ආනාපානසති භාවනා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සතිමත්වීම හෝ සතිය එනම් සහිය පිහිටුවීම වීම යනු දිනපතා කරනු ලබන සැම කටයුත්තක දීම එය සිහියෙන් යුක්තව කිරීමයි.
    අලියෙකුගේ බලය හෝ ශක්තිය කොපමණ දැයි ඔබට සිතන්නට පුළුවනි ද? මේ හීලෑ නැති ඇතා හෝ අලියා නිසා බොහෝ විපත් සිදුවිය හැකියි. එම නිසා අලි, ඇතුන් හීලෑ කරන්නෙක් විසින් පළමුව කරන්නේ, මේ සතා ශක්තිමත් ගසකට හෝ කුළුණකට තබා බැඳගැනීමයි. ඉන් අනතුරුව හීලෑ කරන්නට පටන් ගනී. ඇතාට වඩා කුඩා වූ මනුෂ්‍යයාට, එම සතාගේ බලයෙන් හෝ ශක්තියෙන් ප්‍රයෝජන ගන්නට පුළුවනි. ඒ වගේ ම මිනිස් සිතක පවත්නා අප්‍රමාණ බලය හා ශක්තිය අයාලේ ගොස්, තමන්ටත්, අනුන්ටත් විපත් කිරීමේ හැකියාවක් පවතී. මේ නිසා, මිනිස් සිත එනම් මහා බලයකින් යුත් මිනිස් සිත දමනය කර ගැනීම හෙවත් සංවර කරගත යුතුය. ඒ සඳහා සිහිය දියුණු කර ගැනීම අවශ්‍යයයි. අප විසින් කරනු ලබන්නේ ආශ්වාස, ප්‍රශ්වාසය නමැති රැහැනින් හෙවත් ලණුවෙන් සිහිය හෙවත් මිනිස් සිතේ මහා බලය ඇඳ බැඳ තබාගැනීමයි. ආශ්වාස, ප්‍රශ්වාසය කෙරෙහි රැහැනින් සිහිය අපට ඕනෑ ආකාරයෙන් ඇඳ බැඳ තබාගත් විට මේ මහා බලයක් ඇති සිතට අයාලේ යන්නට නොදී මනා වූ ප්‍රයෝජනයක් අපේ ජීවිතයට ලංකර ගත හැකියි.
    ආශ්වාස ප්‍රශ්වාසය නමැති රැහැන හෙවත් උපකරණයෙන් අපට සිතත් සිතිවිලිත්, සිහියත්, කුසල් මාර්ගයට හෙවත් යහපත් වූ මගකට යොමුකර ගැනීමට පුළුවනි. සිත පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කළොත් නිතැතින් ම සිතිවිලි පිළිබඳව එනම් සිතන දෑ පිළිබඳවත් අපට අවබෝධයක් නැතිව යනවා. සාමාන්‍ය ලෝකයා සඳහන් කරන ‘මගේ සිහිය හරි නෑ යන අදහසයි’. සිත නොගැළපෙන දේ කරන විට, සිතනකොට, ඒ නිසා ම නොගැළපෙන දේ හෙවත් පාප අකුසල් අරමුණට ගන්නා විට, ඒ අනුව කතා කරන විට, හැසිරෙන විට සාමාන්‍ය ලෝකයා පවසන්නේ "මගේ ඔළුව හරි නැහැ. සිත හරි නැහැ, සිහිය දැන් හොඳ නැහැ" කියන අදහ සයි.
    එසේ නම් ආශ්වාස, ප්‍රශ්වාසයෙහි මනා කොට සිහිය පිහිටුවන්න.
    ආනාපානසති භාවනාව
    කය සෘජුව තබා ගෙන බිම හෝ කුඩා පුටුවක වාඩිවීමෙන් භාවනාවට සූදානම් විය හැක.
    ඉන්පසුව ඇස් දෙක පියාගෙන තමාගේ හුස්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.
    මෙසේ අවධානය යොමු කරණු ලබන්නේ තමාගේ නාසාආග්‍රයෙන්, තොල ආදී ස්ථානවල ආශ්වාසය හා ප්‍රාශ්වාසය එම කායික කොටස්වල ස්පර්ශ වන ආකාරය පිළිබඳව දැනුවත් වීමෙනි.
    කිසිම අවස්ථාවක තමාගේ උත්සාහයෙන් වේගයෙන් හුස්ම ගැනීම හෝ හෙලීම සිදු නොකළ යුතු වේ.
    නාසාආග්‍රයෙන් හෝ තොලේන් හුස්ම ස්පර්ශය ගැන අවධානයක් සොයා ගැනීමට නොහැකි අය තම උදරය මගින් මෙම භාවනාව ආරම්භ කළ හැකි වේ.
    හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධව අවධානය හොඳින් පවත්වා ගැනීමට හුස්ම ගන්නා අවස්ථාව “ආශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කිරීම වැදගත් වේ. මේ ආකාරයටම ප්‍රාශ්වාසය සඳහා ද “ප්‍රාශ්වාසය” ලෙස මනසින් මෙනෙහි කළ හැකි වේ.
    පුහුණුව මනාකොට පවත්වාගෙන යාමට පහතින් පෙන්නුම් කරන කරුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගතන්න.
    කන් මගින් ඇසෙන ශබ්දවල යෙදෙන අවධානය ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට උත්සාහ කිරීම.
    මනස මගින් ඇති කරන වෙනත් අරමුණුවලට අවධානය නොයොදා සිටීම.
    හුස්ම ස්පර්ශවන කායික ස්ථානය (තොල, නාසාආග්‍රය) හැර වෙනත් කායික කොටස්වලින් අවධානය ඉවත් කර ගැනීම.
    පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු, කයේ එක් එක් කොටසකට දැනෙනා වේදනා ආදියට තමන් විසින් දක්වන ප්‍රතිචාර අඩු කිරීමෙන් අවධානය පිටතට යෑම අඩු කර ගත හැකි වේ.
    ඉහත කරුණු 4 සැලකිල්ලට ගෙන දින කිහිපයක් (දිනකට මිනිත්තු 30 පමණ) පුහුණු වීමෙන් අඛණ්ඩව ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ අවධානය පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි




    ආනාපානාසති කියන්නේ හුස්ම අදින එක නෙවෙයි




    ආනාපානසති භාවනාවෙන් විදර්ශනාවට පිවිසෙන අයුරු

     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිවන් මාර්ගයේ ගමන් කරන සැදැහැවත් පින්වතුන් තමතමන්ගේ සිතේ පිරිසිදු බව, එකඟ බව, සැහැල්ලු බව උදාපත් කරගෙන නිවන ළඟා කරගැනීම සඳහා ශීලයක පිහිටා සමථ විදර්ශනා භාවනා කළයුතු වේ. ඒ සඳහා පිවිසුමක් ලබා දීම පිණිස කෙටි උපදෙස් මාලාවක් වශයෙන් මෙම ලිපි පෙළ සම්පාදනය කෙරේ. ඒ අනුව තම තමන් කෙටියෙන් නමුදු සෑම දිනකම භාවනාවකට සිත පුරුදු කරගත යුතු වේ. බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නේ මේ වටිනා අවස්ථාව අපට උදාපත් කරදීම පිණිස බව නිතර සිහි තබාගත යුතු වේ. එසේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ නොවී, අපට සද්ධර්ම ශ්‍රවණය නොලැබුණේ නම් නිවන් මාර්ගයක් කියා දීමට කෙනෙකු ඇත්තේ නොවේ. කුශලාකුශල ධර්මයන්, හොඳ නරක දේ ලොවට පැහැදිලි කර දෙන ලද්දේ ඒ බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ අවවාදය වූයේ ‘ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ’ යන්නයි. එනම් ‘සිහියෙන් තොරව ප්‍රමාද භාවයට පත් නොවී භාවනා වැඩිය යුත’ු බවයි. ‘මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ’ යනුවෙන් ද වදාළේ ‘භාවනා නොකර, සිහියෙන් තොර වී, ප්‍රමාද බවට පත් වී පසුව විපිළිසර නොවන’ ලෙසයි. එබැවින් උදාපත් වූ දුර්ලභ බුදු සසුනේ උතුම් ඵලය ළඟා කරගැනීම පිණිස නොපමාව භාවනාව ඇරඹිය යුතු වේ. යම් පින්වතෙක් තවමත් භාවනාව ආරම්භ නොකළේ නම් පමා නොවී අද අදම අරඹන ලෙසයි අපගේ මෛත්‍රී සහගත ඇරයුම වන්නේ.
    ඒ අනුව භාවනාව ආරම්භ කිරීම පිණිස තමාගේ ශීලය පිරිසිදු කරගෙන තෙරුවන් වන්දනා කිරීම් ආදිය සිදු කොට පූර්ව කෘත්‍යයක් සිදු කළයුතු ආකාරය පැහැදිලි කරදෙන ලදී. අනතුරුව බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අශුභය, මරණසතිය යන සතර කමටහන් කෙටියෙන් පුරුදු කර සිත භාවනාවට සුදුසු කර්මණ්‍ය බවට පත්කර ගත යුතු වේ. ඒ අනුව සිතේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය ආදී ධර්මතාවයන් වැඩි දියුණු වී නිවන් උදෙසා තමන්ව නොනවත්වා මෙහෙය විය හැකි සිතක් ඇති කරගත හැකි වේ. ඉන්පසු තමාට සුදුසු කර්මස්ථානයක් තෝරාගෙන දීර්ඝව භාවනාව පුහුණු කළයුතු වේ.
