අරගලයට එක්වූ ගුවන් නියමුවෝ

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අරගලයට එකතු වුණු ගුවන් නියමුවෝ ...

    (මව්බිම ආර්ථික අගාදයට ඇද දමා ජන පැවැත්ම විනාශ කළ ඔවුහු, තමන්ට විරුද්ධව නැගෙන ජන අරගලයේ සවිය , ඝෝෂාව දරා ගත නොහැකිව යම් රහස් මොහොතක රටින් පලා ගියහ . ඔවුන් රැගත් පෞද්ගලික ගුවන් යානයේ නියමුවා වූයේ කපිතාන් නුවන් බණ්ඩාර ඒකනායකයි. මේ ලියා ඇත්තේ ඔහුගේ කතාවයි . යතාර්ථය, දෛනික ජීවිතය දරා ගත නොහැකි තරමට කටුක, කර්කෂ තලයකට වැටී ඇති මොහොතේ මේ ලියා ඇත්තේ ෆැන්ටසියකි . සැබෑ වේවායි පතන සිහිනයකි.)
    .......

    "කොයි වෙලාවක හරි කෝල් එක එනවා. දවස කවදද කියලා කියන්න බැහැ..කෝල් එක ආවම කරන්න තියෙන්නේ කළබල වෙන්නේ නැතුව , ගෙදර අනෙක් අයව නැගිට්ටවන්නේ නැතුව ලෑස්ති වෙලා කිසිම ඇඳුම් බෑග් එකක් නැතුව එළියට බහින්න. කෝල් එක එන්නේ රෑට . ඒ වෙලාවට ලයිට් කපලා තියෙයි. මතක ඇතුව ෆෝන් එක චාර්ජ් කරළා තියා ගන්නවා.."

    "සර්.. මට ගෙදර කට්ටියව කවදා වගේ බලන්න ලැබෙයිද..?"
    "ඒක දන්නේ නැහැ නුවන්. වයිෆ් දන්නේ නැහැ නේ මොකද වෙන්නේ කියලා..? ඔයා කිසි දෙයක් කියලා නැහැනේ..? "
    "නැහැ සර් ඒත් .. හුග දෙනෙක් දන්නවා මම සර් ලාට වැඩ කරනවා කියලා. ලොකු කට්ටිය යන්න ගිහින් මමත් අතුරුදහන් වුණාම වට පිටේ ඉන්න හැමෝම සැක කරන්න ගන්නවා. ගෙදර වයිෆුයි පුතයි විතරක් නෙමෙයි අම්මත් ඉන්නවා නේ සර්..."

    "මම ඔයාට කිව්වනේ .. ඔයා ගෙදරින් පිට වෙලා පැය තුනක් යනකොට, ඒ කියන්නේ ලොක්ක ලා රටින් පිටවුණාට පස්සේ ඔයාගේ ෆැමිලි එකත් අපි ගෙදරින් පිට කරනවා. තාම දන්නේ නැහැ කොයි රටට ද යන්නේ කියලා..නමුත් සතියක් ඇතුළත ඔයාට පුළුවන් ෆැමලි එක ළගට යන්න..බය වෙන්න එපා.. මාව විශ්වාස නැද්ද...? "

