ඔබත් මමත් ජීවිත කාලය පුරාම හැමදාම වගේ ආහාර ගත්තත්.
අපි ආහාරය ගැන හරියටම දන්නවාද ?
කබලිංකාරාහාරය,
ඵස්සාහාරය, මනෝසඤ්චේතනාහාරය, විඤ්ඤාණාහාරය,
යන ආහාර සතර මේ සූත්‍රයෙහි දැක්වෙන විශේෂ කරුණෙකි. “ආහරීයති අජ්ඣෝහරීයතීති ආහාරෝ” යන විග්‍රහයේ සැටියට “අනුභව කරනු ලබන දෙයට ආහාරය” යි කියනු ලැබේ. මෙහි ඒ සතරට ආහාර යන නම කියනුයේ ඒ අර්ථය අනුව නො වේ. ඵස්ස චේතනා යන දෙක චෛතසික දෙකකි. විඤ්ඤාණය නම් සිත ය. ඒවා අනුභව කරන්නට ගිලින්නට පිළිවන් දේ නො වේ. කබලිංකාරාදි සතරට ආහාරය යි කියනුයේ ඵලය ඇති කරන දෙයය යන අර්ථයෙනි.
“ආහාර” යනු යම්කිසි ඵලයක් ඇති කරන හේතුවට ද නමෙකි. එබැවින් අටුවාවෙහි “ආහාරාති පච්චයා. පච්චයා හි ආහාරන්ති අත්තනො ඵලං තස්මා ආහාරාති වුච්චන්ති” යි කීහ. අවිජ්ජා පච්චයා සංඛාරා යනාදි ප්‍රතීත්‍යසමුත්පාද දේශනාවේ සැටියට සංසාර චක්‍රයට අයත් සෑම ධර්මයක් ම ප්‍රත්‍යයෙකි. හෙවත් යම් කිසිවක් ඇති කරන හේතුවකි. “හේතු පච්චයො ආරම්මණපච්චයො” යනාදි ප්‍රස්ථාන දේශනාවේ සැටියට ද සෑම ධර්මයක් ම ප්‍රත්‍යයෙකි. ප්‍රත්‍යය නො වන, හේතුවක් නො වන කිසිම ධර්මයක් නැත.
යම් කිසිවකට හේතු වීමේ - ප්‍රත්‍ය වීමේ සැටියට නම තබනවා නම්, සියලු ම ධර්මයන්ට ආහාර යන නාමය කිය යුතු ය. එසේ තිබියදී කබලිංකාරාහාරාදි සතරට පමණක් ආහාර යන නම තථාගතයන් වහන්සේ විසින් තබන ලදුයේ කවර හේතුවකින් ද? යන ප්‍රශ්නය මෙහිදී උපදී. තථාගතයන් වහන්සේ මේ සතරට පමණක් විශේෂයෙන් ආහාර නාමය තබන ලදුයේ, ඒ සතර සංසාර චක්‍රයාගේ පැවැත්මට, තවත් ක්‍රමයකින් කියතහොත් පඤ්චස්කන්ධයා ගේ පැවැත්මට විශේෂයෙන් හේතුවන බැවිනි.
සංසාර චක්‍රයට අයත් ධර්මයන් ගෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ. විඥාන නාමරූපාදීන්ට ප්‍රත්‍යය නො වේ. විඥානය නාමරූපයන්ට ප්‍රත්‍යය වේ. ෂඩායතනාදියට ප්‍රත්‍යය නො වේ. ආහාරයන් ගේ ප්‍රත්‍යය වීම එසේ එකකට දෙකකට නොව සියල්ලටම ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යි ද වදාරන ලදී. සකල සත්ත්වයෝ ම ආහාරය නිසා ප වත්නෝය, ජීවත් වන්නෝය යනු එහි තේරුම ය. එහි සත්ත්වයෝය යි කියා තිබෙන්නේ අවිද්‍යාදි ධර්ම පරම්පරාවට ය. තවත් ක්‍රමයකින් කියතහොත් ස්කන්ධ පරම්පරාවට ය.
