ඇත්තෙනුයි බොරුවෙනුයි වැඩ ගැනීම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තෙනුයි බොරුවෙනුයි වැඩ ගැනීම

    ලොව බොරුවෙන් පිරී තිබේ. බොහෝ දෙනා ජය ගැනීම යැ යි සිතන්නේ බොරුවෙන් වැඩ ගැනීමට ය. මේ බොරුව සසර දිගු කරයි. ඇත්තට යොමු වීම අපහසු යි. මේ ලේඛකයා ඇත්ත ඉදිරියට ගන්නා ආකාරය ද පෙන්වා දෙයි.

    මදුරසිංහ ගුණතිලක

    19-4.jpg


    ඇත්තෙහි බොරුවට වැඩි වටිනාකමක් ඇත; උතුම්කමක් ඇත. මෙහි මාතෘකාවේ ‘ඇත්තෙනුයි’ යන්න මුලින් යෙදුවේ එබැවිනි. ඒත් මිනිසා මේ දෙකින් වැඩ ගන්නා අන්දම දෙස බැලුවොත් මාතෘකව ‘බොරුවෙනුයි’ යන්නෙන් පටන් ගැනීම යි වඩා සුදුසු. මේ ලිපියේ බොරුවෙන් වැඩ ගන්නා අන්දම පළමුවෙන් ඉදිරිපත් කරන්නේ ද ඒ නිසා ය. ඒ පිළිබඳ කරුණු ලියා අවසන් වන විට, ඇත්තෙන් වැඩ ගැනීම ගැන ලියන්නට යමක් ඉතිරි වේ දැ යි සැක සිතෙන තරම් ය.

    කැත්තෙන්, උදැල්ලෙන්, පෑනෙන්, කඩදාසියෙන්, ඉදිකටුවෙන්, නූලෙන්, බයිසිකලයෙන්, මොටෝරියෙන් ආදි වශයෙන් නම් කළ හැකි සියල්ලෙන් මිනිසා විසින් ගනු ලබන වැඩ ප්‍රමාණය, අද්‍රව්‍ය නාම ධර්මයක් වන බොරුවෙන් ගනු ලබන වැඩ ප්‍රමාණය සමඟ සසඳා බැලුවොත්, ඉතා බොහෝ වන්නේ, බොරුවෙන් ගනු ලබන වැඩ ම බව පෙනෙනු ඇත. ද්‍රව්‍යවලින් වැඩ ගැනීමේදී ඒ ද්‍රව්‍යත්, වැඩත් අපේ ඇසට පෙනේ. ඒවා දිනපතා ගෙවේ. බොරුවෙන් වැඩ ගන්නා විට බොරුව නො ගෙවේ; නො පෙනේ; ඒත් වැඩ පමණක් පෙනේ; එපමණක් නො වේ, ඒ වැඩ සත්‍යයේ පිරිසිදු ඇඳුමින් සැරසී ප්‍රදර්ශනය වනු ද පෙනේ. ඒ නිසා රවටන්නන් ද, රැවටිලි ද, රැවටෙන්නන් ද කලක් යන තුරු ම ප්‍රකට නො වේ; එළි නො වේ.

    මනුෂ්‍යාගේ ප්‍රධාන අවශ්‍යතා මෙන් සැලකෙන, ආහාර, ඇඳුම්, වාසස්ථාන, රැකියා, ධනය ආදිය මෙන් ම ද්විතීයික අවශ්‍යතා ලෙස සැලකෙන, සමාජයේ තත්ත්ව, නම්බුව, ප්‍රශංසාව, තනතුරු කැපී පෙනීම වැනි කරුණුවලදී මිනිසා බොරුවෙන් වැඩ ගන්නා අන්දම පරීක්ෂා කර බැලීමෙන් බොරුව ලබා ඇති උස් අසුන පැහැදිලි වෙයි.

    19-3.jpg


    ජීවත්වීමේදී ආහාර බෙහෙත් ලෙඩ රෝග එකට බැඳෙන පොකුරකි. ආහාර වනාහි බඩගින්න නම් මහා රෝගය සඳහා බෙහෙත ය. අනෙක් සියලු බෙහෙත් අනෙක් අනෙක් රෝග සඳහා ය. අද ලෝක ජනතාවගෙන් ඉතා වැඩි ප්‍රතිශතයකට ආහාරත් බෙහෙතුත් මිල දී ගන්නට සිදු වී ඇත. “මිල” පුද්ගලයා සතු වස්තු ප්‍රමාණය අනුව වියදම් කළ යුතු වේ. ආහාර - බෙහෙත් ප්‍රශ්නයට “බොරුව” ඇතුළු වනුයේ මෙන්න මේ දොරටුවෙනි. විමසා බලමු.