    - මට උඹලා කිසිම කෙනෙක් විශ්වාස නැහැ - යැයි කියන්නට සිතුණත් එසේ නොකීමි . ගෙවුණු සති කීපය පුරා රටේ පැන නැගුණු මිනිස් අරගලය , විරෝධතාවයට මුහුණ දී ගත නොහැකි අවස්ථාවක් පැමිණි විට පාලකයෝ පස් හය දෙනාම රටින් පැන යන බව මම දැන සිටියෙමි. ගුවන් හමුදාපති තුමා සහ මුල් පෙළේ නිලධාරීන්ගේ හැසිරීම් , කතාබහ සැකයට තුඩු දෙන විට, මෙතෙක් කාලයක් නොපැවැත්වුණු ආකාරයේ රහස් සාකච්ඡා පැවැත්වෙන විට , ඔවුහු මෙසේ සූදානම් වන්නේ තමන්ගේ අවසන් තුරුම්පුව දියත් කිරීම වෙනුවෙන් බව වටහා ගන්නට මට හැකිවිය. රහස් රැකීම මගේ රැකියාවේ කොටසකි. වසර කීපයක සිට පාලක පංතියේ ඉහළ නිලදරුවන් පමණක් නොව රට කරවන මුල් පුටු හෙඹ වූ දෙතුන් දෙනාව පවා ඔවුන්ගේ පෞද්ගලික ගුවන් ගමන් රැගෙන ගියේ මා විසිනි. ඒ ගමන් සියල්ලක්ම ඩොලර් මිලියන ගණනේ ඒවාය. ඒ ගුවන් ගමන් වියදම් සියල්ලක්ම රටේ මහජන මුදලින් සොරා ගත් ඒවා බව මම දැන සිටියෙමි. මා දන්නා දේ මගේ බිරිඳට පවා නොකියා සිටීම මගේ රැකියාවේ කොටසකි. මා ඉහළ වැටුපක් ලබන්නේ , රාජ්‍ය වරප්‍රසාද ලබන්නේ හොරු ආරක්ෂා කිරීම වෙනුවෙනි. අද රටේ බොහෝ දෙනෙකුට මෙන් මගේ හිසට ඇත්තේ මගේ අත්ලේ ආරක්ෂාව පමණි . මගේ බිරිඳ , අට හැවිරිදි පුතු සහ මගේ මව ගේ ආර්ථික ස්ථාවරය පමණක් නොව සමාජ පැවැත්ම ආරක්ෂා කිරීමට වසර කීපයක සිට රට කරවන මහා හොරුන්ගේ මුදල් නාස්තිය මම දෑසින් දැක , නොදැක්කා සේ සිටිමි. සවනට වැටෙන දේ බිහිරෙකු ඉවසා ගනිමි. සියල්ල මනා සේ දැන ගොනා සේ හැසිරීම වෙනුවෙන් මම විශාල වැටුපක් ලබමි.

    මට මා ගැන තිබුණේ ආඩම්බරයක් නොවේ. ආඩම්බර විය හැකි , සිතට එකග රැකියාවක් කිරීම පහසු වුණත් එයින් සුඛෝපභෝගී දිවියක් ලබන්නට නොහැකිය.

    වසර දෙකකට පෙර නමක් නොදන්නා ඉන්දීය ධන කුවේරයෙකුගේ පෞද්ගලික ගුවන් යානය රටේ බලවතාගේ ප්‍රයෝජනය පිණිස ලබා දුන් මොහොතේ , එහි නියමුවා හදිසියේ අසනීප වීම මේ සියලු සිදුවීම් වල ආරම්භයයි. මේ Legacy 600 - T7-JSG ගුවන් යානය මට නොපුරුදු එකක් නොවේ. ගුවන් නියමු පාඨමාලාව වෙනුවෙන් ඉන්දියාවේදී වතාවන් කීපයකදීම එය මගේ දෑතට හසුවිය. දොළොස් දෙනෙකුට ගමන් කල හැකි එය සුපිරි යානයකි. මේ විශේෂ ගුවන් පක්ෂියා සමග පැය පනහක පමණ කාලයක් ගත කළ පසු JetSetFly ආයතනය මට ඔවුන්ගේ ආයතනයේ ගුවන් නියමු රැකියාවක් යෝජනා කළ බව දන්නේ කීප දෙනෙකු පමණි. එහෙත් එය මම ප්‍රතික්ෂේප කළෙමි . මගේ එකම සිහිනය වූයේ මගේ රටට සේවය කිරීමයි. මව්බිමේ ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු වීමයි.

