ආයෙමත් හෝම්ස්

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    sherlock-holmes-basil-rathbone.jpg



    දවසේ වීරයා බවට පත්වී සිටියේ ඔහුය. කිසිවෙකු එතෙක් මෙතෙක් දැක නැති තාලයේ අමුතුම චරිතයකි.

    කා සමඟවත් කතා බහක් නැත.වටපිටද නොබලයි.එක්කෝ අහසත් පොළවත් ගැට ගැසීමට හැකි ක්‍රම විශ්ලේෂනය කරමිනි.නැතිනම් යහනාවක් බවට පෙරළාගන්නා පුටුවේ දිගා වී කකුල් දෙකම පොළොවට සමාන්තර කර බවුන් වඩමිනි.

    මෙවැනි අසාහය චරිතයකට පණ පොවන්නේ වෙන කවරෙකුවත් නොව අප සමඟ එක පාසලේ එක පන්තියක "ඉගෙනීමට " පැමිණි අලුත්ම සාමාජිකයාය.

    ඔහු සිහින්ය,උසය.තට්ටය පෙනෙන නොපෙනෙන දුරට කැපූ කොණ්ඩයකි.පෙනුම ෂාරුක්ටවත්,බේකම්ටවත් අඩුම ගානේ මර්වින් සිල්වාටවත් සමාන කිරීමට උත්සහ කොට නැත.ඇත්තේ ලංකාවේ පළමු තේ පැළය හිටවූ යුගයේ පුද්ගලයෙකුගේ පෙනුමය,විලාසිතාය.කොටින්ම කියතොත් ඔහු වෙන කවරෙකුවත් නොව ඔහුමය.

    ප්‍රසිද්ධ නමක් නැති ඔහුට, "ඔහු" යන සර්ව නාම පදයෙන් ආමන්ත්‍රණය කිරීම අපේ පන්තියේ සිටි අයට ටික දවසකින් එපා වූ සේම ,මෙම "කතාවේ""රචකයා" වන මටද දැන් එය එපා වී ඇත. ප්‍රශ්නයට පිළියමක් වශයෙන් අලුත් නාමකරණයක් යෝජනා විය. "හෝම්ස් "....කිසිම අර්ථයක් ,සාරයක් නැති නමකි (අනීවාරතේ නමකි).ඉංග්‍රීසියෙන් "හෝම්" යන වචනයෙන් "ගෙයක් "ගැන කියවෙන වගත් "හෝම්ස්" යනු එහි බහු වචනය බවත් පැවසීමට ශබ්ද කෝෂයක් පෙරළීමට අවශ්‍ය නැත.
    නමුත් මගේ මිතුරන්ගේ මතය වුයේ වෙනමම එකකි.එක්දහස් අටසිය ගණන්වල "හෝම්ස් "නමින් රහස් පරීක්ෂකයෙක් සිටියේලු !.ඇත්තටම නොසිටියේලු.එය මන:කල්පිත චරිතයකි."ඔහුගේ "පෙනුමත් හැසිරීමත් හෝම්ස්ට සමානලු ..ලු....ලු....ලු...

    මේ නමට ඔහුගේ (හෝම්ස්,පවිත්‍ර හෝම්ස් ...)ප්‍රතිචාර කෙබඳුදැයි බැලීමට අපි පරීක්ෂණයක් සැළසුම් කළෙමු.පරීක්ෂණයෙන් ලැබුනේ කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රථිපලය.ඇපල් ගෙඩියක් බිම වැටෙනවා දුටු නිවුටන් සිතූ මනස්ගාත විශ්වාස කළ හැකිය.අකුණු ගසන වෙලාවක සරුංගල් යැවූ ඔහු (නම මතක නැත ) කිවූ දේ විශ්වාස කළ හැකිය.නමුත් මොහු ? .හෝම්ස් යන නම කන් බෙරය ස්පර්ශ කළ මොහොතේම "පවිත්‍ර හෝම්ස් " ගැහැණු ළමයෙක් වැඩිවියට එළඹෙන්නාක් මෙන් විකසිත විය.
    දෑස පොපියන්නට විය.කම්මුල් රතු විය.අපි පළමු වතාවට ඔහුගේ දත් දෙපළ දුටුවෙමු.

    "හෝම්ස්" යන නම ආදරයෙන් පිළිගෙන මලක් සේ විකසිත වූ පවිත්‍ර ඒ මල පර නොකොට මුලු පන්තියම සුවඳවත් කළේය.නමුත් එම සුවඳ පන්තියේ කා හටවත් එතරම් ප්‍රිය මනාප එකක් නොවීය.කොටින්ම ඔහු හා ආශ්‍රය කිරීමට සූදානම් කිසිවෙක් තවමත් නැත!.එකම ඉරියවුවකින්, එකම තැනකට වී හාවක් හූවක් නැතිව බලාගත් අතම බලා සිටින මේ ආකාරයේ පුද්ගලයන් කොහෙත්ම "හොමෝ සේපියන් " ගණයට අයත් නොවන වග බයෝ පන්තියක නොසිටි අපටද හොඳින්ම දැනුනු කාරණාවකි.

    අප ජීවත්වන මේ ත්‍රිමාන ලෝකයේ හොඳම විහිලුකාරයා දෛවයයි.එකී දෛවයාගේ ඇස් රතු වන විහිලුවකට වාසනාවට හෝ අවාසනාවට මුහුණ දීමට මටද සිදුවිය.

    .............................................................................

    එය ඇත්ත වශයෙන්ම සිදුවූයේ අහම්බෙනි.ඒ දෛවෝපගත දිනයේ මම එක් දිශාවක සරල රේඛීය චලිතයක යෙදෙමින් සිටියෙමි.ඊට හරියටම ප්‍රතිවිරුද්ධ දිශාවේ පවිත්‍ර හෝම්ස් චලනය වී ඇති බව මට පසක් වන විට සිදු නොවිය යුතු දෙයක් සිදුවී අප දෙදෙනාම බිම වැටී සිටියෙමු.මා අත තිබූ පොත් මිටිය සී සී කඩ විසිරී තිබිණ.

    අපි දෙදෙනාම බිම දණ ගසා ගත්තෙමු.එක් මොහොතකට දෙදෙනාගෙම ඇස් එකිනෙකට සමපාත විය.මම ඔහුගේ ඇස්වල කාන්තිය රිසිසේ විඳගත්තෙමි.එකම මොහොතකදී එකම පොත අහුලාගැනීමට උත්සහ කිරීම නිසා එක නිමේශයකට අපගේ ඇඟිලි තුඩු එකිනෙක ස්පර්ශ විය.(හින්දි චිත්‍රපටයක ජවනිකාවක් මෙන් පෙනුනද ඇත්ත වශයෙන්ම සිඳුවූයේ මෙවැනි සිද්ධියකි ).

    "සමාවෙන්න මිත්‍රයා",කතාව ඇරඹුවේ ඔහුය.

    ඒ වන විටද අපගේ අත් එකිනෙක ස්පර්ශ වී තිබිණ.ඔහු මගේ අත "පෙරළ පෙරළා "බලන්නට විය.
    මම විලිබියෙන් වටපිට බැලුවෙමි!.වාසනාවට පෙනෙන දුරක කවරෙකුවත් නැත.