    දුප්පතාටත් පොහොසතාටත් වැලඳෙන රෝගවලට, දුප්පත් පොහොසත් භේදය බලා නො පායි. බෙහෙත් නිෂ්පාදකයනට ඕනෑ කරන්නේ, අඩු නිෂ්පාදන වියදමත්, වැඩි මිලත්, වැඩි අලෙවියත්, වේ. ඒ සඳහා ඔවුනට ඇතැම් වෛද්‍යවරුන්ගේ ද, ප්‍රචාරක ජන මාධ්‍යවල ද සහාය ලැබේ. එවිට, “අසවල් රෝගයට අසවල් බේත. අසවල් ආහාර. නැවතී ප්‍රතිකාර සඳහා අසවල් රෝහල. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයා අසවලා” වැනි ප්‍රඥප්ති රෝගීන් අතර පැතිර යයි. මේ සියල්ල මුදල් රැස් කිරීම උදෙසා ගොඩනැඟුණු ඒකක විනා සැබෑ ඒකක නො වේ. මෙයින් සිදු වන්නේ අසරණ රෝගීන් – විශේෂයෙන් දිළිදු රෝගීන් අමාරුවේ වැටීම ය. මෙකල බොරුවට ලැබී ඇති තැන එබඳු ය. සවිය එබඳු ය. ආහාර සහ බෙහෙත්වලට වැඩියෙන් බොරුව අලෙවි වේ.

    ඒ හැරෙන්නට, මේ කණ්ඩායම වැඩට ගන්නා බොරු ලජ්ජා නැතිව ප්‍රදර්ශනය ද කෙරේ. රටක සියලු වෛද්‍ය සේවය මහජන මුදලින් පවත්වන්නේ රෝගීන් සඳහා ය. ඒ බව අමතක කර, ලෙඩ නැති ව ලෙඩ නිවාඩු දැමීම, පෞද්ගලික හේතුන් මුල් කර රෝගීන් මියයද්දී ආරෝග්‍යශාලාවල විවිධ නිල මට්ටම්වල වැඩ වර්ජන සංවිධානය කිරීම වැනි බොරු ඒ ගණයට වැටේ. මේ සියල්ලෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ හොඳ වෛද්‍ය සේවයක් ලු! ආහාර නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය සම්බන්ධයෙන් බොරුව දක්වන සමත්කම මෙබඳු ලිපියකින් විස්තර කිරීම අපහසු ය. කොටින් ම අප කන්නේ ආහාරවලට වැඩියෙන් වස විස යැ යි කිව යුතු ය.

    19-2.jpg


    ඇඳුම් හා වාසස්ථාන සම්බන්ධයෙන් බොරුවෙන් වැඩ ගන්නා අන්දම හාස්‍ය ජනක ය. පොදු ජනයා සහභාගීී වන සමාජ උත්සවලදී ඇඳුම් පැලඳුම් අනු ව සියල්ලෝ ම එකම තලයක ප්‍රදර්ශනය වෙති. එහෙත් ඉන් බොහෝ දෙන නිවෙස් කරා විත් උඩ ඇඳුම් ඉතා ඉක්මනින් ඉවත් කරන්නෝ ය. මන් ද? ඒවා එක්කෝ ඉල්ලා ගැනුණු ඒවා වීම ය; නැතිනම් කුලියට ගත් ඒවා වීම ය. ඉන්පසු ව ඔවුන් අයත් කවර සමාජ තලයට ද යන්න නොසැඟවිය හැකි වේ.

    කලක සිට අප රටේ දේශපාලන කරළියට රෙද්ද යි බැනියම යි, පිවිස ඇත. එහි චන්ද – මනාප වටිනාකම වැඩි බව දේශපාලකයෝ දනිති. තව ද මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් අතර අංග සම්පූර්ණ බටහිර ඇඳුම ලබන තැන ද එබඳු ය. යන්තම් ව්‍යාපාරිකයා මහා ව්‍යාපාරිකයකු සේ පෙනෙන්නට සලස්වන්නට ඒ ඇඳුමට හැකියාව ඇත. ඉන් රැවටෙන්නෝ ගනුදෙනුකරුවෝ ය.

    ගෙවල ලොකු - කුඩා බව ලේසියෙන් වෙනස් කළ නොහැකි වූවත්, ඒවා ඉදිරියේ වචන මල්වලට, අතුරන තණ පිඩලිවලට ඒ අඩුව බොහෝ සෙයින් පිරිමැසිය හැකි බව නිවැසියෝ දනිති. ගෙයි පිටිපසට වන විට ඇති කිලිටි අහුමුලු, මකුළු දැල්, මීගුල්, කුණු කානු ඇත්ත කියතත්, ඉදිරියේ ඇති බොරුවෙන් සියල්ල මුවා කැරේ.

    රැකියා, උසස් සමාජ තත්ත්ව, නම්බු නාම, ප්‍රසිද්ධිය වැනි අතිරේක අවශ්‍යතා සඳහා ද, ඒවාට ඕනෑ කරන සුදුසුකම් සඳහා ද, බොරුව ක්‍රියාත්මක වන අන්දම ප්‍රසිද්ධ රහසකි. අධික ධනයක් රැස් කරගැනීම මඟින් එබඳු බොහෝ අවශ්‍යතා මිලට ගත හැකි වේ. ඊනියා අධික ධනය උපයන මාර්ග දිගේ වැඩිපුර ම ගමන් කරන්නේ ද බොරුව ය; වංචාව ය; චාටු බව ය. එහෙත් නුවණ, ස්ථානෝචිත ප්‍රඥාව, සූරකම වැනි ආලෝකවත් ඇඳුම් කට්ටලවලින් ඒ බොරු සරසා ඇත. සාර ධර්ම පැවති සමාජ උයන තුළ වවා තිබුණු කළුවර, බුරුත, සඳුන් වැනි තුරු වසා ගෙන, ඒ මත බොරුවේ දූල් වැල ලියලා යයි.