    "තමුසේ Legacy 600 ෆ්ලයි කරලා තියනවා නේද..? ලොක්කට තිරුපති වලට යන්න තියනවා. ඉන්දියන් පයිලට් ට සනීප නැහැ "මගේ ප්‍රධානියා කිවේය. රටේ නායකයින්ගේ මිලියන ගණනක් වැය වන පෞද්ගලික ගුවන් ගමන් වල නියමුවා වීමේ අවස්ථාව මට ලැබුණේ ඒ අයුරිනි.
    "නුවන්.. තමුසේ තමයි මේ මොහොතේ ලොක්ක ලාගේ හිත දිනාගෙන තියන එකම පයිලට්. ඔයාගේ අවංක කමට , පක්ෂපාතී කමට හැමෝම කැමතියි. දැන් මම ඉල්ලන්නේ යන්නේ මේ බිත්ති හතර ඇතුලේ විතරක් තියාගත යුතු රහසක්. මේ වැඩ කෙරුවොත් ඔයාටයි , ෆැමිලි එකටයි ලොක්කලා හොඳට සළකනව . කොටින්ම කියනවා නම් ඔයාලා හැමෝටම යුරෝප් වල කැමති රටක පදිංචි වෙන්න පුළුවන්. අපිට පුළුවන් ඔයාට එහේ කොම්පැනි එකක රස්සාවක් හොයලා දෙන්න..කොටින්ම අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් වැඩිය එළි පහළියට එන්නේ නැතුව ඉන්න ඕනා අඩුම තරමින් මේ මිනිස්සුන්ගේ සද්දේ අඩුවෙනකන් ..."
    "සර් මගේ Co - Pilot කව්ද..?"
    "ඔයත් එක්ක ෆ්ලයි කරන අලුත් කොල්ලා ..මොකක්ද මිනිහගේ නම..? "
    "සදේශ .."
    "එයා හොඳයි..හැබැයි ඔයාට දෙන දේවල් එයාට දෙන්න අපිට හැකියාවක් නැහැ.. ගමන් ඉවර වුණාට පස්සේ ලංකාවට එන්න හදලා දෙනවා . මුදලක් එක්ක..ඒ ඇතිනේ.."
    "සදේශ ට අවුරුද්දක බබෙක් ඉන්නවා සර්.. බැරිද වෙන හොඳ දෙයක් කරලා දෙන්න..."
    "බැහැ නුවන්..මේක අනුන් ගැන හිතන්න හොඳ වෙලාවක් නෙමෙයි.. ඔයාගේ වැඩේ ගැන හිතන්න. ලොක්කලා ව රටින් පැන්නුවා . ඔයා ඔයාගේ ෆැමිලි එක එක්ක යහතින් ඉන්නවා නේ . ඒ ඇති.. "
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    දුරකථනය නාද වන විට නියමිත මොහොත පැමිණ ඇති බව මම පසක් කර ගතිමි. විදුලිය ඇනහිට තිබුණි .
    " විනාඩි විස්සයි තියෙන්නේ. සාමාන්‍ය විදිහට ඇඳගෙන එළියට එන්න. කළු පාට රේන්ජර් රෝවර් එකක් එයි. ඒකට නගින්න. හරියටම පහයි තිස් පහට තව වාහනයක් එනවා. වයිෆ් ටයි අනෙක් දෙන්නටයි ඒකට නගින්න කියන්න. එච්චරයි. කළබල වෙන්න එපා. හැම දෙයක්ම හොඳින් සිදුවෙනවා. .." අනෙක් කෙළවරේ සිටි තැනැත්තා කීවේ එපමණකි. සුවසේ නිදා සිටි මුත් , ඇමතුම නිසා අවදිවී , මදෙස බලා සිටින බිරිඳ අනෝමා ට සිදුවන්නේ කුමක්දැයි පහදා දීමේ හැකියාවක් තිබුණේ නැත.
    "මට යන්න තියනවා. ලොක්කලා එක්ක.. "
    "මේ මහ රෑ ..කොහෙද ..? "
    "ප්‍රශ්න අහන්න එපා අනෝමා ..ටික දවසකට මට එන්න වෙන්නේ නැහැ. " යහනින් බැස නාන කාමරයට දෙසට ගමන් කරද්දී ඇය පසුපසින් පැමිණියාය.
    "හැමදාම වගේ මම ඔයාට මගේ රස්සාවේ දේවල් කිව්වේ නැහැනේ. දැනුත් අහන්න එපා. මම ගිහිල්ලා පැය තුනක් යනකොට වාහනයක් එයි. ඒකට ඔයාලා තුන් දෙනාම නගින්න. බය වෙන්න එපා. හැම දෙයක්ම හොඳින් වෙයි.. වෙන ප්‍රශ්න අහන්න එපා.. "