    "සමාවෙන්න මිත්‍රයා ඔබේ ගමන ප්‍රමාද කළානම්,මම කියන්නේ ඔබේ ක්‍රිකට් පුහුණුවීම ගැන"දෙවන වාක්‍යයත් ඔහුගෙනි.පරණ නවකතාවක දෙබස්!

    "හැහ් ,ක්‍රිකට් ක්‍රි..ක්‍රි ?"මට පෙර මගේ කට ඉස්සර විය.

    "ඔව් ක්‍රිකට්..මොකද මිත්‍රයා පුදුමයෙන් වගේ?"

    ලෙහෙසියෙන් කට නාරින පුද්ගලයන් කට ඇරිය විට කියවන මනස්ගාත !

    "ක්‍රිකට් මේ මම?"

    "එක බොහොම සරල දෙයක් මනුස්සයෝ.මෙතනින් ඉඳගෙන කතා කරමු නිවී හැනහිල්ලේ ,ප්‍රමාද නැත්නම් "

    මේ වන විටත් අප සිටියේ බිමය.සිතේ තෙරපෙන්නට වූ දැඩි කුහුල නිසාම මම පවිත්‍ර හෝම්ස් සමඟ එක බංකුවක හිඳගත්තෙමි.

    "අපේ ඇස් වලට පේන හැම දේකම ,පේන දේට වඩා නොපෙනෙන දේ වැඩියි.ඒවා දැන ගන්න හොඳ නිරීක්ෂකයෙක් වෙන්න ඕනෑ.බොහොම සියුම් නිරීක්ෂණ වලින් ඇදහිය නොහැකි නිගමනවලට එළඹිය හැකියි "ඔහු දේශනය ඇරඹුවේය.නමුත් අවසන් නොකළේය.

    "හැම වස්තුවකටම ඊට ආවේණික ස්වාභාව,ගතිගුණ තියෙනවා.මිනිසුන්ටත් එහෙමයි."

    බංකුවේ ඉඳගැනීමෙන් මා කළ වැරැද්ද ගැන පසුතැවිල්ලෙන්ම ,හිතට නැගුණු අවංක අදහස් මම ඔහුට ඉදිරිපත් කළෙමි.

    "බොරු කියන්නෙ මොකටද මටනම් ඕවා තේරෙන්නේ නෑ"

    "ඒක ඔබට විතරක් අදාළ දෙයක් නෙවෙයි .අපි උදාහරණයක් ගනිමු.මම කිවුවොත් මිනිහෙක්ගේ අත් දිහා බලලා එයාගේ රැකියාව ගැන කියන්න පුලුවන් කියලා?මුද්ද දිහා බලලා පවුල් ජීවිතය ගැන කියන්න පුලුවන් කියලා?"

    ඊට පිළිතුරක් දීම ලෙහෙසිය ."බෑනේ?"

    "ඔන්න වරද්දගන්න තැන.ඔබ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන වගත්,අද උදෑසන වැස්සේ කැළණිය ප්‍රදේශය හරහා ආ බවත් නිරීක්ෂණය කිරීමට මට ගතවූවේ මිනිත්තුවක් පමණයි"

    මගේ ඇස් දෙකත් ,කටත් එකවර ප්‍රසාරණය විය.කොටින්ම භාෂා විලාශය පවා වෙනස් විය."ඔබ කෙළෙසද එසේ පවසන්නේ මිත්‍රයා?"

    "බොහොම සරලයි,නිරීක්ෂණ තුළින් නිගමන වලට.ඔබේ සපත්තුවේ දාරය වටා තැවරී ඇති මඩ දෙස බලන්න මිත්‍රයා.එවැනි රතු දුඹුරු පැහැ,කැට සහිත පස් ඇත්තේ කැළණියේයි"
    මට සිද්ධිය පැහැදිලි විය.ඔහුටද පැහැදිලි කරවූවෙමි.

    "මේක මගේ සපත්තු දෙක නෙවෙයි! "

    එවර ප්‍රසාරණය වූයේ ඔහුගේ කටය.

    "හෙට වෙඩින් එකක්.ඒකට යන්න යාලුවෙක්ගෙන් ඉල්ලගතේ ,අද දවල් "

    "ආ..ආ..ඒකත් එහෙමද ?"නවකතා දෙබස් නැත!.

    "එතකොට අර ක්‍රිකට් ප්‍රැක්ටිස් කතාව?"මම කල දුටු කල වල ඉස්සෙමි.

    "බලන්න ඔබේ වම් අතේ මැණික් කටුව වටා තිබෙන සුදුමැලි වී ඇති දාරය.මෙවැනි සළකුණක් ඇති විය හැක්කේ අත් වැසුම් පැළඳීමෙන් පමණයි. පාසල් ශිෂ්‍යයෙක් අත් වැසුම් පැළදිය හැක්කේ කුමකටද?නිසැකයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදී විය යුතුයි "

    මම කිසිත් නොකියා දකුණු අතද ඔහුට දිගු කළෙමි.එහි මැණික් කටුවේ එවැනි සළකුණක් නොවීය.
    "ඔය දාරයක් ආවේ කාලයක් බ්‍රෙස්ලට් එකක් දාගෙන ඉඳලා.ඒක අද උදේ යාලුවෙක් ඉල්ලගත්තා අර වෙඩින් එකටම යන්න, "

    අහම්බෙන් IPL තරඟයක මහේල ජයවර්ධන තැඹිලි පාට ඇඳුමකින් සිටිනු දැක "දැන් ලංකා ටීම් එකේ යුනිෆෝම් වෙනස් කරලාද "කියා ඇසූ මට මොන ක්‍රිකට්ද යන කරුණ පවිත්‍ර හෝම්ස්ගේ නිරීක්ෂණවල අසු නොවීය !!

    පවිත්‍ර හෝම්ස් මා දෙස බලා කී පළමු "සාස්තරයට" පරීක්ෂාකාරී ලෙස මුහුණ දී "ජාමේ " බේරාගත්තද ,එය මේ සිද්ධිවල අවසානය නොවීය.ඔහු දිගින් දිගටම මගේ අත පය ,මුහුණ,කට, තෙරපමින්,පිරිමඳිමින්,හූරමින් අනීවාරතේ කාලය ගතකරන්නට විය.එක පැයක් තුළදී මම දියවැඩියා රෝගියෙක් ,යුධ සිරකරුවෙක් ,පත්තරකාරයෙක් වීමි.ඔහු මගේ බෙල්ලේ උපන් ලපයක් දෙස බලා මගේ උපන් ස්ථානය කීවේය.රදනක දතක් දෙස බලා අක්කාගේ වයස කීවේය.(මට අක්කා කෙනෙක් නැත ) .මේ සියලු "විගඩම් " අවසානයේ මම ඇත්තම උන්මන්තකයෙක් වීමි.නමුත් එවිටත් ඔහු කීවේ මගේ මොළයේ පළල අනුව මා මහා බුද්ධිමතෙක් විය යුතු බවයි.

