ඇංජලෝ - ස්ටේලිඕන් මෝටර් රථයේ කතාව...02
වර්තමානය
පලමු දිග හැරුම....
ඇංජලෝගේ පියා, වෛද්‍ය ජෝන් පෙරීනෝ මහතා සිය රතු වයින් වීදුරුව එසවූයේ සව්දිය පිරීමකටය. ඔහු හා කෑම මේසයට එක්ව සිටියේ ඔහුගේ බිරිඳ ජෙනී පෙරීනෝ මහත්මිය, ඇංජලෝ හා සින්ඩි මොරිස් මෙනවියයි.
"ඇංජලෝ, සින්ඩි මම ඔයාලට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා." වෛද්‍යවරයා පැවසුවේය. "ඇංජලෝ, ඔයාව රස්සාවෙන් අස් කරපු එක හොඳ දෙයක් විදියටයි මමනම් දකින්නෙ. හාර්ඩ්මන්ල වෙනුවෙන් ඔයා නාස්ති කරපු කාලය හොඳටම ඇති. තුන්වෙන්නාත් එයාගෙ සීය, පළවෙන්නා වගේම මහ කුහක මිනිහෙක් විදියටයි මම නම් දකින්නෙ. ඔයා එයාලගෙන් ගැලවෙච්චි එක ලොකුම ලොකු දෙයක්".
"ඒක නම් ඇත්ත." ඇංජලෝද කතාවට හවුල්වෙමින් කීවේය. ඔහු වයින් පානය කලේ මුඛයේ එක් පැත්තක් පමනක් භාවිතා කරමිනි. මැර ප්‍රහාරයේ ප්‍රථිපලයක් ලෙසට බිඳුනු ඔහුගේ වම් හක්ක තවමත් රැඳී තිබුනේ වෛද්‍යවරුන් යෙදූ වයර් මඟිනි. වම් තොලද තිබුනේ ඉදිමී, තඩිස්සිවීය.
"අම්මේ, තාත්තේ... අපි තීරණය කලා විවාහ වෙන්න." සින්ඩි පැවසුවේ තවත් සව්දිය පිරීමකට මුල පුරමිනි.
ජෙනී පෙරීනෝගේ කම්මුල දිගේ සතුටු කඳුළු වැගිරුනි. උපතින් කතෝලික තරුණියක නොවූවත්, සින්ඩි ඇයගේ ලේලියවීම ඇය ඉහලින්ම අනුමත කලාය. මෙම ප්‍රියමනාප තරුණිය සිය පුතුට වඩාත් ගැලපෙන බිරිඳ බව ඇය තේරුම්ගෙන සිටියාය.
පවුලේ චාරිත්‍ර වාරිත්‍ර අකුරටම පිළිපදිමින්, ඇය මෙම සතුටුදායක අවස්තාවේ, සියලුදෙනාගේ, පිඟන්වලට උවමනාවටත් වඩා වැඩියෙන් ආහාර බෙදමින් පසුවූවාය.
"අපි මේ මගුල ජයටම ගන්න ඔනේ." ඇය පැවසුවාය.
"අපි හිතුවේ හැම දෙයක්ම චාමෙට කරන්න." "අපි හිතාගෙන ඉන්නවා මගුල ඉවරවෙලා යුරෝපයේ සංචාරයකට යන්න. ඒ ගමන්ම ඩොක්ටර් හාන්ස්ව මුනගැහිල, මූණට වෙලා තියෙන හානිය හරිගස්සගන්නත් ඕනි." ඇංජලෝ පවසන්නට විය. "මගේ නියම මූණ ආපහු ලබාගන්න උත්සාහ කරන්න ඕනි".
තෙවසරකට පෙර පළවෙන්නාගේ බලවත් පෙරැත්තය නිසාම, ඇංජලෝ ස්වීට්සර්ලන්තයට ගියේ වාහන අනතුර නිසා විරූපී වී තිබූ සිය මුහුණ නැවත සකසා ගැනීමටය. එවර, ඔහුගේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා සිය මනාපය පරිදි ඇංජලෝට වඩාත් තරුණ පෙනුමැති මුහුණක් ලබා දීමට කටයුතු කර තිබුනි. වෛද්‍යවරයා සිය ශල්‍ය සැත හා නිර්මාණ හැකියාව උපයෝගී කරගනිමින්, ඇංජලෝගේ හතලිස් හැවිරිදි මුහුණ විසි හැවිරිදි මුහුණක් බවට පරිවර්ථනය කර තිබුනි. නමුත් මෙවර ඔහුට උවමනා වූයේ වයසට ගැලපෙන මුහුකුරා ගිය මුහුණකි. මැර ප්‍රහාරය නිසා මුහුණට සිදු වී තිබූ හානිය නැවත සකසා ගැනීමේදී එම අරමුණද ඉටු කර ගැනීම ඇංජලෝගේ අභිප්‍රාය විය.