ජීවිත කාලය පුරාම හැමදාම වගේ
මුවින් ආහාර ගැනීමට හුරු වී ඇති ඔබට බොහෝ විට
‘ආහාර’ යන වදන ඇසුණ සැණින් සිහිපත් වන්නේ අප බොහෝ සෙයින් ඇළුම් කරන කෑම බීමයි. නොයෙක් රසයෙන් යුතු, විවිධ ස්වභාවයෙන් යුතු ආහාරයන් ගැන සිහි කළ පමණින් ශරීරය පවා එයට අනුව උත්තේජනය වෙයි. ප්‍රතිකියා දක්වයි. ප්‍රණීත ආහාර අනුභව කරන්නට සියල්ලෝ ම පාහේ කැමති වෙති. මේ මේ ආහාර ශරීරයට හිතකර වන්නේ ය, මේ ආහාර අහිතකර වන්නේ ය, මේ ආහාරවලින් ශරීරය ශක්තිමත් කරන්නේ ය, මේවා ශරීරය වර්ධනය කරන්නේ ය, මේ ආහාරයන් ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නේ ය ආදි වශයෙන් අපි කොතෙකුත් දේවල් ආහාර ගැන කථා කරමු.
අප දැන සිටියේ ආහාරය විසින් කය පෝෂණය කරන බව පමණකි. කයේ පැවැත්මට හේතුවන බව පමණකි. සියල්ල දන්නා, සියල්ල දකිනා අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ආහාර මුල්කරගෙන කය පමණක් නොව සසර ගමන ද සකස් වන අයුරු දේශනා කළ සේක. කයේ පැවැත්මට ආහාර පාන මුල්වන්නා සේ සසරේ පැවැත්මට ආහාර හතරක් මුල්වන බව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක.
“පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසත් හේතුවන ආහාර හතරකි.
01. ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරය.
උපදින්න සිටින්නා වු සත්වයාගේ අනුග්‍රහ පිණිස ආහාර වර්ග හතරක් තිබෙනවා. ඒ ආහාර හතර මොනවා ද? ගොරෝසු වූ හෝ සියුම් වූ හෝ කබිලිංකාර හෝ කැබලි වශයෙන් අනුභව කරන ආහාර වර්ගයයි. බත් කැවිලි පලතුරු සහ බීම වර්ග කැබලිංකාර ආහාරය ගණයට ඇතුළත් වෙනවා.
02. ස්පර්ශය නම් වූ ආහාරය.
දෙවැනි ආහාරය ස්පර්ෂයයි . ස්පර්ෂය යනු ගෑවිම හැපීම ගැටීම යන අරුත් දෙ යි. එසේ වුවත් මෙහි ස්පර්ශය කියන්නේ එ අර්ථයෙන් නොවෙයි. මෙහිදී ස්පර්ෂය කියන්නේ එකතු වීම යන අර්ථයයි. ඇසින් රූපයක් බලන විට රූපයත් ඇසත් හිතත් එකතු වෙනවා. ඒ කාරණා තුනට ඇසේ ස්පර්ශය කියලා කියනවා. කනින් ශබ්දයක් අසන විට කනත් ශබ්දයත් විඥානයත් එකතු වෙනවා. මෙය කනේ ස්පර්ශයයි. කයත් මනසත් සිතත් යන සියලු කාරණා මීට අන්තර්ගතයි.
03. මනෝසංචේතනාව නම් වූ ආහාරය.
තුන්වැනි ආහාරය මනෝ සංචේතනාවයි එනම් කර්මයට කියන තවත් නමක් මනස තුළ හට ගන්නා චේතනාවයි.
04 විඤ්ඤාණය නම් වූ ආහාරය.
