ඉකොනෝමැට්ටාගේ බොජුන් හල

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉකොනෝමැට්ටාගේ බොජුන් හල

    http://economatta.blogspot.com/

    God bless Venezuela!! වෙනිසියුලාවට මොකද වෙන්නේ?


    "Sri Lanka should take Venezuela as an example and follow in their footsteps. It is more effective than trying to find development models from history and the Western world."

    "ශ්‍රී ලංකාව වෙනිසියුලාව ආදර්ශයට ගනිමින් ඔවුන් ගමන් කරන මාර්ගයේ ගමන් කළයුතුයි. ඉතිහාසයෙන් හා බටහිර ලෝකයෙන් සංවර්ධන ආකෘති සොයනවාට වඩා එය ඵලදායීයි."

    ලංකාවේ හිටපු ඇමතිවරයෙකු විසින් ඉහත ප්‍රකාශය කර දැන් වසර හතර හමාරක් ගතවී තිබේ. ඒ වන විට වෙනිසියුලාවේ ජනාධිපති වූ හියුගෝ චාවේස් සිය තෙවන ධුර කාලය නිමා කිරීමට ආසන්නව සිටි අතර පිළිකාවක් සඳහා ප්‍රතිකාර අරඹා සිටියේය. එමෙන්ම, චාවේස්ට මෙන් රටේ ජනාධිපති ධුරය තෙවන වරට හෙබවීමට ලංකාවේ පුරවැසියෙකුට තිබුණු නීතිමය බාධාව ඉවත් කරගැනීමට දහ අටවන සංශෝධනය සම්මත කරගෙන ගත වී තිබුණේ මාස ගණනක් පමණි.

    2013 මාර්තුවේදී චාවේස් පිළිකා රෝගය හේතුවෙන් ජනාධිපති ධුරයේ මෙන්ම සිය දිවියේද ධුර කාලය අවසන් කළේය. එහෙත්, චාවේස්ගෙන් පසු බලයට පැමිණි නිකොලස් මදුරෝ චාවේස් ගමන් කළ මඟින් ආපසු හැරුණේ නැත. මේ අතර, 2014 ජනවාරියේ ලංකාවේ ඇතිවූ දේශපාලනික වෙනස්කම් හේතුවෙන් ඉහත ප්‍රකාශය කළ හිටපු ඇමති වරයාට ලංකාව වෙනිසියුලාව ගිය මඟ ගෙන යන්නට උත්සාහ දැරීමට තිබුණු අවස්ථාව ගිලිහී ගියේය. දහනව වන සංශෝධනය මඟින් පෙර සිදුකළ ඇතැම් වෙනස්කම් ආපසු හැරවිණි.

    මෙසේ දෙමඟක යන්නට පටන් ගැනීමෙන් පසු ලංකාවේ තත්ත්වය ගැන අපි බොහෝ දෙනෙකු දන්නෙමු. එසේනම්, දැන් වෙනිසියුලාවට කොහොමද?

    "I live in Carabobo, Venezuela, can confirm, i have to get up at 3 am on saturdays to wait in line, i can't go any other day because i have college, my friends are in the same spot. Waiting lines are not only "annoying" but they are dangerous, people get really freaking stressed after 8 hours waiting, there's yelling and fighting in almost every packed place with food, and when things are running out, shit gets serious. We literally have to fight for food sometimes, i live with a family of five and only my mom and i can buy things, truly, these are horrible times."

