අරූගේ_අඩවියෙනි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අරූගේ_අඩවියෙනි






මගේ කථාවේ මේ පසුවන්නේ එක්දාස් නවසිය අසූතුන වසරයි. මම තවමත් ඔබරෝයි හෝටලයේ සේවකයෙක්මි. මගේ ආදරණීය මිතුරිය ෂෙරුනිකාද තවමත් එහි සේවය කරමින් සිටියි. පසුගිය සටහන අවසන් කෙරුණේ, මම සහ ෂෙරුනිකා අතින් අල්ලාගෙන ගිය පළමුවැනි ගමන පිළිබඳවය. ඒ තව සමුදීමක් සිත්හී තබාගෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. තාරුකා සහ පවුලේ අය ෂෙරුනිකාට ඉතා හොඳින් සංග්‍රහ කෙරුවා පමණක් නොව, එම නැගණියන් ඇය හා ඉතා ඉක්මනින් මිතුරු විය. ඔවුන්ද ඇයගේ පාසලට නුදුරු පාසලක සිසුවියන් වීම, මේ මිතුදම තවත් පහසු කරවීය. මොවුන් බොහෝ කාලයක් හොඳම මිතුරියන් බවටද පත්වසිටි යුගයක් මට මතකය. මේ මිතුදම් නිසා මට සිදුවූ වාසි මෙන්ම පාඩුද නැතුවා නොවේ. තාරුකා සහ මා අතර කිසිවක් සිදු නොවූ සහ අප පෙම්වතුන්ව සිටියා දැයි නොසිතෙනා අයුරින් තාරුකා හැසිරේ. නමුත් ඇය මා හා දොඩමළු වීමට උත්සුකවන බවක් නම් පෙනේ. මම නැවතී සිටින්නේ ඒ නිවසේමය. ඕනෑම මොහොතක ඒ කතාබහ කරගත හැකිවේ. අප ඔවුන්ට සමුදී එතනින් පිටත් වුණෙමි.

ප්‍රේම සබඳතා කෙසේ වෙතත්, ඒවා අවුට් ඔෆ් ද ට්‍රැක් නොවී පවත්වාගෙන යෑම එතරම් පහසු කටයුත්තක් නොවන බව කවුරුත් දනී. මම දැන් ඉන්නේ හමුවීමක් සහ සමුදීමක් අතර සංක්‍රාන්ති සමයකය. සමුදීම් එතරම් පහසු නොවේ. අතහැර දැමීම් ඒ තරම්වත් පහසු නොවේ. හිත යට සිටිනා ගිජු තනිකඩ තරුණයා, ඒ අතහැර දැමීමට එතරම් කැමත්තක් නැති බවත් හැඟේ. පසුකාලීනව මේ සම්බන්ධතා වෙනත් මගක් ගති.

මම ෂෙරුනිකාට මගේ සියලු විස්තර පවසා තිබුණි. ඇය දවසක් අපේ අම්මා දකින්නට අවශ්‍යය යැයි කීමුත් මම ඉක්මන් නොවූයෙමි. නමුත් ඇයට අප අම්මා ගැන යම්කිසි හැඟීමක් හිතේ තිබෙන්නට ඇත. ගෙදර මොනවා වෙනවා දැයි මම නොදනිමි. ගෙදර යැවෙන්නේ “සර්විස් චාර්ජ්” නම් පඩිපත අතට හමුවෙන දවසට පමණී. අම්මා අතට ඒ මුදලම පවරා, පිටත්වෙන මම ආපසු එන්නේ තව මාසයකින්ය. මම කෙමෙන් කෙමෙන් මගේම ලෝකයකට කොටු වෙමින් සිටින්නේය. නොසිතූ දිනෙක, නොසිතූ මොහොතක, අප දෙදෙනාට අම්මා මුණ ගැසුණේ නුගේගොඩ හන්දියේදීය. බඩු මල්ලක්ද අතැතිව සිටි ඇයගේ විඩාබර මුහුණත්, ඇය හැඳ සිටි සාරියත්, ඒ කබල් සෙරෙප්පු දෙකත් මට අදත් මැවී මැවී පෙනේ.