හතරවන ආහාරය විඥනයයි. එයත් සිතටම කියන තවත් නමක් මේ ආහාර හතර පිළිබදව ධර්මයේ කතා කරන්නේ ඇයි එය පිළිබදව අපි විමසා බැලිය යුතුයි. කබලිංකාර ආහාර ය තියෙන්නේ ශරීරයේ පැවැත්මට අපි ගන්න ආහාර පාන නිසයි මේ ශරීරය පවතින්නේ. එසේ වුවත් බුදුන්වහන්සේ තම ගිහි පැවිදි ශ්‍රාවකයන්ට ආහාර පාන ගන්නා අකාරය පිළිබදව උපදෙස් දුන්නා.
පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නට සිටින සත්වයන් හට අනුග්‍රහ පිණිසත් මේ ආහාර හතර හේතුවන්නේ ය.
(අත්ථිරාග සූත්‍රය – සං. නි. 2)
දීර්ඝ විස්තරය ..



කබලිංකාර ආහාරය.
ආහාර සතරෙන් කබලිංකාර ආහාරය යනු අනුභව කරන ආහාරයෙහි ඇති ඕජාව ය. අනුභව කරන ආහාරය කුසට පිවිසි කල්හි එයින් කොටසක් ආමාශය ඇසුරු කොට වෙසෙන පණුවෝ කති. එක් කොටසක් පාචකාග්නියෙන් දැවී යයි. එක් කොටසක් මළ වෙයි. එක් කොටසක් මුත්‍ර වෙයි. ආහාරයෙහි හොඳම කොටස රස ධාතුව වී ආහාර ගෙන යන නහර දිගේ ගමන් කොට ශරීරය සැම තැනම පැතිරේ. ඒ ආහාරයේ ප්‍රධාන කොටසට ආහාර රූපය යි ද, ඕජා රූපය යි ද කියනු ලැබේ.
ඕජාරූප ඇත්තේ අනුභව කරන ආහාරයෙහි ම නො වේ. ශරීරයේ පිහිටි ලේ මස් ආදි සියල්ලෙහිත් ඒවා ඇත්තේ ය. ශරීරයෙහි ඇති ඕජාරූප ඒ ඒ තැන ම තිබෙනවා මිස අනුභව කරන ආහාරයේ ඕජාව මෙන් ශරීරයේ ගමන් නො කරයි. එහෙත් සත්ත්ව ශරීරයට ආහාරයෙන් කෙරෙන උපකාරය ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ ශරීරයෙහි ඇති ඕජා රූපවලිනි. පිටතින් ශරීරයට පැමිණෙන ඕජාරූපයන් ගෙන් ලැබෙන උපස්ථම්භනයෙන් ශාරීරික ඕජාරූප බලවත් වී ඒවායින් ආහාරජ රූප නම් වූ රූප කොට්ඨාශයක් උපදවනු ලැබේ. ශරීරය පවත්වන්නේත් මලානික නො වී තිබෙන්නේත් බලවත් වන්නේත් වැඩෙන්නේත් ඒ ආහාරජ රූපවල උපස්ථම්භනයෙනි.
