ඉකොනොමැට්ටගේ බොජුන්හල 3 අලි මදිවට හරක්

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉකොනොමැට්ටගේ බොජුන්හල 3 අලි මදිවට හරක්

    :yes:
    අලි මදිවට හරක් ප්‍රශ්න


    ගව මස් කෑම හා ඒ නිසාම අනියමින් ගව ඝාතනයට අනුබල දෙන ඇතැම් අය දම්වැලින් කකුල් බැඳ පෙරහැරක ගෙන යන අලියෙකුගේ හෝ ඇතෙකුගේ 'මානව අයිතිවාසිකම්' ගැන කණගාටු වන්නේ ඇයිද යන්න ඇතැම් අයට ප්‍රශ්නයකි. ගව ඝාතනය වැළැක්වීමේ අරමුණින් ගිණි තබාගෙන සියදිවි නසාගැනීමට නොපැකිළෙන අයෙකු හෝ එවැනි ක්‍රියාවක් උත්කර්ෂයට නංවන අයෙකු කැලේ සිටින අලි පැටවෙකු මවගෙන් වෙන් කර රැගෙන විත් 'සමාජගත කිරීම' සඳහා 'නවක වදයට' ලක් කිරීම ප්‍රශ්නයක් ලෙස නොදකින්නේ ඇයිද යන්න තවත් අයට ප්‍රශ්නයකි. (සියදිවි නසාගැනීමක් නොකියා ජීවිත පූජාවක් කරන අයෙකු කියා වෙනස් අයුරකින් කිව හැකිය. කෙසේ හැඳින්වුවද, මා අදහස් කරන්නේ යම් පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් තම ජීවිතය අවසන් කර ගැනීමයි.)

    මේ ආකාරයේ 'අලි මදිවට හරක්' ප්‍රශ්න වලට පිළිතුර ඇත්තේ ප්‍රශ්නය තුළමය. වෙනත්, අයුරකින් කිවහොත් ප්‍රශ්නය අසන සන්දර්භය තුළය. ඉහත ප්‍රශ්න මතුවන්නේම යම් නිශ්චිත ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂවය. ඒ නිසා, වෙනත් ආගමික, සංස්කෘතික හා මතවාදී රාමුවකට සාපේක්ෂව ඇතැම් විට මේ ප්‍රශ්නයට පිළිතුර අවිවාදිත එකක් විය හැකි අතර තවත් රාමුවකට සාපේක්ෂව මෙහි පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් නොතිබෙන්නට වුවත් පුළුවන.

    ඉහත ප්‍රශ්න ඇසෙන්නේ අලියෙකුගේ ජීවිතය සහ හරකෙකුගේ ජීවිතය සමාන ලෙස සලකන රාමුවකට සාපේක්ෂවය. මෙය තවත් දිගු කළහොත් මේ රාමුව යනු පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුවයි. සංස්කෘතිකව ලංකාවේ බොහෝ දෙනෙකු කාලයක් ජීවත් වී ඇත්තේත්, දැනට ජීවත් වන්නේත් මෙවැනි සංස්කෘතික රාමුවක් ඇතුළේය. මේ රාමුවේ පදනම ප්‍රාග්-බෞද්ධ වෛදික මතවාදී රාමුවයි.

    බුද්ධ කාලයට පෙර සිට වත්මන් ඉන්දියාවේ පැවති විශ්වාසයන්හි මෙන්ම අදටත් බොහෝ දෙනකු අදහන හින්දු හා ජෛන ආගම් වල භෞතික සිරුරට වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ භෞතික සිරුර තුළ ඇතැයි සැලකෙන අධ්‍යාත්මික සිරුරට නැත්නම් ආත්මයටය. මේ විශ්වාස අනුව, 'සැබෑ' පුද්ගලයා යනු මේ ආත්මයයි. භෞතික සිරුර යනු මේ 'සැබෑ' පුද්ගලයා තාවකාලිකව ජීවත් වන නිවෙසයි. මේ අතින් මේ අදහස ආබ්‍රහමික ආගම් වල දැනට පිළිගැනෙන ආත්මය පිළිබඳ සංකල්පය සමඟ ගැලපේ. (ඇතැම් දේවධර්මාචාර්යවරුන්ට අනුව ආත්මය යන අදහස ආබ්‍රහමික ආගම් වලට පසුව එකතු වූවකි. මුලදී තිබී ඇත්තේ ශුද්ධාත්ම සංකල්පය පමණි.) කෙසේවුවද, පැරණි ඉන්දියානු ආගම් ආබ්‍රහමික ආගම් සමඟ සම්පාත වන්නේ පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා පමණි.

