අවිච්චියෝ, නුඹට අසාධාරණයක් සිදුවිය. ඒ මෙසේය. හංසයාගේ දියණියගේ ස්වයංවරයට යාමට මොනරා අවුත් අවිච්චියාගෙන් නිල් පිල්කළඹ සමග ලස්සනම ඇඳුම ඉල්ලූවේ හැකි විගස ගෙනවිත් බාරදෙනවා කියමිනි. අවිච්යා හිතහොඳ නිසා කිසිවක් නොසිතා ඔහුට ඇඳුම දුන්නේය.
ඔහු එය ගෙනගොස් ඉන්පසු ගෙනවිත් බාරදුන්නේ නැත. මගදී දකින වාරයක් ගානේ "නුඹෙන් මා ගත් දෙයක් නැත මේ මගේ ඇඳුම"යැයි පවසා මොනරා ඉවත්ව යයි.
ඉන්පසු අවිච්චියා ඒ අසාධරණය කැලේ රජාටද දන්නා අයටද කියා සාධාරණයක් ඉල්ලූවමුත් ඒ ඇඳුම අවිච්චියාගේ බව කිසිවෙක් පිළිගත්තේ නැත. අවිච්චියා ලංකාවේ කලකදී දක්නට ඇත. කිසිදු සරණක් නැතිවූ අවිච්චියා හඬමින් ගමින් ගමට යන්නේය.
හොඳින් අසන්න අවිච්චියා හඬන්නේ "මාත් කියම්" "මාත් කියම්" කියමිනි. ඒ තමන්ට කාගෙන්වත් සාධාරණයක් නොවූ බැවින් "මේ හෙළබිම මෙතේ බෝසතුන් බුද්ධත්වයට පත්වූ පසු" ඇවිත් මෛත්රී බුදුන්වහන්සේටම මේ අවනඩුව කියා සාධාරණයක් බලාපොරොත්තු වෙනවා කියාය.
බඩ පෙදෙස රතුපැහැයෙන් යුතු අවිතෝ නුඹට අසාධාරණයක් විය. මටද එසේ විය. ඒ නිසා මාත් නුඹ සමග මගේ අවනඩුව කියන්නට මෙතේ බුදුන් හමුවට එමි. මන්ද වත්මනෙහි දේශපාලනයෙන් හෝ බළධාරීන්ගෙන් හෝ බහුතර මිනිසුන්ගෙන් මටද සාධාරණයක් නොවූ නිසාය. නුඹ දන්නේද මටවූ අසාධාරණය? නුඹත් මමත් හිඳින මේ පින්බිම බහුතර අඳබාල මිනිසුන්ගේ ක්රියාකාරකම් නිසා මියයමින් තිබෙයි.
මට එය රැකගන්නට කිසිවෙකුත් උදව් නොකරයි. මේ ලංකා මාතාවගේ වරළස තමා අර දියඇලි මෙන් කන්දෙන් පහළට ඇද හැලූනේ. ඇගේ ගත සරසන සලූ තමා සුළගට අර ධවල වලාකුලූ ලෙසින් අහසේ ලෙලදුන්නේ. එහෙත් අවිතෝ නීතියෙන් බේරෙන විශාල පිරිසක් කාලයක් පුරාවට මේ පරිසරය නසමින් ඒවාට සාධාරණයැයි හගවන හේතු දෙමින් ගස්වැල් කපා වනබිම් එළිපෙහෙලිකරමින් අවසානයේ ඇගේ වරළසද සිඳදමා ඇත.
එනම් දියඇලි සිඳීගොස් ඇත. පේන මානයක වැස්ස නැතිවී වලාකුලූද නැතිවී කොහාටද ගහගෙන ගොස් ඇත. ඉස්සර මුලූ ලොවටම කන්නට දුන් මේ හෙළබිම හෙළයන්ගේ දහදියෙන් පැලවී යායවල් රන්වන් පාටින් දිලූනේ පැසෙන වීකරල්ය.
මේ ලංකා මාතාවගේ දරුවන් වූයේ අප පමණක් නොව මේ ලංකාබිමේ වනයේ සරමින් හුන් සතා සීපාවුන් සියල්ලමය. ඒ බව අපේ මීමුත්තන් දැන සිටියමුත් අපේ ගොඩක් දෙනා නොදැන සිටියහ.
අද අර පැසෙන වීකරල්වලට වස දමා ඇත. පොළවට වස දමා ඇත. ගලායන වතුරටද ක්ෂුද්රජීවීන්ටද කෘමීන්ටද අහිතරකර වසවිසෙන් පරිසරය පුරවා ඇත. එපමණකුත් නොව සියලූ වනබිම් රහසින් ගිණිතබනු ලබයි.
ඉදින් අවිතෝ, මේ අසාධාරණය දැන් ඉන්න උන් අසනවා තියා වටහාගන්නෙත් නැත. එහෙයින් මාද නුඹ සමග මෙතේ බුදුන් හමුවට එමි. එදිනට මගේ අවනඩුවද කියමි.
රවන සොහොයුරන්