තාත්තා මොහොතකටවත් වෙනස්වී නොමැති බවත්, තවමත් යහළුවන් අතරේම තම බීමත් ජීවිතය ගෙවා දමනා බවත්, රැකියාවට යෑම පවා ඉඳහිට අතපසු කරගන්නා බවත් පැවසීය. අම්මාටත් මටත් නිදහසේ කතාකිරීමට ඉඩදී,ෂෙරුනිකා අප වාඩිවී සිටි කූල් ස්පොට් එකෙන් මොහොතකට ඉවත්ව යාමට අර අඳී. මම ඇයව බලෙන් නවත්වාගතිමි. අප දෙදෙනා අතර මහා ආදර කතාවක් ගොඩ නැගී නොතිබුණත්, අප දෙදෙනා අතර මහා විශාල විශ්වාසයක් තිබූ බව නම් සහතිකය.එදා මා අත මුදල් තිබූ දවසක් නොවේ. කෑම බීම බිල්පත් ගෙවූ ෂෙරුනිකා, පසුම්බියේ බස් ගාස්තු පමණක් ඉතිරිකර ගෙන, අන් සියලුම මුදල් අම්මා අත තැබීය. එදා අම්මා සමග මිත්‍රවූ ඇය, අදටත් ඒ මිත්‍රත්වය ඉතා තදින්ම පවත්වා ගෙන යන්නීය. ඇයගේ මවත්, මගේ අම්මාත් ඉතා සමීප යෙහෙළියන් බවට පත්විය. ඇයගේ මවගේ වියෝවෙන් පසු,මේ මිතුදම වඩ වඩාත් සමීප විය. ඒ බව කවුරුත් දනී. ඇය අපේ අම්මා කෙරෙහි දක්වන දයාව යමෙකු වටහා ගනීවිදැයි මට සැකය. එය ඒ තරම් බලගතුය. අම්මාගේ වචනවලින් කියනවා නම් ඇය අම්මාගේ ලොකු දියණියය. මේවා කියමින් අපේ ගෙදර නංගිලා සිනහවේ.

රට තොට නොයෙකුත් කතා බහ ඇතිවේ. උතුරේ යම් යම් සිද්ධීන් වාර්තාවේ. යාපනයේ හමුදාවේ සේවයේ නියුතු අම්මාගේ මල්ලීද (පුදුම ජොලි චරිතයක් අපේ තාත්තගේ හොඳම බෙබේ සගයෙක් ) මේ බැව් පැවසූ බවක් අම්මා කියයි. මිනීමරු කොටි සංවිධානය විසින් උතුරේ හමුදා සොල්දාදුවන් දහතුන් දෙනෙකු ඝාතනය කල පුවත උණුසුම් ලෙස ප්‍රචාරය වේ. එය සිදුවූයේ 1983 ජූලි මස විසිතුන් වෙනිදා යාපනයේ තිරුණෙලිවේලිහීදි බෝම්බයක් පුපුරුවා හැරීමෙන්ය. අවමගුල් කටයුතු සිදුකළේ ඊට පසුදින බොරැල්ල කනත්තේදීය. මෙය මහා ව්‍යසනයක ආරම්භයක් විය. ඒ පිළිබඳ බොහෝ දේ ලියවී ඇති නිසා මම මගේ දෑසින් දුටු දේ පමණක් ලියා තබන්නෙමි. මහා කළු වලාවකින් වැසීගිය 1983 ජූලි මාසය පිලිබඳව නැවත මතක් කරදීමට සිදුවීමත් මහා අභාග්‍යයක් නොවේදැයි සිතේ. ඒ පරිච්ඡේදය එතරම්ම අමිහිරිය.

විජේරාමේ මිතුරන් සමග රාත්‍රියක් ගත කෙරූ මම,පසුදා උදය වරුවේ විජේරාම හංදියෙන් 112 මහරගම සිට කොටුව දක්වා ධාවනය වෙන ලංගමට අයත් ඩබල් ඩෙකර් බසයට ගොඩවුණේ රැකියාව සඳහා ඔබරෝයි හෝටලයට යෑමේ උවමනාවටය. බස් රථයේ උඩ තට්ටුවේ අසුන් ගත් මට, නුගේගොඩ පසුවනවාත් සමගම දක්නට ලැබුණේ කළු දුමාරයකි. අවට නොසන්සුන්ය. බසය දිගටම ධාවනය වේ. උඩ තට්ටුවේ සිටි සමහරක් මහතුන් ජනෙල්වලින් හිස එළියට දමා පර දෙමළුන් මරාපියව් යනුවෙන් මොර දෙන්නට විය.බස් රථයේ සමහරුන් තුෂ්ණිම්භූතව අවට බලමින් සිටී. සමහරුන් හුරේ දමනවාය. වෙන්නේ කුමක්දැයි පැහැදිලි නැත. මොහොතකින් මට වැටහී ගියේ ඒ කෑගසන්නේ මහත්වරුන් නොව ජාතිවාදයෙන් හිස පුපුරවාගත් අමනයින් රැළක් බවය.