අඹ ඇටයකට ශක්තිය ඇත්තේ කුඩා අඹ පැළයක් ඇති කිරීමට පමණකි. ඒ අඹ පැළය බොහෝ අතුපතර ඇති අඹ ගසක් වී මල්පල හටගන්වමින් දීර්ඝ කාලයක් පවත්නේ මුල් අඹ ඇටයේ අනුහසින් නොව පෘථිවි රස ආපෝ රසයන් ගේ අනුහසයෙනි. ඒවා නො ලද හොත් අඹ ගස නැසේ. එමෙන් කර්මයට ශක්තිය තිබෙන්නේ භවයෙහි ප්‍රථමයෙන් සත්ත්වයා ඉපදවීමට පමණකි. ඉපදීමෙන් පසු සත්ත්වයා වැඩෙන්නේත් ජීවත් වන්නේත් ආහාරයේ අනුහසිනි. ආහාරය නො ලදහොත් සත්ත්වයා වියළී මිය යන්නේ ය. ඉපදීමෙන් පසු සත්ත්වයා ජීවත් කරවීම ආහාරයේ කෘත්‍යය ය. සත්ත්වයා ජීවත් කරවීමය යි කියනුයේ නාමරූප ෂඩායතන ස්පර්ශ වේදනාදි හේතුඵල ධර්ම පරම්පරාව චිරකාලයක් පැවැත්වීමට ය. සංසාර චක්‍රයට අයත් හේතුඵල පරම්පරාවට ම ප්‍රත්‍ය වන බැවින් කබලිංකාරාහාරය විශේෂ ප්‍රත්‍යයෙකි
සියලූම අනුභව කරන කෑම බීම වර්ග කබලිංකාර ආහාර යි. දෙවියන් ආදී සියුම් ශරීරවලින් යුතු සත්වයන් සියුම් ආහාර අනුභව කරති. මිනිසුන්, තිරිසන් සතුන් ආදී ගොරෝසු ශරීරවලින් යුතු සත්වයන් ගොරෝසු ආහාර අනුභව කරති. මේ කබලිංකාර ආහාරවල පංචකාම ගුණයන් ම තිබේ. ආහාරය ඇසින් දුටු විට ඇල්ම හටගනී. ආහාර ගැන කථා කරන විට (කනින් අසන විට) ඇල්ම හටගනී. ආහාරයේ සුවඳට ඇල්ම හටගනී. දිවට රස දැනෙන විට ඇල්ම හටගනී.
ආහාරයේ පහස කයට දැනෙන විට ද ඇල්ම හටගනී. කබලිංකාර ආහාර පිළිබඳ ව මෙසේ හටගන්නා රාගය දුරු නො කළ කල්හි, ආශාව දුරු නො කළ කල්හි, තණ්හාව දුරු නො කළ කල්හි එහි විඤ්ඤාණය පිහිටයි. යම් තැනක විඤ්ඤාණය පිහිටයි ද එතැන නාමරූපයෝ බැසගනිත්. යම් තැනක නාමරූප බැසගැනීම වෙයි ද එතැන සංස්කාරයන් වර්ධනය වෙයි. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනය වීමක් වෙයි ද එතැන යළි ඉපදීම සැකසෙයි. යම් තැනක ඉපදීමක් වෙයි ද එතැන ජරා මරණ සෝක වැලපුම් දුක් දොම්නස් සියල්ල හටගනියි. යම් තැනක ඉපදීමක් ජරා මරණයක් වෙයි ද එය ඉතා කරදර සහිත, ශෝක පීඩා සහිත, දුක් දොම්නස් සහිත, මහත් ආයාසකර දෙයක් බව බුදු රදුන් වදාළ සේක.
ආහාර අනුභව කරන්නටත්, ආහාර ගැන වර්ණනා කරන්නටත් පමණක් දැන සිටි ලෝක සත්වයා හට, එම ආහාරය ගැන ඇති ඇල්ම දුරු නො කළ නිසා ම සසර ගමන සකස්වන බව අවබෝධයෙන් යුතුව දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ විසිනි. ඇතැම් ආගමික නායකයන් ද කබලිංකාර ආහාරය ගැන නොයෙක් අදහස් ප්‍රකාශ කර ඇතත් ආහාරය පිරිසිඳ දුටු පරිපූර්ණ අවබෝධයක් ඔවුන් තුළ නැත. ඇතැමුන් පවසන පරිදි ආහාරය ගැන අවබෝධ කරන්නට නම් නිරාහාරව සිටිය යුතු ය. ආහාර අනුභව නො කර සිටීම ආහාරය අවබෝධ කරන මග නො වේ. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙති. එබැවින් නුවණින් සලකා තම ශරීරයේ පැවැත්ම පිණිස පමණක් ආහාර අනුභව කළ යුතු බව සදහම් ඇස් ඇති බුදු සමිඳාණෝ වදාළ සේක.
කාන්තාර මාර්ගයකට පිළිපන් මවත්, පියාත්, කුඩා දරුවෙකුත් කෑම බීම අවසන්ව වෙහෙස වී ගමන් කරයි. අවසානයේ දරුවා මිය යයි. දෙමාපියන් කෑම බීම නොමැතිකමින් තම ආදරණීය දරුවාගේ මස් අනුභව කරමින් ජීවිතය රැකගනී. මෙසේ කරන්නේ හැකි ඉක්මනින් කාන්තාරයෙන් එතෙරවන තුරු ජීවිතය රැකගැනීම පිණිස පමණි. එසේ නොමැතිව තම සිරුරේ අලංකාරය පිණිස දරුවාගේ මස් කන්නේ නැත. ශරීරය මහත් කර ගැනීම පිණිස දරු මස් කන්නේ නැත. රසයෙන් මත්වී දරු මස් කන්නේ නැත. අපගේ එක ම පුතු කොහිදැයි හඬමින් ය ඔවුන් පුත්‍ර මාංශය බුදින්නේ. කාන්තාර ගමන අවසන් වනතුරු ජීවිතය පවත්වා ගැනීමට පමණි.
මේ උපමාව භාග්‍යවතුන් වහන්සේ වදාළේ කබලිංකාර ආහාරය ගැන වටහාදීමටයි. සසර කතරින් එතෙර වීම පිණිස පිළිපන් ශ්‍රාවකයා හට නුවණින් සලකා, රසයට ගිජු නො වී ආහාර අනුභව කරන්නැයි මෙසේ පෙන්වා දුන් සේක. එනම්,
“මේ ආහාරය වළඳන්නේ ජවය පිණිස නො වේ. සිරුර මහත් කර ගැනීම පිණිස නො වේ. සිරුර පැහැපත් කර ගැනීම පිණිස නො වේ. මේ ආහාරය වළඳන්නේ කයේ පැවැත්ම පිණිස ය. යැපීම පිණිස ය. කුසගිනි දුරුකර ගැනීම පිණිස ය. නිවන් මගට අනුග්‍රහ පිණිස ය. ජීවිතය පහසුවෙන්, නිවැරදි ලෙස පවත්වා ගැනීම පිණිස ය.”
දවසක් මහානාම කියන ශාක්‍ය වංශික රජ කෙනෙක් බුදුන් වහන්සේ බැහැ දකින්න ආවා. උන්වහන්සේ මහානාම රජතුමාට ප්‍රකාශ කළා. රජතුමා ආහාර පාන ගන්න විට එසේ සිතන්න මාමේ ආහාර පාන අනුභව කරන්නේ ක්‍රිඩා පිණිස නොවෙයි. මදය වැඩීමට නොවෙයි. ශරීරය අලංකාර කිරීමට නොවෙයි. ශරීරය සැරසීම සදහා නොවෙයි. මා මේ අනුභව කරන්නේ කය පවත්වා ගැනීම පිරිණිසයි. මා මේ ආහාර පාන අනුභව කරන්නේ ධර්ම මාර්ගය තුළ ගමන් කිරීමටයි. මේ ආකාරයට සිතලා ආහාර පාන අනුභව කරනවා නම් එක පැත්තකින් ශරීරයට තියන ආසාව තණ්හාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රෝගාතුර අවස්ථාවලදී නුවණින් දැකලා ආහාරපාන අනුභව කරන්න පුළුවන්නම් හුගක් රෝගාබාධ අඩුකරගන්න පුළුවන්. නුසුදුසු ආහාර පාන නොගෙන ඉන්න පුදුමාකාර මානසික ශක්තියක් බලයක් ඇති වෙනවා. එසේ මෙය අපේ ජිවිතය නිරෝගි කර ගැනීමට බලපානවා නියතයි.
මේ ආකාරයට නුවණින් සලකා අනුභව කළ යුතු කබලිංකාර ආහාරය යම් කිසි ශ්‍රාවකයෙක් පරිපූර්ණ ලෙස අවබෝධ කරයි. ඒ ආර්ය ශ්‍රාවකයා තුළ කාම ලෝකයට නැවත නැවතත් පැමිණෙන සංයෝජනයන් දුරු වෙයි. අනාගාමී ශ්‍රාවකයෙක් බවට පත්වෙයි.