    සංසාර සංකල්පය බෞද්ධ සංකල්පයක් නොවේ. එය බුද්ධ කාලයට බොහෝ පෙර සිට පැවති සංකල්පයකි. මේ අනුව, 'සත්ත්වයා' ගිණිය නොහැකි වාර ගණනක් සංසාරයේ මැරි මැරී උපදී. මෙසේ මැරි මැරී නැවත නැවතත් උපදිද්දී විනාශ වන්නේ භෞතික සිරුර පමණි. මිය යන වාරයක් පාසා අළුත් 'නිවසක්' සොයා ගන්නා ආත්මය මරණය හේතුවෙන් විනාශ නොවේ. මරණින් මතු ලැබෙන අළුත් නිවස ගව සිරුරක් හෝ ඇත් සිරුරක් විය හැකිය. අවසානයේ විමුක්තිය ලබන්නේ මෙසේ අස්ථිර සිරුරු නිවෙස් කර ගනිමින් කාලාන්තරයක් සසර සැරි සරන ආත්මයයි.

    ජීවිතය ස්වභාව ධර්මය සමඟ කරන නිරන්තර සටනක් වූ මැදපෙරදිග කාන්තාර දේශගුණයේ ජීවිතයට සාපේක්ෂව පැරණි ඉන්දියාවේ ජන ජීවිතය වඩා සුමට හා සාමකාමී එකක් විය. මේ පරිසරය තුළ ජීවත් වූ මිනිසුන්ට අලින් හා හරකුන් යනු තමන්ගේ ආහාරයක් ලෙස නොපෙනී තමන්ට දැනෙන හැඟීම් දැනීම් එලෙසින්ම දැනෙන තමන්ගේම අනෙකා ලෙස පෙනෙන්නට ඇත.

    කිසියම් මතවාදී හෝ සංස්කෘතික රාමුවක් වෙනත් රාමුවකට සාපේක්ෂව ප්‍රශ්නකාරී වුවත්, අදාළ රාමුව තුළ එවැනි ප්‍රශ්නයක් නැත්නම් ඒ රාමුව කාලයක් ස්ථායීව පවතී. එවැන්නක් වෙනස් වන්නේ වෙනත් බාහිර සංස්කෘතික රාමුවක් සමඟ ගැටුණු විටය. එහෙත්, යම් රාමුවක් එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන විට, අදාළ රාමුව ස්වාධීනවම පැවතුණේ වුවද එවැනි අභ්‍යන්තර විසංවාද ඉවත් කරගැනීම සඳහා, ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

    පණ ඇති සෑම සත්ත්ව ජීවිතයකටම සමාන වටිනාකමක් ඇතැයි යන රාමුව එම රාමුව තුළම ප්‍රශ්න කෙරෙන්නකි. පළමු මූලික ගැටළුව වන්නේ පණ ඇති සත්ත්ව ජීවිතයක් යනු කුමක්ද යන්නයි. මෙහිදී ඕනෑම විශ්ලේෂණයක් ඇරඹෙන්නේ තමන්ට සාපේක්ෂවය. 'මම' යනු 'පණ ඇති ජීවියෙක්' වේනම් මා තරමට 'දියුණු' නැති මගේ අළුත උපන් දරුවාද පණ ඇති ජීවියෙක් විය යුතුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ 'මගේ ජීවිතය තරමටම වටිනා' ජීවිතය මගේ ජීවිතය තරමටම හෝ ඊට වඩා යහපත් කර ගැනීමට ලබාදෙන උදවුවක් වශයෙන් මා මගේ දරුවාව මා හොඳයයි සිතන ආකාරයට පුහුණු කළ යුතුය. මේ සංකල්පය ඉන්පසුව මගේ පවුලෙන් පිටතට හා මගේ කුලයෙන්, ජනවර්ගයෙන් පිටතට ආදී වශයෙන් පළල් කළ හැකිය. ඉන්පසු මගේ බල්ලා, පූසා, හරකා හෝ අලියා දක්වාත් මගේ නොවන වෙනත් බල්ලන්, පූසන්, හරකුන් හා අලින් දක්වාත් පුළුල් කළ හැකිය. ඇසට පෙනෙන සියළු සතුන් දක්වාත්, ඇසට නොපෙනෙන සතුන් දක්වාත් පුළුල් කළ හැකිය. සතුන් නොවන ගස්වැල් දක්වාත් පුළුල් කළ හැකිය.


    මෙසේ මා හඳුනාගන්නා මට මෙන්ම ආත්මයක් ඇති පණ ඇති සතුන් පරාසය පුළුල් කරගෙන යන විට තවත් බාධකයක් හමුවේ. ඒ මගේ ආහාර යනු මොනවාද යන්නයි.

    මිනිසෙකුට ඔහුගේ පවුලේ සාමාජිකයෙකුව හෝ වෙනත් මිනිසෙකුව මරා මස් ආහාරයට ගන්නට බැරිකමක් නැත. එහෙත්, එවැනි දේ සිදුවන්නේ ඉතා කලාතුරකිනි. තමන්ගේම වර්ගයා (තමන් සමඟ සංසර්ගයෙන් සරු ජනිතයෙකු බිහි කිරීමට හැකි තරම් සමානත්වයක් ඇති ජාන දරන අය) විනාශ කරන සත්ත්ව වර්ගයකයට දීර්ඝකාලීනව වඳ වී නොසිටිය හැක්කේ කෙටි කලක් තුළ ඉතා විශාල ජනිතයන් සංඛ්‍යාවක් බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැකියාවක් ඇත්නම් පමණි. මෙවැනි හැකියාවක් ඇති සතුන් සුලභ නැත. ඒ නිසා තමන්ගේම වර්ගයාගේ මස් ආහාර ලෙස නොසැලකීමේ පදනම පැහැදිලි එකකි. එසේනම්, හෝමෝ සේපියන්ස්ලාට සංසර්ගයෙන් සරු ජනිතයින් බිහි කළ නොහැකි අනෙක් සතුන්ගේ මස්?