ඒ මා දුටු අවාසනාවන්ත යුගයේ පළමු දසුන් පෙළය. පාසල් සමයේ අඩු මුදලින් ,බඩගින්නට කුස පුරවා ගත් නුගේගොඩ අශෝකා සයිවර් කඩය ගිනි ගනී. දෙල්කඳ හංදියේ ඇල අසල බිම එළාගත් ගෝනි පඩංගුවේ වාඩිවී සපත්තු මැසූ සිවා නම්වූ ඒ තඩි උස මහත මිනිසාත්, ඒ අවට පදිංචිව සිටි නිවැසියන්ගේ වැසිකිළි වළවල් ඉතිරී යන කාලයට ඒවා ගොඩ දමා නැවත අපේ එවුන්ට බඩ ශුද්ධ කරගන්නට කක්කුස්සිය විවර කෙරූ තංගම්මාත්, ඇයගේ ස්වාමියා වූ සක්කිලි රාජා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ රාජන් නම් වයෝවෘද්ධ මිනිසාත් වල පල්ලට යවා තිබූ බව මම පසුව දැන ගතිමි. ජාතිය ජන්මය අහවල් රෙද්දක් වූවත්, මේවා මනුශ්‍යත්වයට කිසිසේත් නොගැලපෙන පාහර ක්‍රියාදාමයන්ය.

සක්කිලියන් කවුදැයි වටහා ගැනීමට මේ නිදසුන ප්‍රමාණවත් යැයි මම සිතමි. ඉතාමත් අව්‍යාජ මිනිසෙක්වූ මගේ තාත්තා හැම මාසයකම පඩි දවසට, දෙල්කඳ හංදියෙන් බැස, අරක්කු බෝතලයක් සිවාට සහ සක්කිලි රාජාට මිලදී ගෙන දෙන බවත් මම බොහෝ කාලයකට පෙර දැන් සිටියෙමි. එය ඔවුන් නැවත විකුණා දමා, අඩු වියදමින් කසිප්පු ගහනා බවත් අපේ තාත්තා කියනු මම අසා තිබේ..

තාත්තා ඔවුන් සමග ඉඳ හිට හෝ අඩියක් ගසන්නේ අපේ වැසිකිළි වල ශුද්ධ කිරීමට ඔවුන් පැමිණි දිනයටය. අපේ ආච්චි තාත්තාට බැණ වැදුණේ සක්කිලියන් එක්ක එකට බොනවා යැයි කියමිනි. ඔවුන් මරා දැමූ බව දැනගත් පසු අපේ ආච්චි හඬා වැටුණු බවත්, මම අසා ඇත්තෙමි. ඒ දෙල්කඳ ග්‍රාමයේ බොහෝ කාලයක සිට විසූ අහිංසක, අසරණ දෙමළ ජාතිකයන්වේ. ඔවුන්ට ජාතිවාදය, ත්‍රස්තවාදයට වඩා තිබුණේ කුසගින්න හා අරගලයක් බව ගමම දනී.

බස් රථයේ රියදුරාද අවට සිරි නරඹමින් ඉදිරියට ඇදේ. නුගේගොඩ ගිනි ගනී. දැන් කිරුළපොන, තිඹිරිස්යායධ කියා වෙනසක් නැත. පළවෙනි ඉලක්කයන්වී ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ව්‍යාපාරික ස්ථානයන් බව පැහැදිලිය. එය එතනින් නතර නොවී මිනිස් ජීවිත අමු අමුවේ විනාශකිරීම දක්වා ව්‍යාප්ත වෙමින් පවතී. බසය කොල්ලුපිටියේ නතරවිය. ජාතිප්‍රේමීන් අරක්කු, බ්‍රැන්ඩි, බියර් කේස් පිටින් කරගහගෙන දේශප්‍රේමය රටට පෙන්වා දෙති. කොල්ලුපිටියේ වික්ටෝරියා වයින් ස්ටෝර්ස් එක කුඩේ කුඩුය. ජාතියට ගිලන්පස නොමිලේය. බසයට ගොඩවු අපතයෝ රියදුරුටත් සද්දයක් දමා, බසය ධාවනය කිරීමට අණ කරති.