    දේශ සීමා නැති අන්තර්ජාලය හරහා වෙනිසියුලානුවන්ගේ අඳෝනාවන් දැන් නිමක් නැතිව ඇසේ. කෘතීම මිල පාලනය නිසා රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වාගේ ඇණහිට ඇති අතර රටවැසියන්ට ආනයන මත යැපෙන්නට සිදුවී තිබේ. එහෙත්, රට පුරා දැඩි භාණ්ඩ හිඟයකි. පාන් ගෙඩියක් හෝ කිරි ගැලුමක් ගන්නට උදේ පාන්දර තුනේ පමණ සිට පැය හත අටක් පෝලිම් වල රස්තියාදු විය යුතුය. එසේ ලබා ගත්තද, පෝලිමේ පසුපසින් සිටි බලාපොරොත්තු කඩ වූ අයෙකු ඔබට පහර දී පාන් ගෙඩිය උදුරා ගන්නට ඉඩ තිබේ. රජයේ රැකියා හැරුණු විට රටේ කිසිදු රැකියා උත්පාදනයක් නැත. රජයේ සේවකයින් වැඩ කළ යුත්තේ සඳුදා හා අඟහරුවාදා දිනවල පමණි. සති අන්තය දින පහකි. පාසැල් සතියද කෙටි වී ඇත. දිනකට පැය හතරක් විදුලිය කැපේ. රට පුරා ජල හිඟයකි. රෝහල් වල බෙහෙත් නැති නිසා රෝහලකට ඇතුළු වූ පසු වෙනත් රෝහලකට යැවේ. එතැනින් තවත් තැනකටය. එහෙත්, රටපුරාම මේ තත්ත්වයේ වෙනසක් නැත. රජයට හා ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ සීමිත පිරිසකට පමණක් රටේ ඇති සීමිත සම්පත් වෙත ප්‍රවේශ වීමට හැකියාව තිබේ. එහෙත්, දැන් දැන් බැරැක්ක වලටද කෑම සීමා වෙමින් පවතින අතර හමුදා සෙබළු එළුවන් හොරකමේ යති.

    කලක් කලාපයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත් පොහොසත්ම ලතින් ඇමරිකානු රටක් වූ වෙනිසියුලාවට මෙහෙම වුනේ ඇයි?

    වෙනිසියුලාව ප්‍රධාන වශයෙන්ම තෙල් මත යැපෙන රටකි. රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%ක් පමණත්, අපනයන ආදායමෙන් 95%ක්මත් ලැබෙන්නේ පෙට්‍රෝලියම් නිෂ්පාදන වලිනි. මේ නිසා වෙනිසියුලා ආර්ථිකය ලෝක තෙල් මිලේ උච්චාවචයනයන්ට බොහෝ සංවේදී ආර්ථිකයකි. ලෝක තෙල් මිල ඉහළ යන විට මහන්සියකින් තොරවම එහි වාසිය ලබන වෙනිසියුලා ආර්ථිකය තෙල් මිල පහත වැටෙන විට අර්බුදයට ලක්වේ. ඊට අමතරව මේ දිනවල වෙනිසියුලාව නියඟයෙන්ද බැට කයි.

    හියුගෝ චාවේස් පළමුව බලයට පැමිණුනේද වෙනිසියුලාව මෙසේ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි කාලයකට පසුවය. කෙසේ වුවද, එයින් පසු ලෝක තෙල් මිල නැවත ඉහළ යාම නිසා වෙනිසියුලාවේ ආර්ථික තත්ත්වය නැවතත් යහපත් විය. මේ 'තෙල් සෞභාග්‍යයේ' පිහිටෙන් චාවේස්ට රටේ අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගත් සුභසාධන ආර්ථිකයක් පවත්වා ගැනීමට හැකි වූ අතර ඒ හේතුවෙන් රට තුළ මෙන්ම රටින් පිටතද ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගියේය. කලක් ඇමරිකාවේ පදිංචිව සිට වෙනිසියුලාවට නැවත යාමෙන් පසු සිය ඇමරිකානු මිතුරන් සමඟ සම්බන්ධතාව පවත්වා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ, දැනට ලොව පුරා ඉතා ජනප්‍රියව ඇති බ්ලොගයක් වසර දහතුනක් තිස්සේ පවත්වාගෙන යන දානියෙල් වෙනිසියුලා යන ආරූඪ නමින් ලියන බ්ලොග්කරු වැන්නෝ වෙනිසියුලානු සංවර්ධන ආකෘතියේ මායාව ගැන මුල සිටම අවබෝධයෙන් සිටියත් රටේ අවාසනාවකට බොහෝ දෙනෙකු මෑතක් වන තුරුම මේ තත්ත්වය තේරුම් නොගත්හ.