    සුදුසු කර්මස්ථානය තෝරා ගැනීම
    සමථ කර්මස්ථාන සතලිසක් (40) ඇති බව ඉහත දක්වන ලද අතර ඒ ඒ චරිතවත් පුද්ගලයාට සුදුසු වන කර්මස්ථාන පිළිබඳව විශුද්ධි මාර්ගයේ සඳහන් වන ආකාරය ද ඉහත පැහැදිලි කරන ලදී. එසේම මේඝිය ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ තවදුරටත් රාගය ප්‍රහාණය කිරීමට අසුභයත්, ව්‍යාපාදය හෙවත් තරහව ප්‍රහාණය කිරීමට මෛත්‍රියත්, විතර්ක සංසිඳවීම පිණිස ආනාපානසතියත්, තමා කෙරෙහි ඇති අස්මිමානය දුරු කිරීමට අනිත්‍ය සංඥාවත් වැඩිය යුතු බව දේශනා කළ සේක. එසේම රාහුල ස්වාමින් වහන්සේට සතර බ්‍රහ්මවිහාර, අශුභ, කායගතාසති, ආනාපානසති යනුවෙන් භාවනා කර්මස්ථාන සතක් දේශනා කළ සේක. එබැවින් චරිතානුකූල කර්මස්ථානයක් ඇතත් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් සහිත ගුරු උතුමන් වහන්සේ කෙනෙකුගේ අවවාදය ලබාගත නොහැකි නම් ඕනෑම කර්මස්ථානයකින් භාවනාව ඇරඹීම සුදුසු වේ. ඕනෑම කෙනෙකුට ඕනෑම භාවනාවකින් කිසියම් සිතේ දියුණුවක් ලබාගත හැකි නොවේ.
    සිතේ දියුණුව හා උදලු මිට
    සමහර කෙනෙක් ටික කලක් කිසියම් භාවනා කර්මස්ථානයක් වැඩීම සිදු කර තමාගේ සිතේ වැඩීමක් සිදු නොවන්නේ යැයි මැසිවිලි නඟන අවස්ථා අපට හමු වේ. ඔබත් එසේ කිසියම් කමටහනක් අත්හදා බලා සිතේ වැඩීමක් නැතැයි සිතන්නේ නම් එයට දිය හැකි හොඳම පිළිතුර වන්නේ සිතේ වැඩීම පහසුවෙන් දැකගැනීම අපහසු බවයි. එය උදැල්ලකට මිටක් සවි කිරීම වැනිය. උදැල්ලකින් වැඩ කරන කෙනෙක් එයට අලුතෙන් මිටක් සවි කළ පසු අතට රළු ස්වභාවයක් දැනේ. එක් දිනක් වැඩ කළ ද මිට සිනිඳු වූ බවක් නොදැනේ. දින දෙකක් වැඩ කළ ද නොදැනේ. සමහර විට මාසයක් පමණ වැඩ කල ද එය තේරුම් ගැනීම අපහසු වේ. එහෙත් අවුරුද්දක් පමණ වැඩ කළ කෙනෙකුට උදලු මිට හොඳින් සිනිඳු වී ඇති බව තේරුම් යනවා ඇති. භාවනාවෙන් ලැබෙන සිතේ වැඩීම ද මෙසේම දිනකින්, දෙකකින් හෝ සමහර විට මාසයකින් තේරුම් ගත නොහැකි වේ. එය කාලයක් කිරීමෙන් අත් දකින දෙයකි. ඒ නිසා තමන්ට සුදුසු යැයි අදහස් කරන කමටහනක් ගෙන දීර්ඝ කාලයක් වැඩීම සිදු කරන ලෙස මතක් කරසිටිමු.
    ආනාපානසති භාවනාව
    පූර්ව කෘත්‍යයක් සිදු කර සතර කමටහන් පුහුණු කළ තැනැත්තා මීළඟට තමාට සුදුසු කමටහනක් ගෙන දීර්ඝව භාවනා කළයුතු වේ. එහි දී සෑම දෙනෙකුටම පොදුවේ ගැලපෙන, පහසුවෙන් තේරුම් ගත හැකි භාවනා කමටහනක් වශයෙන් ආනාපානසති භාවනාව දැක්විය හැකි වේ. ආනාපානසති භාවනාව සෑම චරිතයකටම සුදුසු කමටහනක් වේ. මත්තෙහි කරන භාවනාවන්ට ද උපකාරී වේ. සියලු බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත් වන්නේ ද මෙම ආනාපානසති භාවනාව මූලික කරගෙන භාවනාව ඇරඹීමෙන් ය. එහෙයින් මෙය ‘බෝධිසත්ව භාවනාව’ යනුවෙන් ද හැඳින්වේ. එසේම බොහෝ පසේබුදු, අගසව්, මහසව් ආදී උතුමන් වහන්සේලා ද මෙම ආනාපාන සති භාවනාවෙන් විශේෂ අධිගම ලබාගෙන සුවසේ වාසය කළහ. මෙම ආනාපාන සතිය වැඩීමේ ආනිසංසය මෙසේ සඳහන් වේ.
    ආනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා
    අනුපුබ්බං පරිචිතා යථා බුද්ධේන දේසිතා
    සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා (පටිසම්භිදාමග්ගපාලි)
    යම් පුද්ගලයෙක් ආනාපානසතිය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ පරිද්දෙන් පිරිපුන්ව, මනාව වඩන ලද්දේ නම්, පිළිවෙළින් ප්‍රගුණ කරන ලද්දේ නම්, ඒ තැනැත්තා වලාගැබින් මිදුණු පුන්සඳමඬලක් සේ මෙලොව දීප්තිමත් කරන්නේ යැයි මෙම ගාථාවෙන් පැවසේ.
    මේ නිසා පළමුව ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් වඩනා ආකාරය දැනගත යුතු වේ. ඒ සඳහා භාවනාව නිවැරදිව කියා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් සොයාගත යුතු වේ. මෙකල බොහෝ දෙනා භාවනාව වැරදි ක්‍රම වලට කියා දෙන බව අසන්නට ලැබේ. නිවැරදිව භාවනාව වඩන ආකාරය බුද්ධ දේශනයේ සඳහන් වේ. ඒ බුද්ධ දේශනයේ ඇතැම් පද සම්බන්ධයෙන් සමහර කෙනෙක් වැරදි අර්ථකථනයන් ලබා දේ. එයින් ම පැහැදිලි වන්නේ ඔවුන් භාවනාව වඩා නොමැති බවයි. එසේ වැරදි බව ඔප්පු වන්නේ ඒ අර්ථකථනයන් ත්‍රිපිටකයේ පෙළ, අර්ථකථා වලට නොගැලපෙන බැවිනි.
    ආනාපානසතිය පිළිබඳ මූලාශ්‍ර
    එසේ නම් ආනාපානසති භාවනාව නිවැරදිව කියා දෙන ත්‍රිපිටක මූලාශ්‍ර පිළිබඳව දැනුවත් වීම සුදුසු වේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව සූත්‍ර දේශනා ගණනාවක දේශනා කර ඇත. ඒ අතර මජ්ක්‍ධිමනිකායේ ආනාපානසති සූත්‍රය, මහාසතිපට්ඨාන සූත්‍රය, මහාරාහුලෝවාද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදිය ද සංයුත්ත නිකායේ ආනාපානසති සංයුත්තය ද, බොජ්ඣඩ්ග සංයුත්තයේ එන ආනාපානසති සූත්‍ර සය (6) ද විශේෂයෙන් දැක්විය හැකි වේ. එසේම ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශිත පටිසම්භිදාමග්ගපාළිය ආනාපානසති භාවනාව පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වයි. මේ සියලු මූලාශ්‍ර එක් කරමින්, බුදුරජාණන් වහන්සේගේ ඒ ඒ සූත්‍ර දේශනය පිළිබඳ මහාකාශ්‍යප, ආනන්ද ආදී මහරහතන් වහන්සේලා විසින් දරාගෙන පැමිණි අර්ථකථනයන් අනුව යමින් අනුරාධපුර යුගයේ දී බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ‘විශුද්ධිමාර්ගය’ නැමති මහාවිහාරීය භාවනා ග්‍රන්ථය අතිශයින් ප්‍රශස්ථතර වේ. එහි එන භාවනා මාර්ගය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගත යුතු නැති බව එය අනුගමනය කරන ලද ලක්දිව සහ බුරුමය, තායිලන්තය ආදී රටවල ස්වාමින් වහන්සේලාගේ අත්දැකීම් වලින් දැනගත හැකි වේ.
    ඒ අනුව වර්තමානයේ ආනාපානසති භාවනාව පිළිබඳ නිවැරදිව කියා දෙන ගුරු උතුමන් වහන්සේ නමක් සොයාගත නොහැකි නම්, පාළි භාෂාව හොඳින් වැටහෙන කෙනෙක් නම්, වැරදි උපදෙස් අනුගමනය නොකර පාළි භාෂාවෙන් ඇති විශුද්ධිමාර්ගය අනුගමනය කරන ලෙස අපගේ මෙත් සිත් සහගත යෝජනාව වේ. ඒ සඳහා දඹදෙණි යුගයේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් ලියන ලද විශුද්ධිමාර්ග සන්නය ද උපකාර කරගත හැකි වේ. ඒ පිළිබඳ බෙන්තර සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ 1949 වසරේ පමණ සංස්කරණය කළ ග්‍රන්ථයක් ඇති අතර සොයාගත හැකි නම් වඩාත් සුදුසු වේ. එසේ හැකියාවක් නොමැති, නිවැරදිව භාවනා මාර්ගයේ ගමන් කිරීමට කැමති සත්පුරුෂ පින්වතුන් උදෙසා අපගේ ශක්ති පමණින් මෙම ලිපි පෙළ සම්පාදනය වේ. එය ගුරු තනතුරේ තබාගෙන නොපමාව භාවනාව වඩා සෑම සියලු දෙනාම උතුම් නිවනින් සැනසෙත්වා.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ත්ඵල මහානිසංස වන ආකාරය බුදුගොස් ඇදුරුපාණෝ විශුද්ධිමාර්ගයේ සඳහන් කරන්නේ මෙසේය.
    1. බුදුරජාණන් වහන්සේ ‘අයම්පි ඛෝ භික්ඛවේ ආනාපානසති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පණීතෝච’යැයි දේශනා කළ බැවින් භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය ශාන්ත වේ. ප්‍රණීත වේ. එය කාමවිතර්කාදී අකුසල විතර්කයන් සිඳලීම පිණිස හේතු වේ.
    2. ආනාපානසතිය වැඩීමෙන් සතරසතිපට්ඨානාදි පිළිවෙළින් නිවන් මාර්ගය පරිපූරණය වන නිසා මගඵල නිවන් සාක්ෂාත් කර ගත හැකි වේ.
    3. ආනාපානසතිය භාවිත බහුලීකත කරන පුද්ගලයාට මරණාසන්න මොහොතේදී චුති චිත්තක්ෂණයට චිත්තක්ෂණ දහසයකට ප්‍රථම ඇතිවන අවසන් ආශ්වාස ප්‍රශ්වාසයෙහි ද උත්පාද, ඨිති, භංග යනාදිය ප්‍රකට කරගත හැකි වේ. ඒ නිසාවෙන්ම නොමුළාව කළුරිය කළහැකි වේ.
    4. ආනාපානසතිය වඩා අරිහත්වයට පත් වන භික්ෂුවට සිය ආයු අන්තරය එනම් ජීවිතය පවත්නා කාලය නිවැරදිව පිරිසිඳිය හැකි වේ.
    මේ ආදී හේතු නිසාවෙන් ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස වේ. එසේම මහාරාහුලෝවාද සූත්‍ර අර්ථකථාවේ ආනාපානසතිය වැඩීමේ ආනිසංස මෙසේ සඳහන් වේ.
    1. ආනාපානසතිය වඩන භික්ෂුවට එක් භාවනා ආසනයකදී ම ආනාපානසතිය වැඩීමෙන් සව්කෙලෙස් නසා උතුම් අරිහත්වයට පැමිණිය හැකි වේ.
    2. එසේ නොහැකි වන පුද්ගලයාට මරණයට පත් වන අවස්ථාවේ අවසන් හුස්මරැල්ල ද පිරිසිඳ දැකිය හැකි නිසා එහි දී සමසීසී රහතන් වහන්සේ නමක් ලෙස අරිහත්වයට පත්වීමත් පිරිනිවන්පෑමත් එකවර සිදු විය හැකි වේ.
    3. එසේ ද නොහැකි විට මරණින් මතු දෙව්ලොව ඉපිද ධර්මකථික දිව්‍ය පුත්‍රයන්ගෙන් ධර්මශ්‍රවණය කොට අරිහත්වයට පත් විය හැකි වේ.
    4. එසේ ද නොහැකි වුවහොත් අබුද්ධෝත්පාද කාලයක උතුම් පසේබුද්ධත්වයෙන් නිවන් සාක්ෂාත් කරගැනීමට ද ආනාපානසතිය උපකාරී වේ.
    5. එසේ ද නොහැකි වුවහොත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ නමක් අභිමුවේ බාහියදාරුචීරිය මහරහතන් වහන්සේට මෙන් ඉතා ඉක්මනින් ධර්මය අව‍බෝධ කරගෙන උතුම් අරිහත්වයට පත් වීමට ආනාපානසති භාවනාව වැඩීම උපකාරී වේ.
    මෙසේ ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස වන ආකාරය ධර්මයේ නොයෙක් ආකාරයෙන් විස්තර කර තිබේ. එසේම සෑම බුදුවරයෙක්ම ද මෙම ආනාපානසති භාවනාව මුල් කරගෙන භාවනාව අරඹා උතුම් බුද්ධත්වයට පත් වේ. නිවැරදි ගුරු උපදෙස් ලබාගෙන භාවනාව වඩන්නේ නම් ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් වඩා ධ්‍යාන, මාර්ගඵල ලබාගෙන නිවන් අවබෝධ කරගත හැකි වේ.
    ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බව සැරියුත් මාහිමියන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට වදාළ බව මජ්ක්‍ධිමනිකායේ, මහාරාහුලෝවාද සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
    දිනක් රාහුල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමඟ බුදුරජාණන් වහන්සේ පිටුපසින් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ද ගෙන පිණ්ඩපාතයේ වැඩියේය. එහි දී ඉදිරියෙන් වඩිනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලා තමන් වහන්සේගේ සිරුර ද බලා සැසඳීමක් කළේය. තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ම පුත්‍ර රත්නය වේ. ඒ නිසා ඒ බුදුසිරුර ද තමන්වහන්සේගේ සිරුර ද නොයෙක් අතින් සමාන බව සැලකුවේ ය. රාහුල ස්වාමින් වහන්සේ රූපය කෙරෙහි ඡන්දරාගයක් ඇති කරගත් බව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ අතරමඟ නැවතී රාහුල ස්වාමින් වහන්සේට රූපය පිළිබඳ භාවනා කමටහනක් වදාළ සේක. මේ රූපය ‘මගේ ය, මම ය, මගේ ආත්මය ය’ යැයි සැලකිය යුතු නොවේ. මෙය ‘මගේ නොවේ ය, මම නොවේ ය, මගේ ආත්මය නොවේ ය’. මෙය ඇසූ රාහුල ස්වාමින් වහන්සේ සංවේගයට පැමිණියේය. පිණ්ඩපාතය වැඩීම නවතා, බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන ගසක් මුල භාවනාවට හිඳගත්තේය. ඒ පිටුපසින් පිණ්ඩපාතයේ වැඩම කළ සැරියුත් මාහිමියෝ ගසක් මුල භාවනාව වඩන රාහුල ස්වාමින් වහන්සේ දැක උපදෙසක් දුන්නේ ය. ‘ආනාපානසතිං රාහුල භාවනං භාවෙහි. ආනාපානසති රාහුල භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’, එනම් ‘රාහුල ! ආනාපානසතිය වඩන්න. වඩන ලද, බහුලවශයෙන් වඩන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වේ’ යනුයි.
    එබැවින් ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස භාවනාවක් වේ. සෑම පුද්ගලයෙකුටම පහසුවෙන් ආරම්භ කළහැකි ද වේ. භාවනාව ආරම්භකරන කෙනෙකුට ඒ සඳහා ආරම්භක කමටහනක් වශයෙන් ද ආනාපානසති භාවනාව සුදුසු වේ. ආනාපානසතිය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන්, පිළිවෙළින් වඩන අයුරු ත්‍රිපිටකය අනුසාරයෙන් ඉදිරි ලිපියෙන් විස්තර වේ. එය ගුරු තනතුරෙහි තබාගෙන, පිළිවෙලින් ආනාපානසතිය වඩා, බුදුසසුනේ බොහෝ දෙනෙක් මෙන් පහසුවෙන් නිවන් අවබෝධ කරගනිත්වා…!

    ‘ගනිමි…’ ‘හෙළමි…’
    සිහියෙන් යුතුව හුස්ම ගන්න ...
    සිත නිවන ආනාපාන සති භාවනාව
    තෙවන කොටස (03)
    සිහියෙන් යුතුව හුස්ම
    මහාකාරුණිකයන් බුදුරජාණන් වහන්සේ එක් කලෙක සැරියුත්, මුගලන්, මහාකච්චායන, මහාකොට්ඨිත, මහාකප්පින ආදී මහරහතන් වහන්සේලා ද සමඟ සැවැත්නුවර පූර්වාරාමයේ වස් විසූ සේක. එම කාලය තුළ මහතෙරුන් වහන්සේලා නිතර තරුණ, නවක භික්‍ෂූන් වහන්සේලාට භාවනා කමටහන් ලබා දෙමින්, අවවාද අනුශාසනා කරමින් උපකාර කළ අතර බොහෝ දෙනෙක් පෙර නොලැබූ අධිගම ද ලැබූහ. වස් තුන්මස අවසන්ව, වප්මස පුර පසලොස්වක පොහෝ දින, පවාරණ දිනය එළඹිණි. භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියේ භික්‍ෂූන් පිරිවරා එළිමහනේ වැඩ හුන් අතර, වස් තුන්මස භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා ප්‍රතිපදාව පිළිබඳ සතුටු සිත් ඇති බවත්, එදින වස් පවාරණය නොකර තවත් මාසයක් එහිම වැඩ සිටීමට තීරණය කළ බවත් වදාළ සේක. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අවවාද කළේ, ‘නොපැමිණි අර්හත් ඵලයට පැමිණීම පිණිස, අධිගත නොකළ ඵලය අධිගමනය පිණිස, පසක් නොකළ නිවන පසක් කිරීම පිණිස විශේෂයෙන් වීර්ය ආරම්භ කරන ලෙස’යි.
    ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා ඉතිරි මාසය ද එහි ම වාසය කරමින් භාවනා ප්‍රතිපදාවේ යෙදුණු අතර මහ තෙරුන් වහන්සේලා තව තවත් උනන්දුවෙන් තරුණ, නවක භික්‍ෂූන් වහන්සේලාට භාවනා උපදෙස් ලබා දුන්හ. එයින් බොහෝ දෙනෙක් පෙර නොපැමිණි අධිගමයන්ට පැමිණියහ.
    ඉල් මහ පසලොස්වක දින රාත්‍රියේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන එළිමහනෙහි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිස අමතා භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ උදාර ප්‍රශංසාවක් කළ සේක. ඒ පිරිසේ උතුම් අර්හත්වයට පත් වූ, අනාගාමී ඵලයට පත් වූ, සකදාගාමී ඵලයට පත් වූ, සෝතාපන්න වූ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින බව පැවසූහ. සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධන් වීර්ය, සතර ඍද්ධිපාද, පඤ්ච ඉන්‍ද්‍රිය, පඤ්ච බල, සප්ත බොධ්‍යඩ්ග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වඩන භික්‍ෂූන් සිටින බව පැවසූහ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහාර භාවනා වඩන භික්‍ෂූන් වහන්සේලා ද, අසුභ භාවනාව ද, අනිත්‍ය සංඥාව ද වඩන භික්‍ෂූන් වහන්සේලා ද සිටින බව පැවසූ සේක.
    ඒ සියල්ල පැවසූ භාග්‍යවතුන් වහන්සේ නැවත, ඒ පිරිසේ ආනාපානසතිය වඩන භික්‍ෂූන් වහන්සේලා සිටින බව ද පැවසූහ. එසේ පවසා, භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසතිය මහත්ඵල මහානිසංස වන බව පැවසූ සේක.
    ‘භාවිත බහුලීකෘත කරන ලද ආනාපානසති භාවනාවෙන් සතර සතිපට්ඨානය පරිපූරණය වේ. සතර සතිපට්ඨානය භාවිත බහුලීකෘත කිරීමෙන් සප්ත බොධ්‍යඩ්ගධර්මයන් පරිපූරණය වේ. සප්ත බොධ්‍යඩ්ග ධර්මයන් භාවිත බහුලීකෘත කිරීමෙන් විද්‍යාවිමුක්ති සංඛ්‍යාත නිර්වාණය පරිපූරණය වේ.’
    ආනාපානසති භාවනාව නම් සියල්ලටම මුදුන්පත් භාවනාවකි. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විසින් අත් නොහළ භාවනාවකි. නිවන දක්වාම දිවෙන භාවනා කර්මස්ථානයකි. එබැවින් සෑම සියලු දෙනාම උනන්දුවෙන් උගෙනගෙන වැඩිය යුතු වේ.
    මෙසේ ආනාපානසති භාවනාවේ ආනිසංස දැක්වූ බුදුරජාණන් වහන්සේ ආනාපානසතිය වඩන ආකාරය පිළිවෙලට විස්තර කිරීම ඇරඹූ සේක. ඒ අනුව මහා සතිපට්ඨාන සූත්‍රය ආදී ආනාපානසතිය දැක්වෙන වෙනත් සූත්‍ර වල මෙන්ම භාවනාව ආරම්භ කරන ආකාරය මෙසේ වදාළ සේක.
    “ඉධ භික්ඛවෙ, භික්ඛු, අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා, නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සෝ සතෝව අස්සසති. සතෝ පස්සසති.”
    ‘මහණෙනි, මේ සසුනෙහි භික්‍ෂුව වනසෙනසුනකට ගියේ හෝ වේවා, රුක්මුලකට ගියේ හෝ වේවා, ශූන්‍යාගාරයකට ගියේ හෝ වේවා, පලඟක් බැඳගෙන, කය ඍජු කොට තබාගෙන, සිහිය කමටහනට අභිමුඛ කරගෙන එළවා හිඳගනී. සිහි ඇතිවම ආශ්වාස කරයි, සිහි ඇතිවම ප්‍රශ්වාස කරයි’
    මෙහි දී ‘අරඤ්ඤගතෝ වා …’ යනාදි ආකාරයෙන් භාවනාවට සුදුසු පරිසරය පිළිබඳ වදාළහ. ඒ පිළිබඳව ඉහත ලිපි වලින් පැහැදිලි කරන ලදී. මෙම භාවනාවේ දී සෙසු භාවනාවල මෙන් නොව විශේෂයෙන් භාවනා ඉරියව්වක් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය’ යනුවෙන් වදාළ සේක. ඒ අනුව පලඟක් බැඳගෙන, උඩු කය ඍජුව තබාගැනීම වැදගත් වේ. මෙහි දී වරදවා ධර්මයට අර්ථකථන දෙන සමහරෙක් අසන්නේ ‘උජුං කායං’ කියා ඇති බැවින් මුලු කයම ඍජුව තබාගත යුතු නොවේ ද යනුයි. එහෙත් ‘නිසීදති පල්ලඩ්කං ආභුජිත්වා’ යැයි කියන බැවින් පළමුව හිඳගත යුතුයි. එවිට මුලු කයම ඍජු කරගැනීමේ ක්‍රමයක් නැති බැවින් ඒ හිස් පැනයකි. පලඟක් බැඳගෙන හිඳගැනීම අපහසු අය පහසු ආකාරයකට හිඳගත යුතු වේ. භාවනාවට හිඳගන්නා ආකාරය ද ඉහත ලිපි වලින් දීර්ඝව විස්තර කරන ලදී. කෙසේ හෝ පහසු ආකාරයකට හිඳගෙන උඩු කය ඍජුව තබාගත යුතු වේ. සෑම කෙනෙකුගේම පිටකොන්දේ කොඳු ඇට දහඅටක් (18) ඇති අතර ඒ එකිනෙකක් එකිනෙකක් උඩින් සිටින ආකාරයට කොන්ද කෙලින් තබාගත් විට බොහෝ වේලාවක් භාවනාව කරගෙන යා හැකි වේ. එසේ නොවන විට සම, මස්, නහර තෙරපී වේදනා ඇති වේ. කොන්ද කෙලින් ඇති විට ඒ තෙරපීම් ඇති නොවී වේදනා නොමැති නිසාවෙන් සිත කර්මස්ථානයේ එකඟ වේ.
    මීළඟට වැදගත් වන්නේ ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යන්නයි. එයින් අදහස් වන්නේ සිහිය කර්මස්ථානාභිමුඛව තබාගත යුතු බවයි. ‘පරි’ යන්නෙන් පරිග්‍රහණය ද, ‘මුඛං’ යන්නෙන් නිර්ය්‍යාණය (ප්‍රතිපක්‍ෂ ධර්මයන් කෙරෙන් නික්මීම) ද, ‘සති’ යන්නෙන් එළවීම ද අදහස් වන බව පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරන බැවින් ‘පරිග්‍රහණය කරන ලද නික්මීම ඇති සිහිය’ අදහස් වේ. කෙලෙසුන් කෙරෙන් නික්මීම සිදුවන්නේ කර්මස්ථානයක සිත වැඩීමෙනි. ඒ නිසා මින් අදහස් කරන ලද්දේ කර්මස්ථානයේ සිහිය තබාගැනීමයි. මෙය දම් සෙනෙවි සැරියුත් මා හිමියන්ගේ අර්ථ දැක්වීම බැවින් වෙනත් වැරදි අර්ථයන් ගතයුතු නොවේ.
