අමු මස් කෑ භික්ෂුව

hpalpola

Well-known member
  • ත්‍රිපිටකයේ විනය පිටකයේ භේසජ්ජක්ඛන්ධකයෙ සඳහන් වෙනවා අමු මස් කෑ භික්ෂුවගෙ කතාව. එක්තරා භික්ෂුවකට අමනුෂ්‍ය උපද්‍රවයක් ඇති වෙනවා. අනෙක් භික්ෂූන්වහන්සේලා මේ භික්ෂුව සනීප කරගන්න උත්සාහ කලත් හරි යන්නෙ නැහැ. දවසක් මේ උපද්‍රවයට ලක්වුන භික්ෂුව සතුන් මරණ තැනකට ගිහිල්ලා අමු ලේ බොනවා, අමු මස් කනවා. ඒකත් එක්ක භික්ෂුවට තිබුන අමනුෂ්‍ය උපද්‍රවය අවසන් වෙනවා. ඒ අමනුෂ්‍යයා භික්ෂුවගෙන් අයින් වෙනවා. ඉතින් මේ සිදුවීම බුදුරජාණන්වහන්සේට දැන්වුවාම බුදුරජාණන්වහන්සේ විනය නීතියක් පනවනවා අමනුෂ්‍ය උපද්‍රව්‍යකට ලක්වුන භික්ෂුවක් එයින් මුදවන්න අමු ලේ, අමු මස් ලබා දීම අනුදැන වදාරණ බවට.

    ඉතින් මේ සිදුවීම ගත්තම අපිට පේන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි භික්ෂුවකට වුනත් අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්. තවකෙක් තමයි ඒ වගේ අමනුෂ්‍ය උපද්‍රවය ඇති වුනාම මිනිස්සු කරන්නෙ ශිෂ්ට සම්පන්න මිනිස්සු කරන දේවල් නෙමෙයි. දැන් අපි බැලුවොත් මේ සිදුවීමේ වගේ අමු මස් කන එක නැත්නම් අමු ලේ බොන එක සාමාන්‍ය මනුස්සයෙක් කරන දෙයක් නෙමෙයිනෙ. තවත් එකක් තමයි අමනුෂ්‍යයො හුඟක් වෙලාවට අමු ලේ වලට අමු මස් වලට කැමැතියි කියන එක. ඔබ දැක ඇති බොහෝ තොවිල්වලදි බිල්ලක් දෙනවා. අමු ලේ ගොටුවක් තියනවා අමනුෂ්‍යයන්ට. බුද්ධ කාලයෙදිත් මේ තත්ත්වය පැවැති බව විනය පිටකයේ සඳහන් මේ සිදුවීමෙන් පැහැදිලියි.

    මේ සිදුවීම අනුව පෙනී යන දෙයක් තමයි අමනුෂ්‍ය උපද්‍රව සිදු වෙන්න පුළුවන් බව බුදුරජාණන්වහන්සේ පවා දැන සිට තිබෙන බව. උන්වහන්සේ ඒ අවස්ථා වලදී බණ කියන්නම උත්සාහ කරලා නැහැ. සාමාන්‍ය භාවිතයට ඉඩ දීලා තියෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare