අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ
උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී
උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී.
මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න