    මේ අනුව කියන ලද ආකාරයෙන් භාවනාවට හිඳගන්නා තැනැත්තා තමන්ගේ භාවනා කමටහනට එළවාගත සිහිය අත නොහැර ‘සතෝව අස්සසති. සතෝ පස්සසති’ යැයි කියූ පරිදි සිහියෙන්ම ආශ්වාස කරයි. සිහියෙන්ම ප්‍රශ්වාස කරයි. මෙහි දී ආශ්වාස යනු හුස්ම ඉහළට ගැනීමයි. ප්‍රශ්වාස යනු හුස්ම පහළට හෙළීමයි. මේ පිළිබඳ වර්තමානයේ ඇතැමෙක් විකෘති අර්ථ දැක්වීම් ද කරති. ‘අස්සසති, පස්සසති’ යන වචන කෙලෙස් දුරු කිරීම පිළිබඳ වචන බව පවසති. ඒ සියල්ල ධර්මය වරදවා අල්ලාගත් අයගේ අර්ථදැක්වීම් බව සිතට ගතයුතු වේ. ඒ කිසිවක් ත්‍රිපිටකයට අනුකූල නොවේ. භාවනා මාර්ගයට ද අනුකූල නොවේ.
    මේ අනුව සිහියෙන් යුතුව ම තමන්ගේ ආශ්වාස හා ප්‍රාශ්වාස වෙත සිත එළවා තබාගැනීම ආනාපානසතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ පළමු ඉගැන්වීමයි. එහි දී සිහිය එළවා තබාගැනීම පහසු වීමට නාසිකාග්‍ර කෙළවර සිත තබාගෙන එහි ගැටෙන හුස්ම රැල්ල මෙනෙහි කරන්න. පළමුව හුස්ම රැල්ල ගැටීම හොඳින් ප්‍රකට නොවිය හැකිය. එහෙත් නාසිකා අග කෙළවර සිත තබාගෙන හුස්ම ඉහළට ගන්නා විට ‘ගනිමි’ යනුවෙන් ද, පහළට හෙළන විට ‘හෙළමි’ යැයි ද සිහි කළ හැකිය. එවිට සිහිය වැඩි වී හුස්ම රැල්ල ප්‍රකටව දැනෙන්නට පටන් ගනී.
    ------ Post added on Sep 12, 2021 at 4:11 AM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සිහිය වැඩි කර ගන්න
    🧘‍♂️
    🧘‍♂️
    🧘‍♂️
    🧘‍♂️
    🧘‍♂️
    🧘‍♂️
    🧘‍♂️
    🧘‍♂️

    සිත නිවන ආනාපානසති භාවනාව –
    සිව්වන කොටස (04)
    එකඳු මග නොහැර share කරන්න..
    ලිපි 28ට ආසන්න ලිපි පෙළම දිනපතා පලකරනවා....සසර දුක නිවාගනු පිනිස පිහිටවට මේම උතුම් ධර්ම දානමය ලිපිපෙළ ඔබත් share කර ධර්ම දානමය කුසලය රැස්කරගන්න.
    ආනාපානසති භාවනාව ආරම්භ කරනු කැමති පුද්ගලයා විසින් කය ඍජුව තබාගෙන හිඳගෙන, සිහිය කමටහනට අභිමුඛ කරගෙන, සිහි ඇතිව ආශ්වාස ප්‍රශ්වාස කළයුතු බව පළමුව පැහැදිලි කරන ලදී. එහි දී භාවනාවට ආධුනිකයකු විසින් සැලකිය යුතු කරුණු පිළිබඳව මෙහි දී අවධානය යොමු කරනු ලැබේ.
    භාවනා කමටහනක් වැඩීම අරඹන පුද්ගලයෙක් විසින් පළමුව කළයුතු කටයුත්තක් වශයෙන් ඒ භාවනාකමටහන පස් ආකාරයකින් ඉගෙනගත යුතුයැයි විශුද්ධිමාර්ගයේ දැක්වේ. මෙය විශේෂයෙන්ම භාවනාව වඩන භික්‍ෂුවකට වැදගත් වේ. ගිහි පින්වතුන් නමුදු නිවැරදිව භාවනාව ඉගෙනගන්නේ නම් එය වැදගත් වේ. එහෙත් ඒ සඳහා කාලය වැය කළ නොහැකි කාර්යබහුල අය නිවැරදි ගුරු ඇසුරකින් හෝ මෙවැනි නිවැරදිව භාවනාව කියා දෙන ලිපි පෙළකින් හෝ භාවනාව වඩන ආකාරය නිවැරදිව ඉගෙන ගතයුතු වේ. ඒ පස් ආකාරය නම් භාවනාව විස්තර කෙරෙන කිසියම් ග්‍රන්ථයක් හෝ සූත්‍ර දේශනාදියක් නිවැරදිව ඉගෙන ගැනීම, එහි අර්ථය නිවැරදිව විමසා දැන ගැනීම, සැක තැන් විමසා පිරිසිදු කරගැනීම, භාවනාව වැඩීම සිදු වන ආකාරය නිවැරදිව වටහා ගැනීම, ධ්‍යාන උපදවන ආකාරය නිවැරදිව අවබෝධ කරගැනීම සහ භාවනා කමටහනේ ස්වභාව ලක්‍ෂණය දැන ගැනීමයි. ඒ අනුව ආනාපානසති භාවනාව විස්තර කෙරෙන මහාසතිපට්ඨාන සූත්‍රය, ආනාපානසති සූත්‍රය ආදියක් නිවැරදිව ඉගෙන ගතයුතු වන අතර එහි අර්ථය නිවැරදිව බුද්ධදේශනාවට අනුකූලව වටහාගත යුතු වේ. වර්තමානයේ බොහෝ විට වැරදි ක්‍රම වලට භාවනාව විස්තර වන බව දක්නට ලැබෙන්නේ මෙම අර්ථකථනයේ දුර්වලතාවය නිසාවෙනි. මේ නිසා නිවැරදි අර්ථ කීම තේරුම් ගත යුතු වේ.
    සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්ම සංගායනා තුනකින් පිළිගත් පිරිසිදු ත්‍රිපිටක ධර්මය එහි අර්ථ විවරණයත් සමඟ මිහිදු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට රැගෙන එන ලදී. ඒ අනුව ගමන් කරමින් නිර්වාණය අවබෝධ කරගත් අය ඉතා බොහෝ බව ඉතිහාසයේ සඳහන් වේ. වර්තමානයේ ද ඒ නිවන් මඟ පාලි ත්‍රිපිටකය පෙළ සහ අර්ථකථා තුළ සුරක්‍ෂිතව ඇත. ඒ අනුව හික්මෙන පුද්ගලයාට තමන්ගේ භාවනාව නිවැරදිව දියුණු කරගත හැකි බව නිවැරදිව ඒ මඟ අනුගමනය කළ ස්වාමින් වහන්සේලාගේ අත්දැකීම් ඔස්සේ දැනගත හැකි වේ. විශුද්ධිමාර්ගයෙන් සුරක්‍ෂිත වී ඇත්තේ ද මෙම නිවැරදි මාර්ගය වේ. තායිලන්තයේ, බුරුමයේ ආදී ථේරවාදී රටවල මෙම භාවනාමාර්ගය අනුගමනය කරන බොහෝ දෙනෙක් සිටිති. එබැවින් ආනාපානසති භාවනාව පිළිබඳව ද අර්ථ විවරණය කරගත යුත්තේ මෙම පෙළ අර්ථකථා අනුසාරයෙන් මිස හුදු භාවනාව පිළිබඳ අත්තනොමති පවසන පුද්ගලයන්ගේ ප්‍රකාශන ඔස්සේ නොවේ. යම් පුද්ගලයෙක් පෙළ, අර්ථකථාව, විශුද්ධිමාර්ගය වැරදි යැයි පවසන්නේ නම් එහි නිවැරදි මාර්ගය නොමැති බව තේරුම් ගත යුතු වේ. මන්ද ඒ මාර්ගයෙන් නිවැරදිව ප්‍රතිඵල අත්කරගත් බොහෝ දෙනෙක් සිටින බැවිනි.
    මෙම ලිපි පෙළෙන් අදහස් කරන්නේ ඒ නිවැරදි මාර්ගය විවර කරදීම වේ. ඒ අනුව නිවැරදිව භාවනාව ඉගෙන ගනිමින්, භාවනාවට සුදුසු තැනක් තෝරාගෙන, විවේකීව භාවනාවට වාඩි වී පළමුව පූර්වකෘත්‍ය ආදිය සිදු කර, සතර කමටහන් වැඩීම කෙටියෙන් සිදු කර, ආනාපානසති භාවනාව ආරම්භ කළහැකි වේ. ඒ අනුව තමන්ගේ හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කර ‘සතෝව අස්සසති. සතෝ පස්සසති’ යැයි කියූ පරිදි සිහියෙන්ම හුස්ම ඉහළ පහළ හෙළිය යුතු වේ. එසේ හුස්ම රැල්ල මෙනෙහි කරන ආකාරය අර්ථකථාවේ මෙසේ දැක්වේ.