"එක අවුරුද්දකදීම වෙනස්කම් මහ ගොඩක්" වෛද්‍ය පෙරීනෝ පවසන්නට විය. "මට නම් විශ්වාසයි හැමදේම හොඳ අතට සිද්ද වෙයි කියලා."
"සමහර වෙනස්කම් වලට ඔයාල කැමතිවෙයිදත් මන්ද" ඇංජලෝ පවසන්නට විය. "අපි තීරණය කලා ඩෙට්‍රොයිටය අතඇරල යන්න. සින්ඩියි මමයි ගොඩක් කතාබහ කරල තමා මේ තීරණයට ආවෙ. කොහොම නමුත් අපි මෙහෙන් ය්න එකනම් ස්ථිරයි"
"ඒ උනත් අපිට ඔයාලව බලන්න එන්න පුළුවන්නෙ?" ඇංජලෝගේ මව ඇසුවාය.
"ඔව්. ඒ විතරක් නෙවෙයි. අපිත් එනවා ඔයාලව බලන්න, නිතරම. සමහරවිට අපි එන එක එපාවෙන තරමටම" සින්ඩිද කතාබහට එකතුවෙමින් පැවසුවාය.
"ඔයාල ළමයි හදනවනෙ?" ඇංජලෝගේ මව නැවත ඇසුවේ මුවපිරි සිනාවක්ද සමගිනි.
"අඩුම ගානෙ හයක් හතක්වත්" සින්ඩිද සිනාවක් සමඟම පිළිතුරු දුන්නාය.
"ඇයි ඔයාල ඩෙට්‍රොයිටයට කැමති නැද්ද?" වෛද්‍ය පෙරීනෝ විමසන්නට විය.
"ඩෙට්‍රොයිටය කියන්නෙ, කුණුවෙච්චි, මහ භයානක ප්‍රදේශයක්. ඇංජලෝ පිළිතුරු දුන්නේය.
"හැමදෙයක්ම කාලයත් සමඟ වෙනස් වේවි." වෛද්‍යවරයා පවසන්නට විය.
"සමාවෙන්න මෙහෙම කිව්වට. මේක ඔයාල ඉපදුන නගරය තමයි. නමුත් අපිට මෙහෙ අතහැරල යන්න එකක් නෙවෙයි හේතු කීපයක්ම තියෙනවා. මම හිතන්නෙ නිව්යෝර්ක් තමා අපිට හරියනම ටවුන් එක. ඇත්තම කියනවානම් මටනම් මේ ටවුමෙ ඉන්න එක ඇතිම වෙලා තියෙන්නෙ" සින්ඩි පැවසුවේය.
ඇංජලෝ සිනාසෙන්නට විය. "අපිට මෙහෙන් යන්නම වෙනවා. මට කොහොමත්ම බැරිවෙයි සින්ඩිගෙ හිත වෙනස් කරන්න."
"ඔයා කොහෙත්ම එහෙම කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මමත් හිතනවා ඔයාල ගත්ත තීරණේ හරි කියල." ඇංජලෝගේ මව පැවසුවාය.
"ඒකනෙවෙයි.. ඇංජලෝ ඔයාට මතකද ඔයාගෙ සීයව; ඇංජලෝ?"
"මොකද නැත්තෙ අම්මෙ. මට හොඳට මතකයි."
කොහොම උනත් ඔයා එයාව බලන්න සිසිලියට නොගිය එකනම් වැරදියි. දැන් ඉතින් ඔයාට එයාව මුනගැහෙන්න වෙන්නෙ දිවිය ලෝකෙදි තමයි. මමනම් හිතන්නෙ ඔයා සිසිලියටත් ගිහින් එහෙ ඉන්න ඔයාගෙ නෑදෑයො....."
"නෑ...නෑ... මමී.." වෛදයවරයා බාදා කරන්නට විය. "අපි දැන් ඒ සම්බන්දතා අතඇරපු ගානටනේ ඉන්නෙ. ඒ නිසා සින්ඩියි ඇංජලෝයි කොහෙත්ම සිසිලියට යන්න ඕනි නෑ."