    වාහනේ රියදුරා එකදු වචනයක්වත් කතා කළේ නැත. අලුයම දෙකට වාහන තද බදයක් නොතිබුණත් , විරෝධතාවයන්ට යන හෝ එක්ව සිට යළි නිවෙස් බලා යන ජනයාගෙන් මාර්ග පිරී තිබුණි. මෙතරම් උද්යෝගයක් මේ රටේ මිනිසුන්ට ලැබුණේ කෙසේදැයි වටහා ගන්නට මට නොහැකිය. තමන්ගේ , තම දරුවන්ගේ ජීවිත විනාශයට ඇද දැමූ පාලකයින් ගෙදර යවන්නට ඔවුහු සාමකාමී සටනක, අරගලයක යෙදී සිටිති. තමන් ඉදිරියෙන් ඇදී යන රථයේ පසුපස අසුනේ වාඩිගෙන සිටින මිනිසා දේශ ද්‍රෝහියෙකු බව ඔවුහු නොදනිති. රට කාබාසිනියා කළ මහා එවුන් මව්බිමෙන් පිට කිරීමේ කාර්යය පැවරී ඇති මිනිසා රථයේ වාඩිගෙන සිටින බව කිසිවෙක් දන්නේ නැත. ගණ අඳුරේ කිසිවෙකුටත් නොපෙනුණත් මුහුණ සගවා ගන්නට මම උත්සාහ කළෙමි .

    අලුයම දෙකයි විස්සට රත්මලාන ගුවන් තොටුපළේ VIP - Lounge වෙත ඇතුළු වෙද්දී හොඳින් දැක ඇති , මුළු මහත් ජනතාවකගේ අප්‍රසාදයට ලක්වුණු පුද්ගලයින් හය දෙනෙකු මම දුටිමි. පවුලේ සියලුම දෙනා රටින් පිට කිරීමෙන් පසුව , අවසාන මොහොත දක්වාම රැඳී සිටි මේ හය දෙනාගෙන් වැඩි බලය දරන මිනිසා මා දුටු විට මුළින්ම කළේ නැගී සිටීමයි.
    "සර්..මේ තමයි කැප්ටන් නුවන්.. සර්ලත් එක්ක කීප වතාවක්ම ෆ්ලයි කරළා තියනවා... "
    "ඔව් .ඔව්..මම දන්නවා..නුවන්..අපිව ප්‍රවේසමෙන් ගෙනි යන්න ඕනා ... "
    "ඒ ගැන බය වෙන්න එපා සර්.. නුවන් අපිට ඉන්න හොඳම පයිලට් කෙනෙක්. අනෙක අවංකයි. මගේ ගෝලයෙක්. අපි එයාලගේ ෆැමිලි එක ගැන බලා ගන්නවා.." මගේ ප්‍රධානියාගේ මැදිහත්වීම මහ ලොක්කාගේ සිත් ගත්තේ නැත. එමෙන්ම සිව් දෙනාගේම මුහුණු වල තිබුණේ කිසි දිනක දැක නොතිබුණු භීතියකි. එය වෙර දරා උත්සාහ කර සගවා ගත හැකි භීතියක් නොවේ. උදාවන ඊළඟ තත්පරයේදී තමන්ගේ ජීවිත අහිමි වනු ඇතැයි යන බියෙන් පසුවන මේ හය දෙනා අකුණු සැරයකට හසුවුණු සුනඛයින් මෙන් වෙව්ලමින් සිටියහ. මහ එවුන් සියලු දෙනාම රටින් පිටව පලා යන්නට සූදානම්ව මෙහි සිටින බවට යන සුළු ආරංචියකින් පවා මුළු ගුවන් තොටුපළම ජනයා ගේ ග්‍රහණයට හසුවන්නට පුළුවන. සත්‍ය වශයෙන්ම කිසිවෙකුටත් නොපෙනෙන්නට , ඔවුහු මෙහි පැමිණියේ කෙසේදැයි සිතා ගන්නට මට නොහැකි විය.
    "පුළුවන් තරම් ඉක්මනට යමු අයිසේ.." දෙවැන්නා කිවේය. ඔවුහු සියලු දෙනාම නැගී සිටියහ.

