පුහුණුව ලබන වෛද්‍ය ශිෂ්‍යාවකට අත වර කළ මෙල්බර්න්හි ශ්‍රී ලාංකික වෛද්‍යවරයාට මාස තුනක වෘත්තීය තහනමක්: ඕස්ට්‍රේලියානු විනිශ්චය සභාවෙන් දැඩි තීන්දුවක්!
තමා යටතේ පුහුණුව ලැබූ වෛද්‍ය ශිෂ්‍යාවකට ලිං ගි ක අතවර කිරීමේ චෝදනාව මත ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍ය විදාන පුෂ්කර ඈපා නමැති වෛද්‍යවරයාට මාස තුනක කාලයක් සඳහා වෛද්‍ය වෘත්තියේ නිරත වීම තහනම් කිරීමට වික්ටෝරියානු සිවිල් සහ පරිපාලන විනිශ්චය සභාව (VCAT) පියවර ගෙන තිබේ. බෙලරුස් රාජ්‍යයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලබා 2009 වසරේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ වයස අවුරුදු පනස් ගණන්වල අග භාගයේ පසුවන මෙම වෛද්‍යවරයාට එරෙහිව මෙම දඬුවම නියම කර ඇත්තේ අදාළ චෝදනා තීන්දු කර මාස 19කට පසුවය.
මෙම සිදුවීම් මාලාව වාර්තා වී ඇත්තේ 2021 වසරේ ඔක්තෝබර් මාසයේදීය. නඩු විභාගයේදී 'Ms. P' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අදාළ වෛද්‍ය ශිෂ්‍යාව, සිය පුහුණුවේ කොටසක් ලෙස ප්‍රාදේශීය වික්ටෝරියාවේ පිහිටි වෛද්‍ය ඈපාගේ සාමාන්‍ය වෛද්‍ය සායනයට අනුයුක්ත කර තිබූ අතර, එහිදී 2021 ඔක්තෝබර් 20 සහ 21 යන දිනවල ඔහු විසින් ඇයගේ කලවා, ඉණ සහ තට්ටම් ප්‍රදේශ අතතගා අතවර කර ඇති බව විනිශ්චය සභාව තහවුරු කළේය. එය අහඹු සිදුවීමක් නොව පෞද්ගලික යැයි සැලකෙන ශරීරාංග ඉලක්ක කරගත් හිතාමතා කළ ක්‍රියාවක් බවත්, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු සහ ශිෂ්‍යාවක අතර පවතින බලයේ විෂමතාවයෙන් (power imbalance) ඔහු අනිසි ප්‍රයෝජන ගෙන ඇති බවත් ත්‍රිපුද්ගල මඬුල්ල අවධාරණය කළේය.
තමාට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ වෛද්‍ය ඈපා, තමා දැඩි බෞද්ධයෙකු බවත් ශිෂ්‍යාවට කිසිදු වේදනාවක් ගෙන දීමට කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවත් ප්‍රකාශ කළේය. එසේම, මෙම පරීක්ෂණ සහ නඩු විභාගය හේතුවෙන් තමා දැඩි කනස්සල්ලට පත්ව මාස 21ක කාලයක් ස්වේච්ඡාවෙන්ම සේවයෙන් ඉවත්ව සිටි බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. එහෙත්, වෛද්‍යවරයා අමාරුවේ වැටෙනවාට අකමැති වූවත්, වෘත්තීයමය වශයෙන් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි බියෙන් පසුවූ අදාළ ශිෂ්‍යාව අතිශයින් "විශ්වසනීය සාක්ෂිකාරියක" ලෙස විනිශ්චය මඬුල්ල විසින් පිළිගනු ලැබීය.