"මගේ සීයා කාලෙකට ඉස්සෙල්ලා මෙහෙ ඉඳලා සිසිලියට පිටුවහල් කලාලු." ඇංජලෝ සින්ඩිට විස්තර කරන්නට විය. "එයා මෙහෙ ප්‍රසිද්ද වෙලා ඉඳල තියෙන්නෙ නොම්බර එකේ පාතාල නායකයෙක් විදියට"
"මගේ සීයාත් සිටුවර හොරෙක්. ඒකනෙ එයාට පුලුවන්වෙලා තියෙන්නෙ අසාමාන්‍ය විදියට සල්ලි හම්බ කරන්න!!" සින්ඩිද කතාබහට එක් වෙමින් පවසන්නට විය.
"ඔයාගෙ දර්ශනේනම් හරිම අපූරුයි; සින්ඩි" ඇංජලෝ කීවේය.
"ඇංජලෝ, දැං අනුන්ගෙ දර්ශන ගැන හිතපු කාලෙ හොඳටම ඇති. දැං ඇවිත් තියෙන්නෙ ඔයාටම කියල දර්ශනයක් ගොඩනඟා ගන්න සුදුසුම කාලෙ. බලන්න, ඔයා හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සෙ මොකද කලේ රේස් පැද්ද. ඒක ඉවර උනේ මරණය ළඟටම ගිහින්. ඊට පස්සෙ අනුන් වෙනුවෙන් කාර් හැදුව. අර කොහෙවත් ඉන්න නාකි මිනිහෙකුගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා එයාට එයාගෙ කොම්පැනිය බේරල දුන්න. හොඳට හිතල බලන්න. ඒක එයාගෙ මිසක් ඔයාගෙ කොම්පැනිය නෙවෙයි. ඒක ඉවර උනේ මැරයන්ගේ ගුටිකාල, ආපහු පාරක් මරණය ළඟටම ගිහින්. යාන්තං ඒකෙනුත් ගැලවිච්චි. දැංවත් ඔය විකාරවැඩ අතඇරල ඔයා වෙනුවෙන්, ඔයාට ආදරය කරන අය වෙනුවෙන් යමක් කරන්න පටන් ගන්න. මේක තමා ඒකට හොඳම අවස්තාව. " ඇංජලෝගේ මව පැවසුවාය.
.....
"දෙවියනේ!!! එයාල ඔයාට හොඳටම පහර දීලනෙ." බෙට්සි වෑන් ලුඩ්විග් ඇංජලෝගේ පහර කෑමට ලක්වූ මුහුණ හොඳින් නිරික්ෂමින් පැවසුවාය. ඇංජලෝ හා සින්ඩි සිටියේ බෙට්සිගේ ඇම්ස්ටර්ඩෑම් නිවසේ ආලින්දයේ වාඩි වී ඇය හා සුහද කතාබහක නිරත වෙමිනි.
"ඔව්! මේක සාමාන්‍ය පහර දීමකට වඩා එහා ගිය දෙයක් එලිසබෙත් මෙනෙවිය." ඇංජලෝ පැවසුවේය.
"ඇංජලෝ, මම ඔයාට කියල තියෙනවා මට එලිසබෙත් කියන්න එපා කියලා. තව එක පාරක් හරි ඒ නම කිව්වොත් මම ගහනව අතට අහුවෙන එකකින්. ඔයා මං වෙනුවෙන් කාර් එකක් හැදුව. ඒකෙ නමත් බෙට්සි. ඉතිං ඇයි ඔයාට මට බෙට්සි කියල කතා කරන්න බැරි?"
"මං දන්නෙ නෑ. එතකොට මට හිතෙන්නෙ මම කාර් එකකට කතා කරනවා වගේ." ඇංජලෝ කීවේය.
"ඒක මගේ නම ඇංජලෝ! කරුණාකරල ඒක පාවිච්චි කරන්න" බෙට්සි පැවසුවාය. "ඉතිං කවද්ද දැං ස්විට්සර්ලන්තෙට යන්න හිතාගෙන ඉන්නෙ?"
"වෛද්‍ය පෙරීනෝ කියන්නෙ ප්ලාස්ටික් සැත්කමට කලිං තුවාලටික හොඳ කරගෙන ඉන්න ඕනෙ කියලා. අපි ලංඩන්වල මාසයක් හිටිය. දැං ඇම්ස්ටර්ඩෑම් වල සති දෙකක් ඉන්නවා. ඊට පස්සෙ රිවේයිරා.. එහෙත් ටික කාලයක් ඉඳල ස්විට්සර්ලන්තෙට යනවා සැත්කමට". සින්ඩි පැවසුවාය.
"මම ප්‍රාර්ථනා කරනවා සැත්කම සීයට සීයක්ම සාර්ථක වෙන්න කියලා." මැක්ස් වෑන් ලුඩ්විග්ද කතාබහට එකතු වෙමින් පැවසුවේය.
බෙට්සි, මැක්ස් හා විවාහ වූයේ ඇගේ දරුවාට නීත්‍යානුකූල පියෙකි අවශ්‍යවූ නිසාම පමනි. ඔවුන්ගේ විවාහය හාර්ඩ්මෑන්ලාගේ මුදල්වල බලය නිසා සිදුවූ අමුතුම ආකාරයේ විවාහයක් විය. බෙට්සිට දරුවාට නීත්‍යානුකූලභාවයක් ලබාදී ටික කලකින්, ඔවුන් දික්කසාදවනු ඇත. මැක්ස් නැවතත් ඔහුගේ පෙර බිරිඳවම විවාහ කරගනු ඇත. ඇංජලෝ මේ සියල්ල හොඳින් දැන සිටියේය.
කෙසේ නමුත්, මැක්ස් ඉතා හොඳ පුද්ගලයෙකු බව ඇංජලෝට පෙනී ගියේය. දරුවාගේ නියම පියාද ඔහුම විය. නිවැරදිම දේ මෙයබව ඔහුද සිතුවේය. ඔහුගේ පෙර බිරිඳ සිය නිවසේ රඳවා, ඔහු බෙට්සි සමඟ වෙනමම නිවසක පදිංචි වී සිටියේය. එය දාහත්වන සියවසේදී පටන් පැවත එන ඉතාම සුඛොපභෝගී නිවසක් විය.
බෙට්සි, විසිවන වියේ පසුවූ අති සුන්දර තරුණියක් විය. එවන් තරුණියක හා එක්ව වසන මැක්ස්, සිය පොරොන්දුව ප්‍රාකාරව, මෙම විවාහය අවසන් කර, නැවතත් සිය පළමු බිරිඳ වෙතට යනු ඇත්ද යන්න සින්ඩිගේ සිතේ හොල්මං කල ප්‍රධානතම ගැටලුව විය.
බෙට්සි, ඉතාම සුඛොපභෝගී දිවි පෙවෙතකට උරුමකම් කියන හා ඉතා විනෝදයෙන් කාලය ගත කරන තරුණියක බවට සාධක බොහොමයක් එම නිවසෙන් දැක ගැනීමට සින්ඩී සමත් විය. ඇය වටා ලෝකය කෙසේ භ්‍රමනය වූවත්, ඇගේ ජීවන රටාව වෙනස් කිරීමට කිසිවක් සමත් නොවනු ඇතිබව සින්ඩී වටහා ගත්තාය.
නව යුවල මීළඟට සිදුකලේ බෙට්සී හා ඔහුගේ සැමියා සමඟ ඔවුන්ගේ දරුවා බැලීමට යාමයි. තවමත් දෙමස් හැවිරිදි වියේ පසුවූ දරුවාගේ නියම නම ලොරෙන් වෑන් ලුඩ්විග් වූවත්, බෙට්සි ඔහු ඇමතුවේ හතරවෙන්නා ලෙසිනි. දරුවාගේ කටයුතු බලා කියා ගැනීමට ඒ වනවිටත් පළපුරුදු කාන්තාවකගේ සේවය ලබා ගැනීමට බෙට්සි කටයුතු කර තිබුනි. දරුවා දැක බලා ගැනීමෙන් පසු ඔවුන් නැවතත් ආලින්දයට පැමිණියහ.
"අපි අද රාත්‍රියේ ඔයාල වෙනුවෙන්, රිජෙස්ටෆෙල් අවන්හලේ මේසයක් වෙන් කරල තියෙනවා. ඒක තමා මෙහෙ තියෙන විශිෂ්ඨතම ලන්දේසි අවන්හල" මැක්ස් නැවතත් කතාබහට අවතීර්ණ වෙමින් පැවසුවේය.
......
රිජෙස්ටෆෙල් අවන්හල පිලිබඳ මැක්ස් පැවසූයේ අතිෂෝක්තියක් නොවනබව වටහා ගැනීමට ඇන්ජලෝට වැඩි වේලාවක් ගත නොවීය. ඇත්තෙන්ම එහි ආහාර ඉතා රසවත් වීය.