    19-1.jpg


    දැන් මෙලොව ජීවිතය සඳහා කැරෙන මෙබඳු බොරු මොහොතකට අමතක කරමු. පරලොව සුව ගැන සිතා කරන පුණ්‍ය කටයුතු වන දානය, සීල සමාදානය වැනි පිළිගත් හොඳ වැඩ පවා බොරුවෙන් බේරී ඇද්ද? මහා ධනවතෙක් ආගමික සත් ක්‍රියාවකට විශාල මුදලක් යොදයි. එහිදී ඔහු වැඩය පටන් ගැනීම, කරගෙනයෑම, අවසන් කිරීම, විවෘත කිරීම වැනි විවිධ අවස්ථාවලදී එය සියලු ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරහරී; ඒ ඒ අවස්ථාවල ඉහළ රාජකීය ප්‍රභූන් කැඳවාගනී. ඒ පිළිබඳ ඡායාරූප පුවත්පත් මඟින්, රූපවාහිනිය මගින් ලොව හමුවේ තබයි. මේ ප්‍රචාරවල අදහස කුමක් ද? තමා වෙත ප්‍රසිද්ධිය, ප්‍රභූත්වය, ගෞරවය, ප්‍රශංසාව හා දේශපාලන බිමේ කැපී පෙනීම වැනි “පින්” වැඩ සඳහා අනවශ්‍ය, ඒ නිසා ම බොරු ගොඩට එක් වන නොපින් ගොඩක් ළං කරගැනීම ය. එබැවින් නිවැරදි ව දකිතොත් මෙය හුවමාරුවකි; ගනුදෙනුවකි; ලාබ ලබන වෙළෙඳාමකි.

    මේ අන්දමට ලොව පුරා මිනිස් කැල බොරුවෙන් වැඩ ගන්නා අන්දම තවදුරටත් විස්තර කළ යුතු ද? මා මෙයින් විවෘත කෙළේ, බොරුවෙන් වැඩ ගන්නා ලෝකය දෙස එබී බැලීම පිණිස පුංචි කවුළුවකි.

    බුදු දහම හේතුඵලවාදයකි. ඒ අනුව ඉහත කී තත්ත්වයට ද හේතු තිබිය යුතු ය. මෙම එය මෙසේ දකිමි. ලොව සියලු භෞතික ද්‍රව්‍ය සහ මිනිසා ඇතුළු සියලු ප්‍රාණීන් හටගෙන තිබෙන්නේ නියාම ධර්මයේ නීති පහක් අනුව ය. එයින් එක් නියාම ධර්ම නීතියක් චිත්ත නියාම ධර්මය නමින් හැඳින්වේ. ඇත්ත, බොරුව වැනි අද්‍රව්‍ය නාම ධර්ම අයත් වන්නේ චිත්ත නියාම ධර්මයට ය. ඒ අනු ව සිත් ක්‍රියා කරන්නේ අපට ඕනෑ හැටියට නො වේ. සුබාදහමට ඕනෑ හැටියට ය. සුබාදහමේ බලාපොරොත්තු වන්නේ, සත්ත්වයා අඛණ්ඩ ව සසරේ ගමන් කරවීම වේ. මිනිසුන් පව් කරනවාට සුබාදහම කැමැති වන්නේ ඒ අනුව ය. ඒ නිසා සුබාදහමින් පවට ප්‍රබල ආධාරකය වන තෘෂ්ණාව ප්‍රදානය කැරේ. තෘෂ්ණාව විසින් මම ඉන්නවා. මට තව ඕනෑ. ඒ ඕනෑකම් ලබාගැනීමට ඕනෑ ම අපරාධයක් කළාට කාරි නෑ යන ආකල්පය ඇති කැරේ. එවිට ඇත්ත යට යයි. බොරුව ඉස්මතු වෙයි.

    මේ හේතු සාධක අනුව ඇත්ත ඉදිරියට ගන්නට නම් ‘මම’ නැති කළ යුතු වේ. දිගු කලක් මඳින් මඳ ලද පමණින් සතුටු වීම පුරුදු කළ යුතු වේ; තරග බිමින් ඈත් විය යුතු වේ; නිවීම - නිවන එක ම අපේක්ෂාව කරගෙන කටයුතු කළ යුතු වේ.
     
    • Like
    Reactions: waparc

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඇත්ත මචන්. ටික ටික වයසට යනකොට ගොඩක් අයට තේරෙනවා මෙ ලොකේ ගොඩක් දේවල් පිරිල තියෙන්නෙ බොරුවෙන් කියලා.

    rep denna baalu