    චාවේස් නිබඳ මැතිරූ මතුර වූයේ අධිරාජ්‍ය විරෝධය හා ඇමරිකානු විරෝධයයි. රටේ සම්පත් බොහොමයක් ජනසතු කිරීමේ නාමයෙන් රජය සතු කෙරිණි. ඒවායේ පාලනය භාර කෙරුණේ චාවේස්ලාගේ පුද්ගලික හා දේශපාලන මිතුරන්ටය. තෙල් සල්ලි වල උදවුවෙන් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගෙන තිබුණු ණය මුදල් කලින්ම ගෙවා දමා, එයින් නොනැවතී 2007 මැයි දිනයේදී ප්‍රකාශයක් කරමින් එම ජාත්‍යන්තර සංවිධාන හා පැවති සම්බන්ධතාවන් කපා දැමීම එවකට ලංකාවේ ඇතැම් දේශපාලඥයින් විසින්ද දැක්කේ මහා ලොකු වීර ක්‍රියාවක් ලෙසිනි.

    කෙසේ වුවද, ලොකු සද්දයක් දැම්මත් වෙනිසියුලාව විසින් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඔවුන්ගේ වත්කම් ඉවත් කරගෙන හෝ ඡන්ද බලය අහිමි කරගෙන නැත. අවසන් වශයෙන් සිදුවී ඇත්තේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කර එහි ඇති ගැටළු හඳුනාගැනීමට හා පිළියම් යෝජනා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කලකින් ඉඩ නොදීම පමණි.

    ඉහත මැයි දින කතාවේදී චාවේස් විසින් ලබා දීමට පොරොන්දු වූ පැය හයකට සීමා වූ වැඩ දිනයනම් මේ වන විට වෙනිසියුලාවේ ජනතාව භුක්ති විඳිති. රටේ රැකියා කරන ජනතාවගෙන් අති මහත් බහුතරය වන රජයේ සේවකයෝ සතියේ දින දෙකක් පමණක් වැඩ කරද්දී රටේ බොහෝ දෙනෙකු රැකියා විරහිතව නිකම්ම සිටිති. කෙසේ වුවද, චාවේස් මුල් වී යෝජනා කළ "දකුණු බැංකුව" (Bank of the South) පිලිබඳ අදහසනම් නරක එකක් නොවේ. කලාපීය ආර්ථික හා මූල්‍ය සහයෝගිතාවය තුළින් ලෝකයේ කලාප කිහිපයකටම ඉදිරියට එන්නට හැකි වී ඇති බව අපි දනිමු.

    වෙනිසියුලාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා විරසක වීමට එක් හේතුවක් වූයේ රටේ අනාගත ආර්ථික වර්ධන වේගය පිළිබඳවත්, චාවේස් රජයේ ප්‍රතිපත්ති නිසා ඇති විය හැකි අනාගත ආර්ථික අර්බුද ගැනත් අරමුදල විසින් සිදු කළ පුරෝකථන පිළිබඳව චාවේස් දැක්වූ නොකැමැත්තයි. රටක ආර්ථිකය අවදානම් තත්ත්වයක පැවතියද එය යම්කිසි නිශ්චිත කාලයක් තුළ අනිවාර්යයෙන්ම අර්බුදයකට යන බව ස්ථිරව කිසිවෙකුට කිව නොහැක. එහෙත්, ඒ සඳහා ලොකු ඉඩකඩක් ඇති බව කියන්නට බැරි නැත. වෙනිසියුලාව සම්බන්ධව අරමුදල විසින් කලක් තිස්සේ කළ පුරෝකථන මේ වන විට සැබෑ වී තිබේ.