    මීටරද් 26 ක් දිග Legacy 600 - T7-JSG ගුවන් යානයෙහි මගීන් 13 දෙනෙකුට ගමන් කළ හැකි වුවත් එහි සිටියේ මහ හොරුන් හය දෙනා පමණි. ගුවන් සේවිකාවකගේ සහය ලබා ගැනීමද ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණි.
    "මේ තියෙන්නේ ඩෙස්ටිනේෂන් එක.. චයිනා ..Qiemo Yudu එයාර් පෝර්ට් එක. මේ තියෙන්නේ GPS KIT එක. .." මගේ ප්‍රධානියා ගුවන් යානය අසළදී කීවේය.
    "සර්..චීනේ...?"

    "ඔව්.. නුවන්..මේ අපේ අන්තිම තුරුම්පුව. මේ හය දෙනාව එයාර් පෝර්ට් කට දානවා. ඊට පස්සේ ඔයාගේ ජොබ් එක ඉවරයි. ඔයාව ගන්න එක් කෙනෙක් එනවා. එයා ඔයා ගැන බලා ගනියි..."
    මගේ සහය නියමුවා සදේශ ඒ වන විටත් තම නියමු අසුනේ වාඩිගෙන සිටියේය. මහ උන් සිව් දෙනාගේ මුහුණු වල රැඳී භීතියට සමාන බියක් ඔහු වත ද වෙලා ගෙන තිබුණි.
    "බය වෙන්න එපා පුතා.. මේක අන්තිම ගමන.. "
    "අපි කොහෙද යන්නේ නුවන් සර්.." අපේ ගමනාන්තයේ තොරතුරු පරිගණකයට ඇතුළු කළ පසු විස්තර කිරීම් සියල්ල තිරයේ පතිත වන්නට පටන් ගත්තේය . චීනයේ Xinijiang ප්‍රදේශයේ Qiemo නගරයේ ගුවන් තොටුපළ Qiemo Yudu නමින් හඳුන්වයි . එය වනාහි වරකට එක ගුවන් යානයක් පමණක් ගොඩ බැසිය හැකි ඉතාම කුඩා ගුවන් තොටුපළකි . එහි පිහිටීම අනුව Qiemo නදියට පිටු පසින් Qilian කඳුවැටිය පිහිටා තිබේ.

    තවත් විනාඩි විස්සකට පසු යානය මව්බිමේ පොළොවෙන් ගිලිහි යද්දී පිටු පසින් ඇසුණේ ප්‍රීති ඝෝෂාවකි . හොරුන් හය දෙනා යථා තත්වයට පැමිණ සිටිති. දැන් කිසිවෙකුටත් තමන්ගේ වලිගයවත් අල්ලා ගන්නට නොහැකි බව පැහැදිළි ලෙසම පසක් කර ගත් ඔවුහු ෂැම්පේන් බෝතල විවර කරන්නට පටන් ගත්හ. තමන්ගේ මව්බිම විනාශ මුඛයට ඇද දමා පලා යන මේ මිනිසුන් හය දෙනාට ප්‍රීතියෙන් ජීවත් විය හැකිදැයි මම නොදැන සිටියෙමි. ජීවිත කාලය පුරාම සැගවී ජීවත් වන්නේ කෙසේද..? යානය හෙමින් සීරුවේ අහසට නගිද්දී වෙනදාට මෙවැනි මොහොතක පෙනෙන සොඳුරු බිමේ නිවෙස් වල පහන් එළි පවා දකින්නට තිබුණේ නැත. ඔවුහු මුළු මහත් රටම අඳුරේ ගිල්ලවා දැන් සව්දිය පුරති.