    ගණනා අනුබන්‍ධනා ඵුසනා ඨපනා සල්ලක්‍ඛණා
    විවටනා පාරිසුද්ධි තෙසඤ්ච පතිපස්සනා
    යනුවෙනි. එනම් හුස්ම රැල්ල ගණන් කිරීමෙන් සිහිය පිහිටුවීම, ඒ හුස්ම අනුගමනය කිරීමෙන් සිහිය පිහිටුවීම, නාසිකා අග හුස්ම ගැටීම අරමුණු කර සිහිය පිහිටුවීම, සිත ඒ හුස්ම අරමුණෙහි මනාකොට පිහිටවීම, අනිත්‍යාදිය සැලකීම, මාර්ගය, ඵලය සහ ප්‍රත්‍යවේක්‍ෂාව වශයෙනි.
    මෙහි දී භාවනාවට ආධුනිකයාට පළමුව පහසුවෙන් හුස්මරැල්ල හඳුනාගැනීම නොහැකි විය හැකිය. එවිට සිහිය වැඩි කරගනු පිණිස පළමුව හුස්ම රැල්ල ගණන් කිරීමාදිය දැක්වේ. ඒ අනුව ආනාපානසතිය වඩන පුද්ගලයා භාවනාවට වාඩි වී තමන්ගේ සිහිය නාසිකාවේ අග කෙළවර හුස්ම ස්පර්ෂ වන තැනට යොමු කළයුතු වේ. එවිට හුස්ම රැල්ල හොඳින් අරමුණු වන්නේ නම් ගණන් කිරීමාදියකින් තොරවම සිහිය පිහිටුවාගත හැකි වේ. එහෙත් සිහිය පිහිටුවා ගැනීම අපහසු පුද්ගලයාට ගණන් කිරීම පහසු වේ. ගණන් කිරීම කළයුතු වන්නේ මෙසේය.
    හුස්ම ඉහළට ගන්නා විට ‘එකයි’ කියා ගණන් කොට පහළ හෙළන විට ද ‘එකයි’ කියා ගණන් කළ හැකිය. දෙවන හුස්ම ඉහළ පහළ හෙළන විට ‘දෙකයි’ කියා ගණන් කළ හැකිය. මෙසේ පහට (5) වැඩි දහයට (10) අඩු ගණනක් ගණන් කළ යුතු වේ. එසේම ‘එකයි, තුනයි, පහයි’ යනාදි ලෙස කඩ කඩ කොට ගණන් නොකළ යුතු වේ. ගණන් කිරීමේ දී ද සෙමෙන් ‘වී මනින්නවුන්’ මෙන් ගණන් කළ යුතු වේ. වී මනින ගොවි මහතා එක් වී නැළියක් පුරවා ‘එකයි’ යැයි කියා දමයි. නැවත වී නැළිය පිරවීමේ දී කසල රොඩු යමක් දුටුවේ නම් ‘එකයි … එකයි’ යැයි නැවත නැවත කියමින් ඒ කසල ඉවත් කර නැළිය පුරවයි. මේ ආකාරයෙන් හුස්ම රැල්ල ගණන් කිරීමේ දී ද ඉහළට ගන්නා හුස්ම මෙනෙහි කිරීමේ දී වැටහෙන වැටහීම පිළිබඳ අවබෝධයෙන් යුතුව ‘එකයි … එකයි … එකයි’ යනාදි වශයෙන් ගණන් කළ හැකි වේ. මෙසේ ගණන් කිරීමේ දී ඉහළට ගන්නා හුස්ම සහ පහළට හෙළන හුස්ම මනාව වැටහෙන්නට පටන් ගත් විට, එසේ වී මනින්නකු මෙන් සෙමෙන් ගණන් කිරීම අතහැර ගොපල්ලකු ගවයන් ගණන් කරන්නා සේ වේගයෙන් ගණන් කළ යුතු වේ.
    ගොපල්ලා උදෑසනින් ගල්කැට කැබලි ද ගෙන ගව ගාලට ගොස් ගවයන් පිටට ගසමින් නැගිටුවා හිඳි කඩුල්ලේ කණුවට නැඟ ඒ කඩුල්ලෙන් පිටවන එකිනෙක ගවයා ‘එකයි … දෙකයි’ යනාදි ලෙස ගණන් කරමින් අතේ තබාගත් ගල්කැට කැබලි එකිනෙක බිම දමයි. මුලු තුන්යම රාත්‍රියේ එකිනෙකා හිර වී ගව ගාලේ සිටි ගවයන් වහ වහා රොත්ත පිටින් නික්මෙන විට ගොපල්ලා ද වහ වහා ‘තුන, හතර, පහ, දහය’ යනා දි ලෙස ගණන් කරයි. ඒ ආකාරයෙන් ම හුස්ම රැල්ල ප්‍රකටව වහ වහා වැටහෙන විට, නැවත නැවත හැසිරෙන බව දැන ගණන් කළ යුතුය. ගොපල්ලා වහ වහා ගවයන් ගණන් කරද්දී ගවගාලේ ඇතුලේ සහ පිටත සිටින ගවයන් ගැන බැලීමක් නොකර දොරටුවම බලයි. එසේ ඇතුළත පිටත බැලුවහොත් ගණන වරදී. එසේම හුස්ම රැල්ල ශරීරය අභ්‍යන්තරයේ හෝ පිටත හෝ පැවැත්ම බැලීමකින් තොරව නාසිකා අග පමණක් බලාගෙන ගණන් කළ යුතු වේ. එහි දී ‘එක, දෙක, තුන, හතර, පහ’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට’ යැයි ද, ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය’ යැයි ද ‘එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය, දහය’ යැයි ද නැවත නැවත ගණන් කළ යුතු වේ. එසේ ගණන් කිරීම සමඟ ඒකාබද්ධ වූ කළ, සැඩ පහරේ ගසාගෙන යන ඔරුවක් රිටකින් නවත්වාගන්නා සේ ගණන සමඟ බැඳී සිහිය පිහිටයි.ගණන් කිරීමකින් තොරව හුස්ම රැල්ලේ සිහිය පිහිටනතාක් මෙම ගණන් කිරීම කළ යුතු වේ.
    එසේ සිහිය හුස්ම රැල්ලේ පිහිටි කළ ගණන් කිරීම අතහැර සිහියෙන් හුස්ම මෙනෙහි කිරීම ඇරඹිය යුතු වේ. ඒ අනුව නිරන්තරයෙන් හුස්ම රැල්ල අනුව සිහිය පිහිටුවාගෙන සිටිය යුතු වේ.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දිග … කෙටි’ හුස්ම දැනගන්න
    සිත නිවන ආනාපානසති භාවනාව –
    පස්වන වන කොටස (05)
    ආනාපානසති භාවනාවෙහි නියැලෙන ආධුනිකයා විසින් පළමුව තමන්ගේ හුස්ම රැල්ලට අවධානය යොමු කොට සිහිය වැඩි කරගත යුතු බව මුලින් පැහැදිලි කරන ලදී. ඒ සඳහා හුස්ම ගණන් කිරීමේ අභ්‍යාසය අනුගමනය කළ හැකි අතර, ගණන් කිරීමෙන් තොරව හුස්ම කෙරෙහි අවධානය පිහිටන විට ගණන් කිරීම අතහැර හුස්ම රැල්ල අනුව සිහිය නැවත නැවත පැවැත්විය යුතු වේ. එය ‘අනුබන්‍ධනය’ ලෙස හැඳින්වේ. මෙසේ ආනාපානසති භාවනාවේ දී පළමුව නැහැය අග සිහිය පිහිටුවාගෙන හුස්ම දෙස බලා මෙනෙහු කළයුතු ආකාරය ‘සො සතොව අස්සසති, සතො පස්සසති’ යැයි වදාළ සේක.
    අනතුරුව ඒ සිහිය පිහිටවිය යුතු ආකාරය තවදුරටත් විස්තර කරමින්,
    ‘දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති.’ යැයි වදාළ සේක.
    එනම් ‘දීර්ඝ වූ ආශ්වාසය කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. දීර්ඝව ප්‍රශ්වාස කරනුයේ, දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. හ්‍රස්වව (කෙටියෙන්) ආශ්වාස කරන්නේ, කෙටියෙන් ආශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි. කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ, කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ යැයි නුවණින් දැනගනියි.’
    මෙහි ‘දිග, කෙටි’ යන පදයන්ගෙන් හුස්ම රැල්ල පවත්නා කාලය අදහස් වේ. ඇතැම් පුද්ගලයෙක්ගේ හුස්ම රැල්ල දීර්ඝව පවතී. සර්පයන්ගේ, ඇතුන්ගේ වැනි ඇතැම් සත්වයන් හුස්ම ගන්නා විට දික් වූ හුස්ම ගැනීම-හෙළීම කරති. ඒ ආකාරයෙන් ඇතැම් කෙනෙකුගේ හුස්ම රැල්ල පවත්නා කාලය ද දික් වේ. එසේම සුනඛයන්, සාවන් ආදීන්ගේ හුස්ම රැල්ල කෙටි ය. ඒ ආකාරයෙන් ඇතැම් පුද්ගලයෙක් කෙටි කාලයක් පවත්නා කුඩා කුඩා හුස්ම ගැනීම-හෙළීම ද කරති. මෙසේ ආනාපානසති භාවනාව කරන තැනැත්තා තමන්ගේ හුස්ම රැල්ල නාසිකා අග ගැටෙමින් පවතින කාලය සිතෙන් මැන ගැනීමක් පළමුව කළ යුතු වේ. එසේ මැනගෙන තමන්ගේ හුස්ම රැල්ල දික් වූ කාලයක් පවතී ද, කෙටි කාලයක් පවතී ද යන්න තේරුම් ගත යුතු වේ. ඇතැම් විට කෙනෙක්ගේ හුස්ම මේ දෙයාකාරයටම වෙනස් වෙමින් ද පැවතිය හැකි වේ. ඒ නිසා නාසය අග හුස්ම ගැටෙන තැන සිත තබාගෙන එහි හුස්ම ගැටෙමින් පවත්නා කාලය කෙරෙහි අවධානය තියුණු කරගත යුතු වේ.