    රටක ආර්ථිකය වල පල්ලට යන විට පවතින රජයයන් විසින් බොහෝ විට කරන දෙයක්නම් සංඛ්‍යාලේඛණ ප්‍රසිද්ධ නොකර සිටීමයි. තෙල් මත ඉහළ ගිය ආර්ථිකය තෙල් සමඟම පහළ වැටෙද්දී 2014 ජනවාරි සිට වෙනිසියුලාව සංඛ්‍යාලේඛණ ප්‍රසිද්ධ කිරීම නැවැත්වූයේය. පසුගිය ජනවාරියේදී වසරකට පසුව වෙනිසියුලාව විසින් ප්‍රසිද්ධ කළ නිල සංඛ්‍යාලේඛණ අනුව රටේ උද්ධමනය 141%කි. නිල සංඛ්‍යාලේඛණ අනුව මෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව වෙනිසියුලාවේ සැබෑ උද්ධමනය 275%කි. මේ වසරේදී එය 720% දක්වා ඉහළ යනු ඇත. මෙය මේ වන විට ලෝකයේ කිසියම් රටක් මුහුණපාන ඉහළම උද්ධමනයයි. පසුගිය කාර්තු හත තුළ වෙනිසියුලාවේ ආර්ථිකය දිගින් දිගටම හැකිලී ඇති අතර මේ වසරේ තව දුරටත් හැකිලෙනු ඇතැයි විශ්වාස කෙරේ.

    උද්ධමනයට මුහුණ දීම සඳහා මදුරෝ රජය විසින් දින දෙකකට පෙර අවම වැටුප 30%කින් වැඩි කළ නමුත් පවතින උද්ධමන වේගය අනුව ඒ වැඩිවීමෙන් ලොකු ප්‍රයෝජනයක් නැත. අනෙක් අතට, මුදල් තිබුණත් ගන්නට බඩු නැත. ලාබෙට ඇත්තේ ඉන්ධන පමණි. ටොයිලට් පේපර් රෝලක මිලට වාහනයකට ටැංකිය පිරෙන්නට ඉන්ධන මිල දී ගැනීමටනම් පුළුවන. මිල පාලනය යටතේ භාණ්ඩ වල පාලන මිල ඉතා අඩු වුවත් ඒ මිලට ගන්නට බඩු නැත. කළු කඩ මිල එමෙන් කිහිප ගුණයකි. විණිමය අනුපාතිකය පිලිබඳ තත්ත්වයද මෙසේය. ඇතැම් අවශ්‍යතා සඳහා ඇමරිකානු ඩොලරයක් බොලිවාර් 10කට මිල දී ගත හැකි වුවත් ඒ වාසිය සියල්ලන්ටම නොලැබේ. ඩොලරයක නිල නොවන මිල බොලිවාර් 1000ක් පමණ වී ඇත. බොලිවාර් 10කට ඩොලර් මිල දී ගැනීමේ හැකියාව ඇති අය කළු කඩයට ඩොලර් විකුණා ආදායම් ලබති. දරිද්‍රතාව 75% මට්ටමට ඉහළ ගොස් ඇති අතර මිනී මැරුම් හා සියදිවි නසාගැනීම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

