.
03. ගෝනපිනුවල සහ බද්දේගම ජල සම්පාදන ක්‍රම වැඩිදියුණු කෙරේ.
ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවක් අනුව ගාල්ල - බද්දේගම හා ගෝනපිනුවල ජල සැපයුම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබේ.
ගෝනපිනුවල ජල සැපයුම් ව්‍යාපෘති සඳහා 2012/ 2013 වර්ෂ තුළ දී රු. මි. 349ක් ද බද්දේගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා රු. මි. 440.46ක මුදලක් ද ලබා දීමට අපේක්‍ෂිතය.
04. මොරටුව විශ්වවිද්‍යාලීය තාක්‍ෂණික ආයතනය හෝමාගමට.
මොරටුව විශ්වවිද්‍යාලීය තාක්‍ෂණික ආයතනය හෝමගම දියගම ප්‍රදේශයට ගෙන යාමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් චීන ජාතික ගුවන් තාක්‍ෂණ ආයතන ආපනයන සංස්ථාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 89.55ක ගිවිසුමකට එළැඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.
05. විදේශ කටයුතු අමාත්‍යාංශය බත්තරමුල්ලට.
විදේශ කටයුතු අමාත්‍යාංශය බත්තරමුල්ලේ නව ස්ථානයක පිහිටුවීමටත් ඒ සඳහා අක්කර 3.5ක විශාලත්වයෙන් යුත් ඉඩමක් වෙන් කරවා ගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
දැනට මෙම අමාත්‍යාංශය පිහිටා ඇත්තේ කොළඹ කොටුව ජනරජ ගොඩනැගිල්ල අවුරුදු 150කට වඩා පැරණිය. එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල මුදලක් වැය වන බැවින් මෙම අමාත්‍යාංශය නව ස්ථානයක පිහිටුවනු ලැබේ.
06. හම්බන්තොට උරුම කෞතුකාගාරය ඉදිකිරීමට රු. මි. 50ක්.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතාගේ යෝජනාවකට අනුව රු. මි. 50ක වියදමින් යුත් උරුම කෞතුකාගාරය හම්බන්තොට කච්චේරි ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.
07. 2012 වසරට පාසැල් නිල ඇඳුම් රෙදි සැපයීඹට රු. මි. 1554ක්.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ යෝජනාවකට අනුව 2012 වසර සඳහා පාසැල් නිල ඇඳුම් සඳහා වූ රෙදි චීනයෙන් හා පාකිස්ථානයෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව සුදු රෙදි මීටර් 5,810,000ක් ද, සුදු කලිසම් රෙදි මීටර් 980,000ක් ද, නිල් කලිසම් රෙදි මීටර් 770,000ක් ද, සිවුරු රෙදි මීටර් 400,000ක් ද ආනයනය කෙරේ.
මෙම රෙදි ආනයනය කිරීම සඳහා රු. මි. 1054ක් වැය වෙතැයි අපේක්‍ෂා කෙරේ.