    ඒ අනුව පළමුව සාමාන්‍යයෙන් හුස්මරැල්ල නාසය අග ගැටෙමින් පවත්නා කාලය සිතෙන් මැනීමක් කරගත යුතු අතර එය කෙරෙහි සිහිය වැඩි කරගෙන ඊට වඩා දික් වූ හෝ ඊට වඩා කෙටි වූ හෝ හුස්මක් පවතී ද යන්න විමසා බැලිය යුතු වේ. මෙහි දී මතක තබාගත යුතු කරුණක් වන්නේ සිතෙන් ‘දිග’ ‘කෙටි’ යැයි කියවීමක් අවශ්‍ය නොවන බවයි. මෙම සූත්‍ර පාළියේ සඳහන් වන්නේ ‘පජානාති’ යනුවෙන් වේ. එහි අදහස වන්නේ ‘නුවණින් දැනගන්නේය’ යන්නයි. එබැවින් නුවණින් යුතු සිහියෙන් දැනගැනීම පමණක් කළයුතු වේ. එවිට සිහිය හුස්ම කෙරෙහි වඩාත් තියුණු කරගත හැකි වේ. මෙසේ ආශ්වාස-ප්‍රශ්වාසයන් නුවණින් දැනගැනීමෙන් ඒ යෝගාවචරයාට කායානුපස්සනා සතිපට්ඨානය සමෘද්ධ වේ.
    මෙහි දී පටිසම්භිදා මග්ගපාලියේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ආශ්වාස-ප්‍රශ්වාස දැනගන්නා භාවනා විධිය ආකාර නවයකින් (9) දැක්වේ.
    1. දීර්ඝ ආශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස කරයි.
    2. දීර්ඝ ප්‍රශ්වාසය දීර්ඝ කාලයෙහි ප්‍රශ්වාස කරයි.
    3. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය දීර්ඝ කාලයෙහි ආශ්වාස ද ප්‍රාශ්වාස ද කරයි.
    4. එසේ කරන කල්හි කත්තුකම්‍යතා කූශලච්ඡන්දය උපදී.
    5. ඡන්ද වශයෙන් තවදුරටත් සියුම් වූ දීර්ඝ ආශ්වාසය, ආශ්වාස කරයි. දීර්ඝ ප්‍රාශ්වාසය, ප්‍රාශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය, ආශ්වාස-ප්‍රාශ්වාස කරයි.
    6. එසේ කරන කල්හි ප්‍රමෝද්‍යය හෙවත් තරුණ ප්‍රීතිය උපදී.
    7. ඒ ප්‍රමෝදය වශයෙන් තවදුරටත් සියුම් වූ දීර්ඝ ආශ්වාසය, ආශ්වාස කරයි. දීර්ඝ ප්‍රාශ්වාසය, ප්‍රාශ්වාස කරයි. දීර්ඝ ආශ්වාස-ප්‍රාශ්වාසය, ආශ්වාස-ප්‍රාශ්වාස කරයි.
    8. එසේ කරන කල්හි ආශ්වාස-ප්‍රාශ්වාසයන් තවදුරටත් ඉතා සියුම් වී සිත ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙන් නවතී.
    9. තත්‍ර මධ්‍යස්ථතා උපේක්‍ෂාව පිහිටයි.
    යනුවෙනි. මේ ආකාරයෙන් කෙටි හුස්ම රැල්ල ද දැනගත යුතු බව දැක්වේ.
    මෙහි දී සරලව පැහැදිලි කරන්නේ නම් ආනාපානසති භාවනාවේ යෙදෙන තැනැත්තා තමන්ගේ නාසිකා අග හුස්ම රැල්ල ගැටෙන තැන සිත තබාගෙන, පළමු කී ආකාරයට හුස්ම රැල්ලේ සාමාන්‍ය දිග මෙනෙහි කරගත යුතු වේ. දිග, කෙටි වශයෙන් වචනයෙන් මෙනෙහි කිරීමකින් තොරව හුස්ම රැල්ල දිග, කෙටි වශයෙන් නුවණින් දැනගැනීම පමණක් කළයුතු වේ.
    එසේ හුස්ම රැල්ල නාසිකා අග පවතින කාලය කෙරෙහි අවධානය යොමු කරගෙන සිහිය වැඩි කිරීමේ දී සිත කෙමෙන් සමාධිමත් වීම නිසා බොහෝ වේලාවක් භාවනා කළ හැකි පරිදි භාවනාවට රුචිය වැඩි වේ. එවිට ඒ රුචියෙන් යුතුව බොහෝ වේලා එකම ඉරියව්වෙන් භාවනා කළ යුතු වේ. එවිට තවදුරටත් සිත සමාධිමත් වී භාවනා බලයෙන් කයේ දරදඬු ගති සැහැල්ලු බවට පත් වේ. එවිට හුස්ම රැලල් සියුම් වීම සිදු වේ. මෙය උදාහරණයකින් මෙසේ පැහැදිලි කරගත හැකි වේ.
    කිසියම් බරක් ඔසවාගෙන කන්දක් නැගීම වැනි අපහසු කටයුත්තක නිරත වන පුද්ගලයාගේ කය දරදඬු බවට පත් ව දැඩි වේ. ඒ දැඩි බව නිසාම හුස්ම වඩාත් ඕළාරිකව පවතී. සමහර විට නාසය ප්‍රමාණවත් නොවී මුවින් ද හුස්ම ගනී. එහෙත් ඒ බර බිමින් තබා, සිරුර සිසිල් රෙදි කඩකින් පිස දමාගෙන, රුක් සෙවනක දිගා වී ගිමන් හැරීමෙන් ඒ ඕළාරිකව අපහසුවෙන් ඉහළ පහළ ගිය හුස්ම රැල්ල වඩාත් සියුම් වේ. තමා හුස්ම ගන්නේ ද යන්න පවා නොදන්නා තරමට පත් වේ.
    මෙසේම ආනාපානසති භාවනාව සිදු කිරීමේ දී කයේ දැඩි බව අඩු වීමත් සමඟ සිත ද සැහැල්ලු බවට පත් වී හුස්ම රැල්ල සංසිඳේ. සියුම් වේ. ඒ සියුම් හුස්ම දෙස තවදුරටත් අවධානය යොමු කරන විට තවදුරටත් සිත-කය දෙකම සංසිඳීමට පත්ව සිතේ තරුණ ප්‍රීතිය හෙවත් ප්‍රමෝද්‍යය ඇති වේ. ඒ ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් තවදුරටත් හුස්ම රැල්ල කෙරෙහි අවධානය තියුණු කිරීමේ දී හුස්ම රැල්ල අතිශයින් සියුම් වී, නොවැටහෙන කල්හි සෙවිය යුතු ආකාරයකට පත් වේ. එසේ අතිශයින් සියුම් වීමෙන් හුස්ම රැල්ල කෙරෙන් සිත නතරව තත්‍රමධ්‍යස්ථතා උපේක්‍ෂාවේ සිත පිහිටයි. සිත හැකිලීම ඇති කරවන උකටලී බවෙන් ද විසිරීම ඇති කරවන වීර්යාධික බවෙන් ද තොරව මැදහත් බවට පත් වේ. මෙසේ කායානුපස්සනා සතිපට්ඨානය සමෘද්ධමත් වන බව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දැක්වූ සේක.
     
    • Like
    Reactions: NRTG

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සබ්බකාය පටිසංවේදී’ යනු කුමක් ද?
    සිත නිවන ආනාපානසති භාවනාව –
    හයවන කොටස (06)
    ආනාපානසති භාවනාව වැඩීමේ දී තමාගේ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය තියුණු කරගෙන හුස්ම රැල්ල නාසිකාග්‍රයේ පවතින කාලය හෙවත් ‘දිග බව’ හෝ ‘කෙටි බව’ සිහි කරගතයුතු ආකාරය පැහැදිලි කරන ලදී. එසේ හුස්ම රැල්ලේ දිග, කෙටි බව කෙරෙහි අවධානය දියුණු වූ යෝගාවචරයා මීළඟට නුවණින් යුතුව සමස්ථ ආශ්වාස-ප්‍රාශ්වාසය කෙරෙහි සිහිය වැඩි කරගත යුතු වේ. ඒ බව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
    ‘සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති.’
    සියලු ආශ්වාස කය නුවණින් ප්‍රකට කරගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රාශ්වාස කය නුවණින් ප්‍රකට කරගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙයි.