    නැගෙනහිර අහසේ නැග එන හිරු මට පෙනේ. කිසිදු දිනක නොදුටු තරමේ පැහැබර කාලගුණයක් මේ මොහොතේ ඇත . මුළු මහත් ජනතාවකගේ ජීවිත ආගාදයට ඇද දමා , පැන යන දුෂ්ටයින් හය දෙනෙකුට ස්භාදහම මෙතරම් කාරුණිකව සළකන්නේ ඇයිදැයි සිතා ගත නොහැකිව මම ලත වීමි. මේ මොහොත වන විට මගේ බිරිද , පුතු සහ මෑණියන් ව රැගෙන යන්නට නියමිත වාහනය පැමිණ තිබෙන්නට පුළුවන. දේශය කුමක්දැයි දැයි නොදන්නා මුත් , මව්බිමෙන් ඈත රටක තැනකදී , ඉදිරි දිනක අපි හමුවන්නට නියමිතය. අපිට යහපත් දිවියක් ලැබෙනු ඇත. අපේ දරුවාට ඉහළ අධ්‍යාපනයක් , කටට රස මසවුළු ලැබෙනු ඇත. එය වනාහි යුරෝපයේ රටක සුඛෝපභෝගී දිවියකි. එය කිසි දිනක ලයිට් නොකපන , ගෑස් , ඉන්ධන අහේනියක් නැති උපයන වැටුපට සාධාරණ , පහසු දිවියක් ගත කළ හැකි තැනක් වනු නොඅනුමානය. එය වනාහි මා ලද පරිත්‍යාගයකි. ඒ පරිත්‍යාගය මා ලබන්නේ රට වනසා දැමූ මේ හොරුන් හය දෙනා රහසේ රටින් පිට කිරීමේ කාර්යය වෙනුවෙනි.