"ඇංජලෝ, ඔයාගේ අනාගත සැලසුම් මොනවද?" බෙට්සි විමසුවාය.
"මට තෝරා ගැනීම් කීපයක්ම තියෙනවා. බෙත්ලෙහෙම් එකේ මගේ කොටස්වල වටිනාකම විතරක් ඩොලර් මිලියන හයක් විතර වෙනවා. සමහරවිට ඒ ටික විකුණලා දාන එක මගේ පළවෙනිම සැලසුම වේවි."
"අපෝ ඒකනම් කරන්න එපා. ඔයාට විකුණන්නම ඔනිනම් මට විකුණන්න. මම කොහොම හරි සල්ලි හොයා ගන්නම්. ඔයා ඒ කොටස් ටික ගත්තෙ ඩොලර් මිලියනයකට නේද?"
"බෙට්සි, ඔයා ඒකත් දන්නව එහෙනම්"
"මොකද මම නොදන්නෙ. සීය ඒ කොටස් ටික ඔයාට දුන්න කියල දැනගත්තහම මගේ තාත්තට හොඳටම තරහ ගියා. එයා කැමති නෑ එයාගෙ ආයතනයේ කොටස් අපේ පවුලෙන් පිට අය අතට යනවට"
"ඔයාගෙ සීයට ඕනි උනේ බෙට්සි කාර් එක කොහොම හරි හදන්න. ඔයාගේ තාත්ත ඒකට සල්ලි යොදවන්න අකමැති වෙච්චි නිසා සීයට සිද්ද වුනා විකල්ප ක්‍රියාමාර්ග වලට යන්න. හැබැයි ඒ ඔයාගේ සීය අතට ආපහු බෙත්ලෙහෙම් එකේ පාලනය ලැබෙන්න කලින්"
"ඔයාට තියෙන අනිත් විකල්ප මොනවද ඇංජලෝ?" මැක්ස් විමසුවේ ඇතිවෙමින් තිබූ කතා බහ වෙනත් අතකට යොමු කිරීමේ අටියෙනි.
"මට කෙලින්ම තරඟෙට බහින්න පුලුවන්. මට වෙනත් ආයතන වලින් ඉල්ලීම් ඇවිල්ල තියෙනවා, එයාලත් එක්ක සම්බන්ධ වෙන්න කියලා." ඇන්ජලෝ පිළිතුරු දුන්නේය.
"වෙච්චි හැම දෙයක්ම ගැන සලකලා බලද්දි ඔයා ඒ විකල්පෙනම තොරා ගනී කියල මම නම් හිතන්නෙ නෑ." බෙට්සි නැවත කතාවට එක් වෙමින් පැවසුවාය.
"ඔව්. එහෙම උනොත් අපිට ආපහු ඩෙට්‍රොයිටයේම පදිංචි වෙන්න සිදුවේවි. ඒකනම් කොහොමටත්ම කරන්න බෑ." සින්ඩි පැවසුවාය.
"අපිට අවසාන තීරණයකට එන්න තව ගොඩක් කල් තියෙනවා. අපි ආපහු ඇමරිකාවට යන්නෙ ඔපරේෂන් එක ඉවරවෙලා, සම්පූර්ණ සුවයක් ලැබුනට පස්සෙ" ඇංජලෝ පැවසුවේය.
"ඔයාල එච්චර කාලයක් යුරෝපයේ ඉන්න සැලසුම් කරල තියෙනවනම්, ආපහු සැරයක් අපේ ගෙදරටත් ඇවිත් යන්න එන්න." මැක්ස් නැවතත් කතාවට අවතීර්ණ වෙමින් පැවසුවේය.
"මැක්සුයි මමයි තව වැඩි කාලයක් එකට ඉන්න එකක් නෑ. අපි අපේ සැලසුම අනුව ලඟදීම දික්කසාද වෙනවා." බෙට්සි කිසිදු අපහසුවකින් තොරවම කියා දැම්මාය.
"ඔව්. නමුත් ඒක ඉදිරි මාස දෙක තුනේදී වෙන දෙයක් නම් නෙවෙයි." මැක්ස් පැවසුවේය.
"ඔව්." බෙට්සි පවසන්නට විය. "කොහොමටත් ඉදිරි මාස දෙකතුනේදි අපි එකට ඉඳීවි".
...........
------ Post added on Mar 3, 2021 at 2:50 PM