    කෙසේ වුවද මේ "ඇඟ බලා සාස්තර කීමේ ක්‍රමය " ගැන මගේ හිතේ පහළ වූවේ ලොකු කුතුහලයකි.මම මේ ගැන පවිත්‍රගෙන් විමසූ කල ඔහු දිග හෑල්ලක් මා ඉදිරියේ දිගහැරියේය.ඒ හෑල්ලේ හැමතැනකම පාහේ "හෝම්ස්' යන වචනය තිබූ බැවින් මම හෝම්ස් ගැන විමසුවෙමි .එහි ප්‍රතිඵලය වූයේ තවත් දිග හෑල්ලකි !. මම මගේ ලෝකයක තනිවී ඔහු දෙසම බලා සිටියෙමි.තව තවත් හෑලි මා පසුකරමින් මටත් නොකියාම පිටව ගියේය .ගඟට ඉනි කැපීම නිශ්ඵල ක්‍රියාවක් බව ඔහුට තවමත් වැටහී නැත්තා සේය.

    ටිකකින් පවිත්‍ර පුටුවේ ඇළ වී, දිග හැරි දෙපා තවත් පුටුවක් මත තබා ගත්තේය.ඉන්පසුව සාක්කුවෙන් එළියට ගත්තේ වෙන කිසිවක් නොව පරණ "දුම් පයිප්පයකි"!. "එන පොට " එතරම් ශරීර සුවදායක නොවන බව මට යන්තමින් වැටහුණි.

    ඔහු හිස් පයිප්පය උරන්නට විය !

    "ලන්ඩන් වල බ්‍රැඩ්ලෝ සාප්පුවේ වගේ හොඳ දුම්කොළ මෙහෙ නෑ.ඉතින් මෙහෙම හොඳයි " පවිත්‍ර "මනෝමයෙන් "කටින් දුම් පිටකළේය .

    "හැහ්...ලන්ඩන් ? බ්‍රැඩ්ලෝ ?" මම ඒ "මනෝ "දුම් පාර වැළැක්වීමට නාසය වසාගනිමින් ඇසුවෙමි .
    "ඔබ බ්‍රැඩ්ලෝ සාප්පුව ගැන දැන ගන්න කිසිම මාර්ගයක් නෑ මගෙ මිත්‍රයා.ඒක ෂර්ලොක් හෝම්ස්ගේ සිත්ගත් දුම්කොළ විකුණපු තැනක්."

    මට අද සිහිනෙන් පවා "හෝම්ස්"යන නම ඇසෙනු ඇත.ඒ තරමටම පවිත්‍ර මගේ මොළය සෝදා තිබේ .නමුත් මට මෙය හරිහැටි වටහාගැනීමට වුවමනා විය."මම මේ නිකන් අහන්නේ මොකද ඔච්චරම කියවන්නේ හෝම්ස් ගැන?"

    පවිත්‍ර දැහැනකට සමවැදිනි.ඔහුගේ අඩක් වැසුණු ඇස් පිහාටු තුළින් පෙනුණු ඇස් දීප්තිමත්ව බබලන්නට විය.

    "ෂර්ලොක් හෝම්ස් කියන්නේ මගේ මේ පුංචි ලෝකයේ වීරයෙක්. මම කන්නෙත් ,බොන්නෙත් ,ඇවිදින්නෙත් ,හිතන්නෙත් ඔහුත් සමඟ.ඔහු හිතන ,පතන ඕනෑම දේකට මම එකඟයි.ඔහු හරිම තර්කානුකූලයි,අවංකයි. ඔහු,ඔහුගේ,ඔහුට....ඔහු,ඔහුගේ,ඔහුට ....ඔහු,ඔහුගේ,ඔහුට” මට නැවතත් අර පරණ හින්දි චිත්‍රපටියේ ප්‍රේම ජවනිකාවක් සිහිපත් විය.

    “මට සමහර වෙලාවල හිතෙනවා මම ෂර්ලොක් හෝම්ස් කියලා !!”

    "ඔය හෝම්ස් කියන හාදයා ඇත්තටම ඉඳලා නෑලු නේද?" ඒ මමය.

    "ඔහු මගේ ලෝකයේ ජීවමානයි." ඒ ඔහුය.

    ඉන්පසුව මගේ දෙකන් තුළින් දීර්ඝ පොත් ලැයිස්තුවක් හමා ගියේය.
    වික්‍රමය...අභිරහස....රහස.....අනාවරනය....සොයාගැනීම...
    "මම මගෙ මිත්‍රයාට මේවායින් කිහිපයක් ගෙනත් දෙන්නම්."

    මම නොදැනුවත්කමින් හිස සැළුවෙමි.

    සංවාදය අවසන් විය.

    පවිත්‍ර ඔහුගේ ගෙදර ගියේය
    මම මගේ ගෙදර ගියෙමි.
    පවිත්‍ර පසුදින පාසල් ආවේ නැත.
    මම පසුදින පාසල් ගියෙමි.
    පවිත්‍ර තවමත් හෝම්ස්ය
    මම තව දුරටත් "මම" නොවීමි.
    අලුත් නාමකරණයකි
    මම දැන් "දොස්තර වොට්සන්ය".!!!

    -
    මතු සම්භන්ධයි :angry:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙය නම් සුළුවෙන් තැකිය නොහැකි නින්දාවකි."වොට්සන් ?නිකන්ම නිකන් නෙවෙයි, දොස්තර වොට්සන්!!"

    මෙතෙක් පන්තිය තුළ මා ගොඩ නඟාගෙන උන් නොකැළැල් අභිමානය "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය මෙන් " සිඳී යන බව මට කීවේ බොරු නොකියන හොඳ මිතුරෙකි ."ආගන්තුකයෙක් " හා කතා බස් කිරීමේ විපාක හොඳ හැටි විඳිනා මම , එක් වරක් නොව සිය වරක් ඇඟේ හැපී වැටුණද කොටින්ම අතක් පයක් කඩාගත්තද නැවත පවිත්‍ර හෝම්ස් දෙස නොබැලීමට ඉටා ගතිමි.

    කෙසේ කුමක් කීවද ඇත්ත වශයෙන්ම මේ ෂර්ලොක් හෝම්ස් කියන හාදයා ගැන මගේ හිතේ ඇතිවී තිබුනේ දැඩි කුතුහලයකි.වාසනාවට හෝ අවාසනාවට ෂර්ලොක් හෝම්ස් කතාවක් කියවීමට තරම් එම කුතුහලය මා ඉදිරියටම "දැක්කුවේය".අනෙක් වාසනාවන්ත හෝ අවාසනාවන්ත සිද්ධිය වූයේ මා එයට ඇළුම් කිරීමයි!!.පවිත්‍රගේ "අනුකාරක රංගනය " හොඳින් පැහැදිලි විය.මගේ අලුත් නාමකරණයට හේතුවත් හොඳින්ම පැහැදිලි විය.පැහැදිලි නොවූ එකම දේ පවිත්‍රගේ හිතේ හෝම්ස්ට ඇති ආදරයයි.

    දෛවයේ කුරිරු සරදම (අංක දෙක )

    මම කොළඹ අතරමං වීමි.!!කුමන මොහොතක කෙසේ වූවාදැයි නොදැන,එක්වරම නන්නාදුනන පෙදෙසක තනිවූ බව පැවසීම, ලැජ්ජාව හොඳහැටි අදුරන මට උඩ බලාගෙන කෙළ ගසාගැනීමක් වුවත්, පාඨකයාට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළ යුතු නිසා (ස්වාධීන රූපවාහිනියේ මෙන් ) මෙසේ ලියමි/ටයිප් කරමි.

    ලවු කරන්න උත්සහ කරමින් සිට හදිසියේම වියෝ වූ “ෆෝන් එකේ බට්ටිට” සාප කරමින්,පසුම්බියේ දඩ කොළ,බස් ටිකට් මැද රුපියල් දහයක් හෝ සොයාගැනීමට වෙර දරා අසාර්ථක වූ තැන "අඳුරන "දේව දූතයෙක් හෝ මුණ ගැසේවීය යන බලාපොරොත්තුවෙන් මම පදික වේදිකාවේ ඔබ මොබ ඇවිද්දෙමි
    කතාවේ ඉතිරි කොටස ඔබ මේ වන විටත් අනුමාන කර ඇති බව මම දනිමි .

    අනුමාන අංක 1-පාරේ වැටී තිබෙන රුපියල් 100ක් දැකීම.
    අනුමාන අංක 2-ලවු නැති බට්ටියක් හමුවීම.
    අනුමාන අංක 3-ඇහැරීම.

    නැත.මට පවිත්‍ර හෝම්ස් මුණගැසින!!.සියළු තරහ මරහ අමතක වී සැබෑ මිත්‍රත්වය ඉස්මතු විය. මා ගුණමකුවෙකුයයි යයි නොසිතුවාට ඔබට ස්තූතියි.සුළු මොහොතකින් "නව දේව දූතයාගේ" දේව වදන් මට ඇසෙන්නට විය.

    "හා පුදුමාකාර හමුවීමක්.මිත්‍රයා මොකද මෙහෙ කරන්නේ?"

    " මමද? මම මේ ....මම...ටවුන් හෝල් යනවා.මේ ළඟ පාත නේද?මට හොඳට මතකයි මේ හරියේ තමා"

    "ටවුන් හෝල්?...හහ් හහ් හහ් මිත්‍රයා ඔබ හරි විනෝදකාමියෙක්නෙ?මේ ආමර් වීදිය.ටවුන් හෝල් මේ ආසන්නයෙවත් නෑ "

    පොඩි අතපසු වීමක් වුනු බව සැබෑය."නමුත් උන්නු හැටියට මළා මදෑ!! "

    "ඉතින් ඔබ ..නැහ් ඔබ නෙවේ ඔයා මොකද මෙහෙ කරන්නෙ?"

    "මම ඉන්නේ ආමර් වීදියේ .මෙහෙ බේකර් වීදියක් නෑනේ මිත්‍රයා "ඔහු දෙවන වරටත් දත් ප්‍රදර්ශනය කළේය.
    මට පවිත්‍රගේ "පෙම්වතාගේ "වාසස්ථානය සිහි විය. 221B බේකර් වීදිය,ලන්ඩන්.!!


    "221B අංකයක් හෙවුවා .හමුවුනේ නෑ "

    ඉන්පසු ටික වෙලාවක් ඔහු මා නිරීක්ෂණයට භාජනය කළේය.මට අනතුරක සේයාවක් දැණින.ඔහු මදහසක් පෑවේය.

    "මට කියන්න මිත්‍රයා ඇත්ත.ටවුන් හෝල් යන මුවාවෙන් මෙතනට වෙලා ඉන්නේ අහම්බකින් නම් නොවේ "

    මට පළමු වතාවට ඔහුගේ "නිරීක්ෂණ හා පරීක්ෂණ " ගැන පැහැදීමක් ඇතිවිය.
    "හ්ම් කොහොමද එහෙම කියන්නේ? "සාම්ප්‍රදායික ප්‍රශ්නය!!.

    "මම මෙතනට එන විට ඔබ කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් වටපිට බලමිනුයි සිටියේ.ඔබට මුනගැසීමට අතිශයින්ම වුවමනා කෙනෙක්.

    "හ්ම්"

    "ඔබ වරින් වර ජංගම දුරකථනය දෙස බැලුවා ඔහුගෙන් හෝ ඇයගෙන් පණිවිඩයක් ලැබේවි කියා.මට සීයට සීයක් විශ්වාසයි ඒ කාන්තාවක් කියන එකනම්."නැවතත් මඳහසක්

    "හ්ම්"

    "ඔබට ඇයව නිරන්තරයෙන්ම සිහිපත් වෙනවා.ඇගේ ඡායාරූපයක් තිබුනා ඔබේ පසුම්බියේ .නමුත් දැන් එතන නෑ.ඔබ එය සොයා බැරිම තැන ශෝකයෙන් වටපිට බලනවා"

    "හ්ම්":shocked:
    ....................................................................................................

    ඔව් !මේ වතාවේ ඔබ නිවැරදියි.

    කරවටක් දියේ ගිලී සිටි මට පිදුරු ගසක් වූ ,පවිත්‍රගේ නිවසට පැමිණීමට ලැබුණු " ජුගුප්සාජනක " ආරාධනය පිළිගන්නා මොහොතේ මගේ හිතේ ඇතිවී තිබුණේ මර්වින් සිල්වා මැතිතුමාට ඇමති පදවිය පිරිනමන මොහොතේ ජනාධිපතිතුමාගේ හිතේ ඇති වූ සිතුවිලිවලටම සමාන සිතුවිලිය.(ගිහිල්ලත් බෑ,නොගිහිල්ලත් බෑ ).

    "ඉක්මන් කරන්න ....ආමර් වීදියේ අංක 220ට ඉක්මනින්.මිනිත්තු දහයෙන් ගියොත් වැඩිපුර රුපියල් පනහක් ලැබේවි

    "පිස්සුද මල්ලී,මේ ට්‍රැෆික් අස්සේ යන්න පුලුවන් පාරක් පෙන්නන්ඩ ,මම දෙන්නම් රුපියල් පනහක් " තුන් රෝද රථ රියදුරා උපරිම හොඳ වචනයෙන් අප ආමන්ත්‍රණය කළේය.පවිත්‍රගේ මුහුණ බැලීමට කැමති නොවූ මම පාර දෙස බැලීමි.

    "ලන්ඩන් නගරයේ රියදුරන් මෙන් කොළඹ රියදුරන් මිත්‍රශීලී නැති වග මට අමතක වුණු හැටි "පවිත්‍ර පරාජය බාර නොගත්තේය.

    රියදුරා නිශ්ශබ්ද වූයේ පරාජය බාර ගත් නිසා නොව ,ඔහුට "නව මංමාවත් "නිර්මාණය කිරීමේ කාර්යයේ යෙදීමට ඇති හෙයිනි . කාර්ය බහුලත්වය මැද වුවද ඔහු "ජංගම සංගීත සංදර්ශනය " ආරම්භ කළේය .තුන් රෝද රථයක සාමාන්‍යයෙන් ඇසෙන්නට නොලැබෙන ආකාරයේ වුවත් අවස්ථාවට ඉතාමත් ගැළපෙන ගීතයක් ඇසෙන්නට විය .

    "දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමුවුණේ ....." .මට රියදුරා ගැන මහත් පැහැදීමක් ඇතිවිය .

    "ට්‍රැෆික් එක නේද අය්යා?"

    "ඇයි මට පේන්නේ නෑ කියල හිතුවද ?කතා කරලා වැඩක් නෑ මල්ලේ.මේ දවස් වල ලයිෆ් එක දුවන්නේ පැට්‍රෝල් බීලා"

    "පෙට්‍රල්?"

    "හැහ්...නැතුව මල්ලේ... නැත්තං ඒවා ඇන්ජිමට දාන්න කියලද කියන්නේ?"

    කාරණාව වැටහුණු නිසා මම මුනිවත රැක්කෙමි . පවිත්‍ර හෝම්ස් එය බිඳීමට උත්සහා කළේය .

    "මොකක්ද මිත්‍රයා ඔය අතේ තිබෙන ලිපි ගොනුව ?"

    "ආහ් ,මේකද?නෑ මුකුත් නෑ..නිකං"

    "අර කාන්තාවට පිරිනමන්න අරගෙන ආපු දෙයක්ද ?"හිත කීරි ගැසෙන මඳහසක් !
    මම හිතේ නැඟුනු ආවේගය තනුක කොට පිළිතුරු දුනිමි.
    "මේ මගේ ප්‍රොජෙක්ට් එක.ඒකෙ වැඩකට කෙනෙක් හම්බවෙන්න තමා කොළඹ ආවේ "

    "කුමක් ගැනද?"

    "මෝහනය !"

    "මෝහෙන් මුලා වෙලා.මානෙන් උදම් වෙලා ..." නැවතත් බුද්ධිමත් ශබ්ද විකාශන යන්ත්‍රය!!.

    "මෝහනය...අඳුරුයි,ගුප්තයි ..විශ්වාස කටයුතු නෑ.සියුම් නිරීක්ෂණ වලින් එළඹිය හැකි නිගමන මෙපමණ තිබියදී ඇයි නොපෙනෙන මෝහනයක් මත මිනිස්සු යැපෙන්නේ? හොඳ නිරීක්ෂකයෙකුගේ දෙනෙතට ඕනෑම කෙනෙකුගේ ජීවිත හරියට කැඩපත් වගෙයි "

    "අනේ මන්දා ".

    "මට කියන්න මිත්‍රයා ,ඔය මෝහනයෙන් සිදුවෙලා තිබෙන එක ප්‍රයෝජනවත් දෙයක්"

    "මම දන්නේ කොහොමද?"

    "ඔබ දන්නේ නැහැ?"

    "නෑ"

    උසස් පෙළ ව්‍යාපෘතියක් හඳුනා ගැනීමේ ප්‍රධාන ලක්ෂණය එම ව්‍යාපෘතිය ගැන කිසිවක් නොදැන සිටීම බව ,නොදැන සිටින අසරණ හෝම්ස් !!

    "රාආආයිට් බොස් ආව පොට් එකට" මෙලෙස කියමින් "අයියා " අපෙන් වැඩිපුර රුපියල් හැටක්ද ඉල්ලා ගත්තේ වේගයෙන් ආ නිසා නොව හෙමින් ඒමට සිදුවූ නිසාය ."මනුශ්‍යත්වය" හඳුනන පවිත්‍ර කිසිත් නොකියා ඉල්ලීම ඉටු කළේය.

    "මෙතන තමා මම ජීවත් වෙන්නේ " පවිත්‍ර ඇඟිල්ල දිගු කොට පෙන්නූ තැන දුටු විට "ජීවත් වෙන්නේ " යන වචන ගැන මට ඇතිවූවේ සැකයකි.මක් නිසාද යත් එය මනුශ්‍ය වාසයට නොගැළපෙන බව සෞඛ්‍යය ඇමතිතුමාට පවා තේරුම් යන ආකාරයේ තැනකි.මම ඒ ගැන වැඩිපුර නොකියන්නේ ඔබ වෙහෙසට පත් නොකිරීමට සිතා නොව ,මා වෙහෙසට පත් වී ඇති හෙයිනි.

    සුළු මොහොතකින් පාරේ අඩ නිරුවතින් සෙල්ලම් කරමින් හුන් කොල්ලන් රැලක් මැදින්,දූවිලි වරුසාවක් පීරාගෙන, වේගවත් ගමනින් නිවසක් යයි කී ගොඩනැගිල්ල තුළින් පිටතට පැමිණියේ පොලි....

    "ආහ් මොකක්ද කිවුවේ පොලිස් කාරයෝ?ශෙහ් ! " වේගයෙන් කී පවිත්‍ර තාප්පයකට මුවා වූයේය. මටද ඔහු අනුගමනය කිරීමට සිදු විය.

    "ටිකක් ඉමු මෙතනට වෙලා "

    පොලිස් නිලදරුවන් දෙදෙනා අප පසුකරමින් පිටව ගියෝය. පැද්දි පැද්දී ඇවිදින "බඩ තඩි " පොලිස් කාරයා මට ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ ලෙස්ට්‍රෙඩ් සිහි ගැන්වීමට සමත් විය.ඒකෙත් හැටි !! " ඒත් මේ හෝම්ස් මොකද ලෙස්ට්‍රෙඩ් දැක්කාම හැංගෙන්නේ?"

    අසන්නටත් පෙරම උත්තරය ලබා දුන්නේ පවිත්‍ර නොව අප මැද්දට කඩා වැදුනු ගැහැණියකි .
    "අනේ අපොයි .අපි මෙච්චර මෙහෙ තියාගෙන කසිප්පුත් විකිණුවා .ත් ත් තව අරවා සප්ලයිත් කරා ඒත් මෙහෙම දෙයක් උපන්තේකට වෙලා නෑ දෙයියනේ.....අන්තිමේ මේ ගෙදෙට්ට පොලිසියත් ඇවිත්.මම මේ ළමයට හොඳින් කියන්නේ දැංවත් ඔය නොසන්ඩාල වැඩ නවත්තනවා . නැත්තං අකුලගෙන යන එකයි ඇත්තෙ “

    "මම වැරදි දෙයක් කරේ නෑනෙ.මම ඒ මළ මිනිය අරන් ආවේ මරණයෙන් පසු මානව ශරීරයේ රුධිර සංසරනයේ වෙනස් වීම් ගැන හොයන්න.මම ඒක ආපහු ගෙනාපු තැනටම ගෙනිච්චා "

    "සංසර්ගෙ තමා..අනේ මගෙ කට.අනේ අම්මප .මේකගේ දෙමාපියොත් කැමති උනානේ මේකව තනි පංගලමේ මේ වගේ තැනක තියන්න "

    " මෙතන කිසිම වැරදි දෙයක් සිද්ද වෙලා නෑ මිසිස් හඩ්සන් !!"

    "ඇහ් ..කවුද යකෝ මිසිස් හඩ්ස් ස්.. ඒ මොකාද..?" ඈ යුද්ධ ප්‍රකාශ කළාය .