    එහෙත් මගේ මව් බිමේ මිනිසුන් , ගැහැනුන් , දරුවන් මට සාප කරනු නියතය. නොදුරු දිනයකදී මමත් මගේ පවුලේ උදවියත් උදා කර ගන්නේ , මව්බිමේ ජනතාවට සිහිනයකින් වත් සිතා ගන්නට නොහැකි දිවියකි. මව්බිමේ දස දහසක් දරුවෝ කිරි පිටි නොමැතිව ලත වෙද්දී , මගේ දරුවාගේ මුවට කිරි වීදුරුව තබන්නේ කෙසේද..?
    "ඔයා තරම් රටට ආදරේ මිනිහෙක් මම දැකල නැහැ. ඒක හින්දා තමයි මම ඔයාට ආදරේ කෙරුවේ..." වසර කීපයකට පෙර අනෝමා කී අයුරු මට මතකය. දැන් මේ මොහොතේ මා යෙදෙනා දේශ ද්‍රෝහී කාර්යය ගැන යම් දිනක දැන ගන්නා ඇය මා අතහැර යනු ඇත. මගේ මව මගේ මුහුණ නොබලනු නියතය. යළි ආපස්සට හැරෙන්නට හැකි නම්...
    "සදේශ.. ?"
    "සර්.."
    "අපි කරන්නේ වැරද්දක් නේද..?" මම ඇසුවෙමි. මගේ සහය නියමුවා මදෙස බලද්දී ඔහුගේ දෙනෙත් රත් පැහැව ඇති බව දැක ගන්නට හැකි විය.
    "ඔයා අඬනවද..?" ඔහු කිසිවක් කිවේ නැත. මේ මොහොතේ මව්බිමේ මගේ සහෝදර ජනයා මවෙතින් ඉල්ලා සිටින්නේ කුමක්දැයි මම දනිමි. එහෙත් එය ඉටු කිරීමට ධෛරියක් මට තිබේද..?
    "නුවන් සර්..මුන් ටික පැනලා ගියාම අපෙන් කොල්ල කාපු සල්ලි ටික ගන්න බැරි වෙනවා නේද..? "
    "පැනලා නොගියත් ඒක ගන්න බැහැ සදේශ..උන් මෝඩයෝ නෙමෙයි. උන් ඕවා දාලා තියෙන්නේ හොල්ලන්න බැරි තැන් වල. සල්ලි ගහපු බව ඔප්පු කර ගන්න ඕනා. ඒවා තියන තැන් හොයා ගන්න ඕනා.. හොයා ගත්තත් ඒ බැංකු වලින් ඒවා දෙයිද..? අවුරුදු දහය පහළොව යන වැඩ ..."
    "සර්.. අපිට බැරිද ආයේ අපේ රටට යන්න. ගිහින් මිනිස්සුන්ටම මුන් හය දෙනා භාර දෙමු..."
    "ඒක හොඳ උත්තරයක් නෙමෙයි සදේශ.. මුන් ටික ජීවත් වෙලා ඉන්න එක පාපයක්. එකෙක් හරි ඉතුරු වුණොත් අපේ උන් කොහේ හරි ඉඳන් ඇවිත් රට භාර ගන්න කියලා කෑ ගහයි...එදාට මුන් ආයේ එන්න ඉඩ තියනවා.."
    "සර්...? " මගේ සිතේ ඇතිවී තිබෙන සිතුවිල්ල තේරුම් ගත්තාක් මෙන් තරුණයා මදෙස බලා සිටියේය.
    "සර්..මට තේරෙනවා.."
    "සදේශ .. මව්බිමට විරුද්ධව කරන මේ වැරැද්ද හදා ගන්න අපිට පුළුවන්. ඒකට තව තියෙන්නේ විනාඩි තිස් පහයි. එයාර්පෝට් එකට මුන්ව බැස්සුවට පස්සේ අපි පරාදයි. අපේ මුළු රටම පරාදයි.."
    "සර්..අපි කාගේවත් මරණයක් ඉල්ලලා කෑ ගහපු ජාතියක් නෙමෙයි..ඒත් දැන් ඒක වෙලා තියෙන්නේ ඉවසගෙන ඉඳලා බැරිම හින්දා..සර් ගන්න ඕනෑම තීරණයකට මම කැමතියි.. මම මැරෙන්න බය මිනිහෙක් නෙමෙයි සර්.."
    "සදේශ .. ඔයාට පුංචි දරුවෙක් ඉන්නවා.. ඒ ළමයා ඔයාව තාම තාත්තා කියලා අදුරගෙන වත් නැහැ.."
    "කමක් නැහැ සර්.. කවදා හරි දවසක මගේ දරුවාට මම වීරයෙක් වෙයි. සර් ගේ පුතාටත් එහෙමයි...අපි මේ වැඩේ කරමු.."
    "අපි වීරයෝ නෙමෙයි සදේශ.. සාමාන්‍ය මිනිස්සු. අරගලයට එකතු වෙලා ඉන්නේ සාමාන්‍ය මිනිස්සු.. ඒත් ඒ මිනිස්සු ගැන කවදා හරි දවසක ලියවෙනවා..අපිත් එයාලට එකතු වෙමු.. මෙච්චර කල් අපෙන් වෙච්ච වැරදි හදා ගන්න තියන අන්තිම අවස්ථාව තමයි මේක..."

    අපි දෙදෙනා තදින් එකිනෙකාගේ සුරත් අල්ලා ගතිමු. අපේ මුහුණු වල නැගෙන්නට ඇත්තේ ජයග්‍රාහී , සතුටු සිනහවකි.