    කෙසේ වුවද, චාවේස් දිගින් දිගටම වෙනිසියුලාවේ මැතිවරණ ජයග්‍රහණය කළේ මැතිවරණ දූෂණ මඟින්ම නොවේ. ඔහුගේ සුභසාධනවාදී, ජාතිකවාදී ප්‍රතිපත්ති අඩු ආදායම් ලබන ජන කොටස් අතර ඉතාම ජනප්‍රියව පැවතුණේය. බහුතරය භක්තිමත් කතෝලිකයින් වන වෙනිසියුලාවේ චාවේස් යනු නාසරෙත්හි ජේසුස්ගේ දෙවන උපතක් වැනි විය. චාවේස්ගේ අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකය වල පල්ලට යමින් තිබුණත් ඉහළින් පැවති තෙල් මිලේ වාසිය හේතුවෙන් යටින් පැසවන මේ තුවාලය මතුපිටින් වැසී තිබුණේය. රටේ ආර්ථිකය තුළ වැඩෙමින් පැවති පිළිකාවට වඩා චාවේස්ගේ සිරුරේ පැතුරුණු පිළිකාව වේගයෙන් වැඩුණු නිසා චාවේස්ගේ ජනප්‍රියත්වය ගිලිහෙන්නට පෙරම ඔහුට ජීවිතය හැර යන්නට විය.

    චාවේස් කතෝලික සාන්තු වරයෙකු සේ පෙනී සිටියාක් මෙන්ම නිකොලාස් මදුරෝ පෙනී සිටියේ දෙවන චාවේස් කෙනෙකු ලෙසිනි. චාවේස්ගේ ආත්මය කුරුල්ලෙකු ලෙසින් පැමිණ තමන්ට ආශිර්වාද කරන්නේය වැනි කතා කියමින් ඔහු වෙනිසියුලාවේ අඩු ආදායම් ස්ථර ආමන්ත්‍රණය කළේය. කෙසේ වුවද, චාවේස් මිය යන විටද ඔහු විසින් නියෝජනය කළ එක්සත් සමාජවාදී පක්ෂයේ ජනප්‍රියත්වය ගිලිහෙමින් පැවතුණේය. 2013 ජනාධිපතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කළ වත්මන් ජනාධිපති නිකොලාස් මදුරෝ ජයග්‍රහණය කළේ යාන්තමිනි. ඔහු ඡන්ද 7,587,579ක් ලබන විට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් වටමේසයේ (MUD ) හෙන්රිකේ රදොන්ස්කිද ඡන්ද 7,363,980ක් ගත්තේය. කෙසේ වුවද, පසුගිය දෙසැම්බරයේ පැවති මහ මැතිවරණය රදොන්සිකි නායකත්වය දුන් දක්ෂිණාංශික සන්ධානයට තුනෙන් දෙකක ජයග්‍රහණයක් හිමි කර දෙමින් අවසන් විය.

    මහ මැතිවරණ පරාජයෙන් ජනාධිපති මදුරෝ පසු බැස්සේ නැත. ජාතික සභාවේ බලය නැතත් චාවේස් හිතවාදීන් රටේ ප්‍රධාන තනතුරු වලට පත් කර ඔහු පෙර පැවති ප්‍රතිපත්ති දිගටම ගෙනයයි. චාවේස් මෙන්ම මදුරෝද රටේ මුදල් සැපයුම වැඩිවීම භාණ්ඩ මිල ඉහළ යාමට හේතුව බව පිළිගැනීමට කැමති නැත. ඒ වෙනුවට, එහි වරද සමාගම් වල අධික ලාභ බව පවසමින් මිල පාලනයට පෙළඹීම නිසා අවසාන වශයෙන් රටේ විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබේ.