    "මම මේ ළමයට කී සැරයක් කියල තියෙනවද ඔය නාඩගන් නම් වලින් මට කතා කරන්ඩ එපාය කියලා”

    ඉන්පසු ඈ මා දෙසට සෞම්‍ය බැල්මක් හෙළුවාය.

    "අලි මදිවට හරක් ..මේ මොකාද ඒ පාර?"

    "ආ මේ මිත්‍රයෙක් .නම දොස්තර වොට්සන් !!!"

    "ඇහ් ...වොට්සන් ..මොකක්ද යක්.."මම අර ගැහැණියට වඩා ශිෂ්ඨ සම්පන්න හෙයින් කට වසාගත්තෙමි
    :shocked:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඈ "මිටින් ගත නොහැකි " ඉඟ සොළවා,ගස්සාගෙන ගෙතුළට ගියාය.නිකන්ම නොව පවිත්‍රගේ ආත්ම ගරුත්වයද සොළවා ගස්සා දමාය.

    "හැහ් මේක මාර සිද්දියක්නෙ මච...අහ් නෑ ,මේක විශ්මයජනක සිද්දියක්නේ මිත්‍රයා "පවිත්‍ර ඒ වනවිටත් "මෙගා ස්ටාර්" බැලීමට මෙන් අහළ පහළ රැස් කමින් සිටී ජනතාවගේ ඇලුම් බැලුම් නොතකා තම අප්‍රසාදය පිට කළේය.

    "දවසේ හයර්" එක ගැන පවා නොතකා කට ඇරගෙන "සටන් ජවනිකාව "නරඹමින් සිටි තුන් රෝද රථ අයියාද ටූ ස්ටෝක් ඇන්ජිමට බර දී පිටව ගියේ අවසාන ගීතයත් සභා සම්මත කරමිනි "උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩම් "

    මම මේ ජීවිතයේ අයස, නින්දා ආදී වශයෙන් තිබෙන අටලෝ දහමේ නරකම හතර විඳ ඇත්තෙමි.ඒත් මෙහෙමත් ලැජ්ජාවක් ?"ග්‍රීස් යක්කු " මීට වඩා අභිමානයෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටිනු මම දැක ඇත්තෙමි .

    "ප්‍රධාන නළුවා" වහ වහා ගෙතුළට පලා ගියේය."සහය නළුවා "වන මට ඔහු අනුගමනය කොට නික්මෙනවා විනා "දී එන්ඩ් " වැටෙන තුරු රඟපෑමට වුවමනාවක් නොතිබිණි.

    සුළු මොහොතකින් අප දෙදෙනාම එක "කාමරයක්" තුළය .එය කාමරයක් බව මට පහදා දීමට පවිත්‍රට සෑහෙන්න වෙහෙසක් දරන්නට සිදුවිය ."එය" ඒ තරමටම කාමරයක ලක්ෂණ වලින් පරිපූර්ණය.
    "කාමරයට "ඇතුල් වූ වහාම ඉදිරියෙන් දැක ගත හැක්කේ දැවැන්ත "කටවුට්" එකකි.මම ඒ කුමන ඇමතිතුමාද යන්න සිහිපත් කිරීමට වෙහෙස වීමි.නැත !ඇමතිවරයෙකු වීමට නොහැක .මේ හාදයා බුද්ධිමත් පාටය !.අහ්
    ෂර්ලොක් හෝම්ස් !

    පවිත්‍ර මහත් වූ භක්තියකින් එම රූපය දෙස බලා මේසය යටට රිංගා යමක් සෙවුවේය .මා සිතුවේ "කටවුට් " එකට දුම් ඇල්ලීමට සූදානම් වෙනවා කියාය .නැත! මේ දුම ඇල්ලීමට නොවේ .මේසය යට තිබුණු දුම් පයිප්පය අතට ගත් පවිත්‍ර ජනේලය අසල තිබුණු හාන්සි පුටුවක් යයි අනුමාන කළ හැකි ගෘහ භාණ්ඩය මත දිගා වූයේය. දුම් ඉරීමේ "සෝබන කාර්යය " ඇරඹුවේය

    "හ්ම් එකත් ඉවරයි මිත්‍රයා "

    "ඒක නෙවේ මොකක්ද අර ගෙදරින් අයින් වෙලා මෙහාට වෙලා තනියෙන් ඉන්නවාය කියන කතාව ?"

    "ආ...මිසිස් හඩ්සන් කියපු කතාවද?"

    "ම්ම්ම් මිසිස් හඩ් ..ඔව් ඔව් හඩ්සන් තමා "

    "මේ ජීවිතය නිදහස් මිත්‍රයා.බාධාවට කිසිවෙක් නෑ .ඔබටත් හොඳ කල්පනා ශක්තියක් වුවමනානම් තනි වෙන්න!"

    "ගෙදරින් කැමති උනාද?"

    "කැමත්ත අකමැත්ත කෙසේ වුවත් මට අයින් වෙන්න සිදු වුනා. කැමතිද වෙනත් දෙයක් ගැන කතා කරන්න. ඔබ කුමක් සඳහා කොලඹ පැමිණියා කියලාද කිවුවේ ?"

    “"ප්‍රොජෙක්ට් එකනේ .ඒකට ඩොකෙක් හම්බවෙන්න .මගෙ යාලුවෙක් තමා සැට් කළේ.අද එයා හිටියෙ නෑ"

    "අහා… මොකක්ද ඔහුගේ නම?"

    "ඩොක්ටර් වීරක්කොඩි "

    " ම්ම්ම් වීරක්කොඩි .අහල පුරුදු නමක් නොවැ මිත්‍රයා කරුණාකරලා අර පොත් රාක්කයේ පුද්ගල නාමාවලියේ "W" යටතේ "වීරක්කොඩි " කියන නම මා වෙනුවෙන් හොයලා දෙන්න
    වොට්ස........අහ්. නෑ..ම්.. වොට් 100 විදුලි පහනත් දල්වන්න ඔබට කළුවරයිනම්".

    "මම පොත් රාක්කය අසලට ගියෙමි.පත්තර වලින් සහ නොයෙකුත් ක්‍රම වලින් සොයාගත් ලිපි අලවා "පුද්ගල නාමාවලිය" නමින් සෑදූ දැවැන්ත පොතක් ,පොත් රාක්කය මත තිබිණි.මම මගේ අතේ පයේ ශක්තිය ගැන සතුටු වෙමින් එම පොත අතට ගෙන පිටු දිගහැරියෙමි.


    මුලින්ම පෙරළුනේ "D"අකුරෙන් පටන් ගන්නා නම් වලටය ."දිසානායක!".මහා දුර්ගන්ධයක් නාසය කිතිකැවීය !!.

    අහිංසක කැරපොත්තෙක් ගඳ වපුරමින් පොත මැදම චප්ප වී මැරී සිටිනු දැක්කෙමි.පැන්සලකින් කැරපොත්තාගේ ඔලුව ඉවත් කළ විට S අකුරකුත් , ඉතුරු ටික ඉවත් කළ විට B අකුරකුත් දැක්කෙමි.