ඔබරෝයි හෝටලයේ රාජකාරී සඳහා ඇතුල්වීමට අප බසයෙන් ගොඩ බසින්නේ, අරලිය ගහ මන්දිරය ඉදිරිපිට තිබූ බස් නැවතුමෙන්ය. 1983 ඒ අවාසනාවන්ත දිනයේ හෝටලයට ගොඩවූ මා නැවත ගෙදර පැමිණියේ තව සති දෙකකින් හෝ තුනකින් බව මට මතකය. එදා රැකියාවට නොපැමිනියා නම් හොඳ යැයි මට සිතෙන්නට ඇත. නමුත් ඒ අත්දැකීමත් එක්තරා සුවිශේෂි සිදුවීම් මාලාවක් විය. මේ අවාසනාවන්ත කළු ජූලිය සම්බන්ධව ඔබ බොහෝ දේ කියවා ඇතයි මම සිතමි. ඒ කතා සියල්ල ඇතුළේ ඔබ නොකියවූ එක් කතාවක් ඇත.එනම්, එදා මහා ධනවතුන්වූ, ප්‍රභූ පැළැන්තියේ නාගරික ද්‍රවිඩ පවුල්, තරු පහේ හෝටල් තුළ අනාථයින් වීමේ කතා පුවතයි. අනාථ කඳවුරු තුළ කතා පසෙකින් තැබුවත්, ඔබරෝයි හෝටලයත්, මුදල් අයකරමින් අනාථ කඳවුරක් පවත්වා ගෙන ගියා කිව්වොත් එය නිවැරදිය. මුදල් එදා බලු විය.

අප හැකි පමණින්, අපේ ද්‍රවිඩ සේවක සගයින්ගේ දෙමව්පියන්ද කෙසේ හෝ රැගෙන විත් මේ කඳවුරේම, කාටත් රහසේම බලා ගත්තෙමු. එය තවත් පැතිකඩක් යැයි මම විශ්වාස කරමි. ඒ නම් සති දෙක තුනකට පමණ කාලයක්, ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින්, සේවාදායකයාට අති මහත් සේවයක් කල, කොළඹ තරු පහේ හෝටල් සේවක සේවිකාවන්ගේ කතාවයි. එය ලියා තැබිය යුතුය. මන්ද යත් ඒ ගැන නිසි ඇගයීමක් නොවූ නිසාවෙන්ය. ඒ කතා රසවත්ය. එලෙසින්ම ඉතා කනගාටුදායකය. ඒ සේවය වෙනුවෙන්, අපේ සේවා ස්ථානය පිරිනැමූ වටිනා සහතිකයක් අදටත් මා සතුව තිබේ. නමුත් මට ලියා තැබීමට අවශ්‍ය කතා පෙළක් ඇත. එය සෙමින් ලියා තබන්නෙමි.

මෙවන් සිදුවීමක් සහ ඒ කාලය මාතෘකා කරගත් සංවේදනීය නවකතා පොතක් මම කියවා තිබේ. ඒ JULY by Karen Roberts ය.
චන්ද්‍රා වාකිෂ්ඨ ලියූ ගුණදාස කපුගේ හඬින් ජාතියට එක්වුණු මේ ගීතය අදටත්, හෙටටත් වලංගුය. උතුරත්, දකුණත් මෙය වටහා ගන්නේ කවදාද…

උතුරු කොණේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ……



අරූගේ අඩවියෙනි

 
Last edited:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ වගේ ඒවා දානකොට පොඩ්ඩක් ඡේද වෙන් කරලා දාහන් මචන්.නැත්නම් කියවන්න අමාරුයි.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඔය නියම පොරක් ලියන බ්ලොග් එකක් ඔකේ ඔක්කොම කතා ටික කියවල බලන්න