    භෞතික සිරුර විනාශ වීමෙන් පසු තව දුරටත් ඉතිරි වන ස්ථිර ආත්මයක් ඒ තුළ තිබේයැයි සිතූ විට එවැනි ආත්මයක් සහිත ජීවියෙක් ආහාරය පිණිස හෝ වෙනත් හේතුවකට මරණයට පත් කිරීම ප්‍රශ්නයක් වේ. ඒ නිසා, ආත්මයක් සහිත "පණ ඇති" හා ආත්මයක් රහිත "පණ නැති" දේ වෙන් කර ගැනීමට නිර්ණායකයක් අවශ්‍ය වේ. ඒ සඳහා, කොතනින් හෝ ඉරක් අඳින්නට සිදු වේ. එහෙත්, මේ ඉර කාටත් එකඟ විය හැකි පැහැදිලි එකක් නොවේ.


    ආබ්‍රහමික ආගම් වල මේ ඉර ඇඳ ඇත්තේ මිනිසුන් අනෙකුත් සියළුම සතුන් හා ශාක වලින් වෙන් කරමිනි. මේ අනුව, එක්කෝ අනෙකුත් සතුන්ට මිනිසුන්ට මෙන් ආත්මයක් නැත. එසේ නැත්නම්, සතුන්ට ඇත්තේ මිනිසුන්ට ඇති ආත්මයට වඩා වෙනස් ආත්මයකි. මේ අනුව, ආහාරය පිණිස සතෙකු මැරීමේ හා තිරිඟු ගසක් කපා තිරිඟු ඇට සූරා ගැනීමේත් බිත්තරයක් තැම්බීමේ හා අර්තාපල් අලයක් තැම්බීමේත් ආකෘතිමය වෙනසක් නැත. බෞද්ධ ඉගැන්වීම් වලට වඩා පරම්පරාවකින් පරණ, පරම අවිහිංසාවාදී ධර්මයක් වන ජෛන ඉගැන්වීම් අනුව ආහාරය පිණිස සතෙකු මැරීම මෙන්ම ශාකයක් විනාශ කිරීමද වරදකි. මේ නිසා ජෛනාගමිකයෝ ආහාරයට ගන්නා කොටස ලබා ගැනීම සඳහා ජීවී ශාකයක් 'මරා දැමිය යුතු' අල වර්ග හා ළූණු වර්ග ආහාරයට නොගනිති.

    සිද්ධාර්ථ ගෞතමයන්ගේ ඉගැන්වීම් අනෙකුත් සමකාලීන මෙන්ම පසුකාලීන ආගමික ඉගැන්වීම් වලින් මූලික වශයෙන්ම වෙනස් වන්නේ භෞතික සිරුර තුළ ඇති ස්ථිර හෝ සදාකාලික ආත්මයක් පිලිබඳ අදහස ප්‍රතික්ෂේප කිරීම නිසාය. (ආත්මවාදය ප්‍රතික්ෂේප කළ වෙනත් ශාස්තෘවරුද බුද්ධ කාලයේ මෙන්ම ඊට පෙරත් සිටියහ.)

    "කොයි සතාගේ පණත් සමානය" යන වෛදික අදහස බෞද්ධ ඉගැන්වීම් සමඟ ගැලපෙන්නක්යයි මා සිතන්නේ නැත. බුද්ධ දේශනා වලින් බොහෝ විට ඉස්මතු වන්නේ වෙනත් සත්ත්ව ජීවිත වලට සාපේක්ෂව මිනිස් ජීවිතයක ඇති වැඩි වටිනාකම පිලිබඳ අදහසයි. සිද්ධාර්ථ ගෞතමයින් විසින් දකින මිනිසා බුද්ධිය අතින් අනෙක් සියළු සත්ත්ව වර්ග වලට වඩා ඉදිරියෙන් සිටින සතෙකි.

    බෞද්ධ අවිහිංසාවාදයේ පදනම වනුයේ වැඩි බුද්ධි මට්ටමක් ඇති මිනිසුන් විසින් තමන්ට මෙන්ම හැඟීම් දැනීම් ඇති, මරණය හා දඬුවම් හේතුවෙන් බියට හා තැති ගැන්මට පත්වන තවත් සතෙකුව එසේ වේදනාවට පත් කිරීම නොතරම් දෙයක් බවයි. එය පුද්ගල නිදහස පිළිබඳ සංකල්පය හැඟීම් දැනීම් ඇති වෙනත් සත්ත්ව කොටස්ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීමක් මිස හරකෙකුගේ හෝ අලියෙකුගේ ජීවිතය මිනිස් ජීවිතයක් සමඟ සමාන කිරීමක් නොවන බව මගේ අදහසයි.

    economatta.bloggspot.com?
     

    Similar threads