    මම තව පිටු පෙරලුවෙමි.

    R අකුරේ ලැයිස්තුව ඉවරවෙන්නට බොහෝ වේලා ගත විය. W අකුර ඉංගිරීසි හොඩියේ මොන හරියේ ස්ථානගත වී ඇත්දැයි අමතක නිසා නැවත මුලට පෙරළුවෙමි. රීදී සීනුවක හඬකින් පටන් ගෙන ,කිසිම හාවක් හූවක් සද්දයක් නැතිවන තෙක් B අකුරෙන් තිබුණු ලැයිස්තුව පෙරළුවෙමි. අමාරුවෙන් W ද ,වීරක්කොඩිද සොයා ගතිමි.

    පත්තර වලින් කපාගත් දැන්වීම් රාශියක් එහි අලවා තිබිණි.

    සොයාදෙන්න.(අහවල්) වීරක්කොඩි වන මොහු ආගිය අතක් නැත.අවසාන වරට ඇඳ සිටියේ..............පවුලේ එකම පුතු ,කොළඹින් ඉඩමක් හිමි වරදට සමාව දෙන ............(අහවලා) ව ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කළ විනිසුරු (අහවල් ) වීරක්කොඩි නොදොස් කොට නිදහස්..........

    කිසිම දොස්තරයෙක් නැත.මොළය අවුල් විය.

    "හැබෑට මොකක්ද මේකෙ තේරුම?"

    "හෝම්ස් ගාවත් මෙහෙම පොතක් තිබුණා මිත්‍රයා.ඒක බොහොම ප්‍රයෝජනවත් . මේ ලෝකේ සිද්ද වෙන බොහොමයක් සිද්ධීන් අතර බොහොම සමීප සම්බන්ධයක් තිබෙනවා.එකම මිනීමරුවෙක් ඝාතන ගණනාවක් එක දිගට සිදු කරනවායි සිතමු.අපිට එක ඝාතනයක තොරතුරු ලැබෙනවා.අපි මේ පොත පරීක්ෂා කරනවා.අපිට පෙනෙනවා මිත්‍රයා මීට පෙරත් එවැනිම දෙයක් සිදුවී තිබෙන වග.සාක්ෂි වැඩි වෙනවා.අපරාධකරුවා සොයා යාම පහසු වෙනවා"

    නැවතත් මොළය අවුල් විය.යකෙක් බැඳගෙන ඌව හීලෑ කරගෙනම තියා ගැනීමටනම් දිගට හරහට වැඩ පැවරිය යුතුය.
    මම කතා කළෙමි.

    "හරි මෙහෙම හිතමු .පක්ෂය දෙකඩ වෙයි වගේ නිවුස් එකක් ආරංචි උනොත් මේ පොත යූස් කරන්නේ කොහොමද?"

    "හහ් හහ් සුළු දෙයක්නේ මිත්‍රයා.මෙහෙම පොත ගන්නවා අතට"

    old-book-17580496.jpg


    පවිත්‍ර පොතේ මුල සිට වේගයෙන් පෙරළ පෙරළා ලිපි එකින් එක කියවන්නට පටන් ගත්තේය.
    "ආ මේ තියෙන්නේ එකක්"

    එච්චරද?"

    "නෑ නෑ මෙන්න තව"

    "ඔහෝ"

    "ආ මේං ..තවත් ...මෙන්න තව එකක් ...අහ් මේ පක්ෂෙත් එහෙමයි.......මෙන්න තව එකක් ....මේක අවුරුදු ගානකට කලින්...අහ් තවත් එක්ක....තව ..තව...."
    ඉර බැස යාමටද ආසන්නය.

    "මචන්...තව වෙලා යයි නේද?රුපියල් 100 විතර තියෙයිද දන්නේ නෑ?හෙට දෙන්නම්":shocked:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    .............................................................................................
    මම sms එකක් යැවීමටවත් සත 5ක් නැති දුරකතනය සාක්කුවෙන් එළියට ගත්තෙමි.දැන් එහි බට්ටි කරදර නොකරන නිසා වෙලාව බලා ගැනීමට බාධාවක් නැත.හත්තිලවුවය ! 11.30
    "හරියටම 10.30 ට විනාඩියක් අඩුවෙනුත් නෙවේ ,වැඩියෙනුත් නෙවේ " එවේලේම සිහියට නැඟුනු දොස්තර වීරක්කොඩිගේ මධුර ස්වරයෙන් කර්ණ ශංඛය කිළිපොලා ගියේය

    ඔව්.මම මගේ ව්‍යාපෘතියට "බකප් " එකක් ලබාගැනීම සඳහා දොස්තර වීරක්කොඩි මුණගැසීමට දැරූ දෙවන උත්සාහය සාර්ථක විය .


    උදේ පාන්දරම දොස්තර මහතාගේ ගෘහස්ත දුරකථනයට (මනුස්ස බාසාවෙන්, ලෑන්ඩ් ෆෝන් එකට ) කරදර කළෙමි."අනිත් පැත්තෙන් ඇසුනු සිංහල හාෂාවේ ජනප්‍රියම වචනය වන "හලෝ" එකට වෙලාවේ හැටියට උපරිම සම්පත් පරිභෝජනය කරමින් හොඳම ප්‍රශ්නයක් ඇසීමි

    "සර් ,සර් දැන් ගෙදරද ඉන්නේ ?"

    පිළිතුරක් නැත ..

    "නිශ්ශබ්දතාවය යනු හොඳම කෑගැසීම " බව කවුද හාදයෙක් කියනවා මට ඇසී තිබේ .මම ඒ කෑගැසීමට හේතු සෙවුවෙමි,මතක් විය
    කිසිදිනෙක ගෙදර තිබෙන ලෑන්ඩ් ෆෝන් එකකට කතා කර ගෙදරද ඉන්නේ කියා අහන්න එපා !!

    මනුස්සයන්ගේ වැරදි වලට සමාව දෙන දේව ගණයේ දොස්තර මහතා නිසා ලොකු ප්‍රශ්නයක් ඇති නොකරගෙන 10.30 අපගේ කතාබහ සඳහා වෙන්කර ගතිමි.නමුත් සැබෑ ප්‍රශ්නය මතුවී ඇත්තේ දැන්ය.පැයක ප්‍රමාදයෙන් පසුතැවිලි නොවී නියම සිංහල ගති පහළ වීම නිසා ඇති වූ ගර්වයෙන් පපුව පුම්බාගෙන වට පිට බලමින් සීනුව නාද කළෙමි.තුන් වරක් නාද කළද පිළිතුරක් නොවීම නිසාත් ,සාමාන්‍ය සමාජ සිරිත් (මැනස් ) අනුව තුන් පාරකට වඩා ගෙදරක සීනුව නාද කිරීම හොඳ නැති නිසාත් ,මම තව වරක් සීනුව කෑගැස්සුවෙමි

    දඩා....ස් ..නෑ... එහෙම සද්දයක් නොවේ .කිසිම සද්දයක් නැතුව දොර ඇරිණ.එක්වරම මෛත්‍රීය කැටිවුනු බැල්මක් හෙළාගෙන මා ඉදිරියේ පෙනී සිටියේ දොස්තර වීරක්කොඩි..........ද?මම ප්‍රියමනාපයයි මට පමණක් සිතෙන බැල්මක් නිර්මාණය කරගෙන කුමක් කියන්නදැයි ලතැවී බලාසිටියෙමි.