    මෙහි ‘කාය’ වචනයෙන් ආශ්වාස-ප්‍රාශ්වාස කය හෙවත් හුස්ම රැල්ල ම අදහස් වේ. ඒ අනුව නාසිකාග්‍රයේ ගැටෙමින් ඉහළට ගන්නා හුස්ම රැල්ල ද පහළට හෙළනා හුස්ම රැල්ල ද සමස්ථය නුවණින් ප්‍රකට කරගත යුතු බව මින් අදහස් වේ.
    මෙහි දී ‘කාය’ යන වචනය වරදවා වටහාගෙන ඇතැම් භාවනා ඇදුරුවරු සමස්ථ රූපකය දෙස සිත යොමු කළයුතු බව කියති. එහෙත් එය බෞද්ධ භාවනා ක්‍රමයට විරුද්ධ වේ. එබැවින් මෙහි දී මතක තබාගත යුතු කරුණක් වන්නේ සිත නාසිකාග්‍රයෙන් ඉවතට නොගත යුතු බවයි. නාසිකාග්‍රයේ පමණක් (ඇතැම් කෙනෙකුගේ නාසය උඩට හැරී ඇති නම් උඩු තොලේ ද හුස්ම ගැටේ. එවිට එතැන සිත තබාගත යුතු වේ) සිත තබාගෙන එතැනින් ඇතුළුවන සහ පිටවන හුස්ම කෙරෙහි සිහිය තබාගැනීමෙන් ධ්‍යාන මට්ටම් දක්වා සිත දියුණු කරගත හැකි වේ. එසේ නොකර සිරුර ඇතුළට සිත මෙහෙයවීමෙන් ධ්‍යාන ඉපදවීමක් කළ නොහැකිව සිත විසිරෙන බව සඳහන් වේ.
    මෙසේ සියලු ආශ්වාස-ප්‍රාශ්වාස කය පිළිබඳ නුවණින් බලා සිටින ආකාරය විශුද්ධිමාර්ගයේ මෙසේ සඳහන් වේ.
    ‘සකලස්ස අස්සාසකායස්ස ආදිමජ්ඣපරියොසානං විදිතං කරොන්තො පාකටං කරොන්තො අස්සසිස්සාමීති සික්ඛති. සකලස්ස … පස්සසිස්සාමීති සික්ඛති. එවං විදිතං කරොන්තො පාකටං කරොන්තො ඤාණසම්පයුත්තෙන චිත්තෙන අස්සසති චෙව පස්සසතිච’
    සියලු ආශ්වාස කයේ මුල, මැද, අග ප්‍රකට කරගනිමින් ආශ්වාස කරන්නෙමි යැයි හික්මෙයි. සියලු ප්‍රාශ්වාස කයේ මුල, මැද, අග ප්‍රකට කරගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි යැයි හික්මෙයි. මෙසේ ප්‍රකට කරගනිමින් ඤාණසම්ප්‍රයුක්ත සිතින් ආශ්වාස ද ප්‍රාශ්වාස ද කරයි.
    ඒ අනුව හුස්ම රැල්ලේ මුල, මැද, අග යන තුන් තැන් ම නුවණින් ප්‍රකට වන සේ සිහිය වැඩි කරගත යුතු බව මින් අදහස් වේ. එනම් හුස්ම රැල්ලේ කිසිදු කොටසක් නුවණින් තොරව සිහි නොකළ යුතු බව යි. හුස්ම ඉහළට ගැනීමේ දී නාසිකා අග ස්පර්ෂය ආරම්භ වූ මොහොතේ පටන් එය අවසන් වීම දක්වාම ද, පහළට හෙළීමේ දී ද නාසිකා අග ස්පර්ෂය ආරම්භ වූ මොහොතේ පටන් අවසන් වීම දක්වාම ද නුවණින් යුතුව බලා සිටිය යුතු බවයි.
    මෙහි දී මුල, මැද, අග යන්නෙන් හුස්ම රැල්ල පවත්නා වූ, පිහිටන්නා වූ මුල, මැද, අග යන ස්ථානයන් අදහස් නොවේ. පිටතට හෙළන හුස්ම රැල්ලේ මුල නාභිය ලෙසත්, මැද හෘදය ලෙසත්, අග නාසිකාග්‍රය ලෙසත්, ඉහළට ගන්නා හුස්ම රැල්ලේ මුල නාසිකාග්‍රය ලෙසත්, මැද හෘදය ලෙසත්, අග නාභිය ලෙසත් හින්දු භාවනා ක්‍රම වල ඉගැන්වේ. ඇතැම් භාවනා ඇදුරුවරු මෙම හින්දු භාවනා ක්‍රමය සමඟ පටලවාගෙන බෞද්ධයන්ට ද ආනාපානසති භාවනාව කියා දීමේ දී මෙම ක්‍රමය අනුගමනය කළයුතු බව කියති. එහෙත් එයින් සිතේ සමාධිය බිඳේ. සිත වික්‍ෂිප්ත බවට පත්වේ. සිත දරදඬු වෙයි. කමටහන සැලීමට පත්වේ. එවිට ධ්‍යාන සිතක් උපදවාගැනීම කළ නොහැකි වේ. මේ පිළිබඳ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පටිසම්භිදාමග්ගපාලියේ මෙසේ දේශනා කරති.
    ‘අස්සාසාදිමජ්ඣ පරියොසානං සතියා අනුගච්ඡන්තො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතාච ඵන්දිතා ච. පස්සාසාදිමජ්ඣ පරියොසානං … ඉඤ්ජිතාච ඵන්දිතා ච.’
    ආශ්වාස මුල-මැද-අග සිහියෙන් අනුව යන්නා වූ යෝගියාගේ ආධ්‍යාත්මයෙහි වික්‍ෂිප්තයට ගිය සිතින් කයත් සිතත් (මහත් කැළඹීමෙන්) දරදඬු බවට ද කම්පිතව සැලීමට ද වෙයි. ප්‍රශ්වාස මුල-මැද-අග සිහියෙන් අනුව යන්නා වූ යෝගියාගේ බැහැර අරමුණේ වික්‍ෂිප්තබවට ගිය සිතින් කයත් සිතත් දරදඬු බවට ද කම්පිතව සැලීමට ද වෙයි.
    එබැවින් මෙය හුදු අපගේ අදහසක් නොව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් වේ. එසේම බුද්ධඝෝෂාචාර්යතුමන් විසින් විශුද්ධිමාර්ගයේ දී අවධාරණය කරන ලද්දක් ද වේ. එය පැහැදිලි ය. යම් කෙනෙක් තමන්ගේ හුස්ම රැල්ල අනුව සිත සිරුර ඇතුළට ගෙන යාමේ දී එක් අරමුණක සිත සමාධිමත් නොවේ. එක් අරමුණක බොහෝ වේලාවක් සිත තබා නොගැනීමෙන් සිත සන්සිඳීමකට පත් නොවේ. සමථ වශයෙන් සිතේ වැඩීමක් සිදු නොවේ. සිත වික්‍ෂිප්ත බවට පත්වේ. නොයෙක් අරමුණු වලට සිත මාරු වීමේ දී ඇති වන මෙම වික්‍ෂිප්ත බව නිසා කයත් සිතත් දෙකේ කර්මණ්‍ය බව නැති වී දරදඬු වේ. ඇතැම් අය ආනාපානසති භාවනාව කිරීමේ දී සිරුර සැලෙන බව, වැනෙන බව ආදි ඇතැම් චෝදනා කරන්නේ මෙම වරදවාගැනීම් නිසා වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට නිවැරදිව භාවනාව සිදු කරන්නේ නම් ඉතා ඉක්මනින් ධ්‍යාන මට්ටමක් දක්වා සිත දියුණු කරගත හැකි වේ.
    නාසිකා අග පමණක් සිත තබාගෙන එතැනින් ඉහළට ගන්නා වාතය ද පහළට හෙළනා වාතය ද අරමුණු කරගෙන සමස්ථ හුස්ම රැල්ල ම නුවණින් ප්‍රකට කරගැනීම මෙම පියවරේ දී පැහැදිලි කරන ලදී. එහි දී සිත පවත්වාගත යුතු ආකාරය පිළිබඳ විශුද්ධිමාර්ගයේ ද පටිසම්භිදාමග්ගපාලියේ ද උපමා කිහිපයකින් විස්තර කෙරේ. ඒ සියල්ලෙන්ම අවධාරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නාසිකා දොරටුවේ පමණක් සිත තබාගෙන සමස්ථ හුස්මරැල්ල අරමුණු කරන ආකාරයයි. ඒ පිළිබඳ මීළඟ ලිපියෙන් පැහැදිලි කෙරේ.
    එබැවින් බෞද්ධ භාවනා ක්‍රමයේ දැක්වෙන ආකාරයට නාසිකා අග හුස්ම ගැටෙන තැන පමණක් සිත තබාගෙන සමස්ථ හුස්මරැල්ල ම නුවණින් ප්‍රකට කරගනිමින් හුස්ම ඉහළට ගැනීමත් පහළට හෙළීමත් කළයුතු වේ.