    අපි කමිකාස් භටයෝ නොවෙමු. මරාගෙන මැරෙන්නට පුහුණුව ලද අමානුෂික වන සතුන් නොවෙමු. සොයා යන්නට, අයිති කර ගන්නට රටක් රාජ්‍යයක් අපට නොවේ. එහෙත් මව්බිම වෙනුවෙන් කළ හැකි පුංචි සේවයක් අප සියළු දෙනාම සතුව තිබේ. අපි දෙදෙනා සතුවුණු ඒ පුංචි යුතුකම නම් මව්බිම විනාශ කළ පොදු හතුරන් හය දෙනෙකු ගේ ජීවිත වනසා දැමීමයි.
    ඊළඟ මොහොතේ 8000 ඉහලින් ගමන් කරමින් සිටි යානය එක් වරම අඩි 500 ක් පහත් කළෙමි . හදිසියේ ඇතිවුණු කම්පනය නිසා හය දෙනා අවදි වී සිටියි. වැඩිමහළු තරුණයා ආසනයේ සවිකර ඇති දුරකතනයෙන් මා අමතයි.
    "මොකද ඒ.. ටර්බියුලන්ස් නම් කළින් කියන්න ඕනා නේද..?"
    "සොරි සර් ..හැබැයි බෙල්ට් දාගන්න ඕනා නැහැ.."
    "ඒ මොකද..?
    "දැන් කිසිම SAFTY BELT එකකට බැහැ සර් ඔයාලව බේර ගන්න... " මා කියූ දේ හරිහැටි තේරුම් නොගත් තරුණයා තම පියාට ඒ බව පවසනු තිරයේ පෙනේ. යානය ඒ මේ අතට පැද්දෙන්නට වීම සහ , අසාමාන්‍ය ලෙස පහතට වැටීම හමුවේ අපහසුවෙන් නැගී සිටින තරුණයින් දෙදෙනා නියමු කුටියේ දොරට වේගයෙන් තඩි බාන්නට පටන් ගත්හ.
    ගුවන් යානය සම්පූර්ණයෙනම පහතට වැටෙන්නට සැලැස්සු නිසා හය දෙනාම යානාවේ මුහුණත විසිවී ගොස් බිම වැටෙනු මම දුටිමි. අපේ ගමනාන්තය වැඩි ඈතක නොවේ. චීනා ගේ භූමියට සමීපවගමන් කරන අපට Qilian කඳු වැටිය පෙනේ. එහි රළු මුහුණත හොරුන්ගේ වගකීම භාර ගන්නට සූදානමින් සිටිනවා වැනිය.
    මරණ බියක් සිතට නො දැනුනු අයෙක් ඒ මොහොතේ සිටියේ නම් ඒ අපි දෙදෙනා පමණි. සදේශ ගේ මුහුණේ මතුව තිබුණේ තෘප්තියකි. රන් පදක්කමක් දිනා , ජාතික කොඩිය ඉහළට එසවෙද්දී මව්බිම ගැන සිතේ ඇතිවන ආඩම්බරය වැනි හැගීමකින් අපේ සිත් පිරී තිබුණි.
    "මට සර් ගැන ආඩම්බරයි . බොහොම ස්තුතියි සර් හැම දෙයක්ම මට ලබා දුන්නට..."
    "අන්තිමේදී අපි ජය ගත්තා පුතා.." පසුපසින් ඇසෙන මර ලතෝනිය අපේ මුවට ගෙන ආවේ සිනහවකි. ඒ වියරු සිනහවක් නොවේ. සතුටු සිනහවකි.

    යානාවේ මුහුණත Qilian කඳු වැටිය සිප ගන්නට තත්පරයකට පෙර දෙනෙත් වසා ගන්නා මට ජන අරගලයට උර දුන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ , ගැහැනුන්ගේ , තරුණ තරුණියන්ගේ මුහුණු මැවී පෙනුනි . ඔවුහු මා සමග සිනහ වූහ.

    (ගුවන් අනතුරින් පසුව ගෙවී යන තෙවන දිනයේ , නියමු කුටියේ කතා බහ පටිගත කෙරුණු Black box ය සොයා ගන්නට නිලධාරීන්ට හැකිවිය. අනතුර සිදුව ඇත්තේ හුදෙක්ම නියමුවන් දෙදෙනාගේ වුවමනාව , මෙහෙයවීම මත බවට සාක්ෂි ලැබුණි. මේ අනතුර ගැන කම්පා වූ අයෙක් සිටියේ නම් ස්වල්ප දෙනෙකු පමණි.
    2023 වසරේ මැද භාගය වන විට මව්බිමේ තත්වය යහපත් අතට හැරී , සාමාන්‍ය ජන ජීවිතයට යළි ජීවය ලැබෙන්නට පටන් ගනිද්දී අනතුර සිදුවුණු Qilian කඳුවැටියේ තැනක ස්මාරකයක් ඉඳි කරන්නට චීන බලධාරීන්ගෙන් ලාංකික රජයට අවසර ලැබුණි. එය ඉඳි වූයේ නියමුවන් දෙදෙනා වෙනුවෙනි.)

    MANJULA SENARATNE
    22/11/2023

    Copied it from here >>
    ------ Post added on Apr 27, 2022 at 8:08 PM