    "ආහ් ..මිත්‍රයා කිවුව වෙලාවටම ආව නේද ? “

    හරි මේ තමා මෑන්ස් !!

    "ම් ම් මේ වැස්ස්.." දෙවන වතාවටත් කෙළවීමට ආසන්න විය.අද දවසටම වැස්සේ නැත. " මේ වැස්ස්සියෙක් පාර හරස් කරග්....ම් ..ම්"

    "හරි හරි ඇතුළට එන්න ."
    "ඇත්තටම මට මේ මොහොතේනම් කතා කරන්න අමාරුයි.මට පේෂන්ට් කෙනෙක් ඉන්නවා"

    ආ දොස්තර මහත්තයගේ දෙමාපියො ඇවිල්ලා ..පේෂන්ට්ය කිවුවේ ..පෞද්ගලික කටයුතු වලට ඇඟිලි ගැසීමට යාම එච්චර හොඳ නැත.

    "හරි සර් මම ටිකක් ඉන්නම් එහෙනම් "

    "හොඳයි මෙතනින් වාඩි වෙලා ඉන්න "යන වාක්‍යය පිටකළද ,ඊලඟ සාම්ප්‍රදායික වාක්‍යය විය යුතු
    “මේ ළමයට බොන්න මොනවහරි දෙන්න !!” .... යන්න ඇහුනේ නැත

    කමක් නෑ කමක් නෑ
    ඊළඟට ගෙවුනු නීරස පැය බාගය ගැන කියා ඔබව නැවතත් ක්ලෝස් බටනය ක්ලික් කිරීමේ තත්වයට ඇද දැමීමට මට වුවමනා නැත.එය ඒ තරම්ම අනීවාරතයකි ..මාළු ටැංකියේ මාළු ටික සහ සෝපාවේ කුෂන් එකේ රතු පාට සිරස් ඉරි ටික ගැන අවසන් වූ පසු කම්මැලිකමට මම නැඟී සිටියෙමි .
    අකීකරු දෙපා මට ඉදිරියටම යන්නට බල කරන්නට විය .වංගු පල්ලම් පසු කරමින් ගිය ගමන කෙළවර වූයේ දොර අඩවල් කර තිබූ කාමරයක් ළඟය .මටත් කලින් මගේ ඇස් කාමර ඇතුළට එබුනේ ඇස් වල ඇති වරදක් නිසා නොව මගේ ඇති වැරැද්දක් නිසාය. එය නිදන කාමරයක් නොවීම නිසා අනීවාරතේ අද සිට ඇඩල්ස් ඔන්ලි කිරීමේ අවදානමෙන් මිදෙන්නට මට හැකි විය.එය දොස්තර මහතාගේ රෝගීන් පරීක්ෂා කරන කාමරය විය.මුලින්ම පෙනුනේ දොස්තර මහතාගේ රුවය .බොහෝ වේදනාවක් විඳීමෙන් අනතුරුව රෝගියාගේ රුවත් අක්ෂිගත කරගැනීමට හැකිවිය...මැදි වයසේ කාන්තාවකි ..ඇය දිගටම කතා කරයි ..

    "මොනව කොරල හරි මහත්තයෝ මූට හැදිල තියෙන පිස්සුව හොඳකරන්න..මෝහනය නැත්නම් මොක හරි කමක්නෑ මට ".....මූට යන වචනයෙන් පෙනී ගිය අන්දමට තවත් එකෙක් සිටිය යුතුය...මම එබුනෙමි ...තවත් එබුනෙමි..පෙනෙන්නේ නැත....දොරද මඳක් තල්ලු කළෙමි...බැලීමි ...අමාරුවෙන් බලද්දී දුටිමි...
    .ඇහ් පවිත්තරයා??:shocked:


    මට එවේලේ දැනුනු විශ්මය වචනවලට පෙරළීමට උත්සහ කිරීමෙන් මේ හෑල්ල තවත් දික් වනු ඇත..එම නිසා කෙටියෙන්ම,
    මම මහත් විශ්මයට පත්වීමි

    "සමහර විට ඒකෙන්ම මේකෙ සුල මුල හොයා ගන්න අපට පුළුවන් වේවි " ඒ දොස්තරය
    අහා පවිත්තර හෝම්ස් ආදර අන්දරය !!

    "ඔහෝ මහත්මයා මෙතන තිබෙන්නේ ඉතාමත් බරපතල වැරදි වැටහීමක් "

    ඒ පවිත්‍ර බව අමුතුවෙන් කිව යුතු නැත.

    "අනේ මහත්තයෝ බලන් හිටිය හොඳටම ඇති ,කරන දෙයක් ඉක්මන් කරමු "

    දොස්තර මහතා ඉක්මන් විය .ඇස්වලින් ග්‍රහනය කරගැනීමට තරම් අපහසු දේවල් වේගයෙන් සිදුවිය
    ...ඔබ නිදි.....සැහැල්ලුයි.....ඔබේ ශරීරය සැහැල්ලුයි.....මගේ කටහඬ පමණයි ඔබට ඇසෙන්නේ....

    දොස්තර මහතා දෝලනය විය.....කාමරය කැරකෙන්නට විය ..දොර භ්‍රමණය වන්නට විය....වැරදි කෙනා ,එනම් මම මෝහනයට පත්වන්නට විය:baffled:

    අමාරුවෙන් පාලනය වීමි..පවිත්‍රගේ කටහඬ අවදි වන්නට විය .. ඔහු මේ ආත්මයේ නොවේ..පෙර ආත්මයකය .. මා තවම දොර ළඟය .

    "පුදුමාකාර කාලගුණයක් බොහොම සීතලයි ..නිවාඩුවට පිටරටකට නොයෑමේ විපාක දැනුයි අත්විඳින්නේ "පවිත්‍ර දොඩවන්නට හා දොස්තර මහතා ප්‍රශ්න නගන්නට විය

    "මේ මොන අවුරුද්දද?"

    "1850 සීත ඍතුව"

    "ඔබ ඉන්නේ කොහෙද ?"

    "මගේ කාමරයේයි ..අහා..... එක අතකට සීත දැරිය හැකියි .එය මොළය නොවෙහෙසවීම තරම් කර්කශ නෑ "

    "ඔබ මොනවාද කරන්නේ? රැකියාව?"

    "අහා මේ වෘත්තියේ යෙදෙන ලෝකයේ සිටින පළමු සහ එකම පුද්ගලයා මමයි"

    "ඔබ පමණයි?"

    "එසේය මහත්මයාණෙනි "

    "එසේනම් ඔබ කවුද ?"

    "මම හෝම්ස් .ෂර්ලොක් හෝම්ස් ..පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් :baffled:!!!"

    - See more at: http://aniwarathe.blogspot.com/2011/11/blog-post.html#sthash.VSPGAhqe.dpuf