    වෙනිසියුලානු ව්‍යවස්ථාව අනුව මහජන පෙත්සමක් මඟින් කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරයාව ගෙදර යැවිය හැකිය. පෙරේදා වන විට අත්සන් මිලියන 1.85ක් එකතු කර අවසන් කළ වෙනිසියුලා විපක්ෂය මේ සඳහා පළමු පියවර දැනටමත් තබා අවසන්ය. කලකට පෙර චාවේස්ට එරෙහිවද මෙවැනි ජනමත විචාරණයක් පැවැත්වුන නමුත් ඒ වන විට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි චාවේස්ට එම ජනමත විචාරණය ජයගත හැකිවිය. ඉහත පෙත්සම ජාතික මැතිවරණ කොමිසම විසින් භාර ගැනීමෙන් පසුව දින තිහක් ඇතුළත එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් 1% බැගින් වන අත්සන් ප්‍රමාණයක් එකතු කිරීම ඇතුළු තවත් පියවර කිහිපයක් ඇතත් පළමු වටයේදී පෙත්සමට අත්සන් කිරීමට වැල නොකැඩී ජනතාව පැමිණි ආකාරය අනුව මෙය අභියෝගයක් බව නොපෙනේ. ඉන් පසුව, නිකොලාස් මදුරෝව ඉවත් කිරීම සඳහා පවත්වන ජනමත විචාරණයකදී එසේ ඉවත් කිරීම සඳහා ඔහු 2013දී ලබාගත් ඡන්ද 7,587,579ට වඩා වැඩි ප්‍රමාණයක් ලැබිය යුතුය. එයද ලබාගැනීම වෙනිසියුලානු විපක්ෂයට අභියෝගයක් නොවනු ඇත.

    පවතින තත්ත්වය අනුව මාස කිහිපයක් ඇතුළත බොහෝ දුරට වෙනිසියුලාවේ කාලයක් තිස්සේ පැවති එක්සත් සමාජවාදී පක්ෂයේ පාලනය අවසන් වී දක්ෂිණාංශික සභාගය බලයට පත්වනු ඇත. එහෙත්, එසේ පත්වන නව රජයකට සැබෑ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙන්නේ ඉන් පසුවය. වෙනිසියුලාව දැනට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදයට චාවේස්ගේ අදූරදර්ශී ප්‍රතිපත්ති බොහෝ දුරට හේතු වී ඇතත් අර්බුදයට එකම හේතුව එය නොවේ.

    පවතින තත්ත්වය අනුව මාස කිහිපයක් ඇතුළත බොහෝ දුරට වෙනිසියුලාවේ කාලයක් තිස්සේ පැවති එක්සත් සමාජවාදී පක්ෂයේ පාලනය අවසන් වී දක්ෂිණාංශික සභාගය බලයට පත්වනු ඇත. එහෙත්, එසේ පත්වන නව රජයකට සැබෑ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙන්නේ ඉන් පසුවය. වෙනිසියුලාව දැනට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදයට චාවේස්ගේ අදූරදර්ශී ප්‍රතිපත්ති බොහෝ දුරට හේතු වී ඇතත් අර්බුදයට එකම හේතුව එය නොවේ. යම් හෙයකින් වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළේ වුවද ලෝක තෙල් මිල අඩුවීම හා නියඟය වැනි බාහිර කම්පන නිසා මේ කාලයේ වෙනිසියුලාවේ ආර්ථිකය අර්බුදයකට යා හැකිව තිබුණි. කෙසේ වුවද, මාළු අහුවන දිනවල ඉදිරියේ පැමිණිය හැකි වාරකන් දින ගැන නොසිතූ නිසා වෙනිසියුලාවේ අර්බුදය මේ තරමටම උග්‍ර වී තිබේ. රජය වෙනස් වුවද, වෙනුසියුලාවට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයාම පහසු නොවනු ඇත.

    මේ අවස්ථාවේ වෙනිසියුලානු ජනතාව මුහුණ දෙන ආහාර හා බෙහෙත් හිඟය ඇතුළු මානුෂික ප්‍රශ්න හමුවේ වෙනත් රටවලට උදවු කිරීමට නොහැකිව ඇත්තේ ජනාධිපති මදුරෝගේ දැඩි ස්ථාවරය නිසාය. MUD පක්ෂයේ මන්ත්‍රී වර්ජිලෝ ෆෙරාර්ට අනුව මදුරෝ විසින් මේ වන විට සිදුකරමින් සිටින්නේ වෙනිසියුලාවේ ලොකුම ජන ඝාතනයයි. රට තුළ ජාතික මානුෂික සෞඛ්‍ය අර්බුදයක් (national humanitarian health crisis) පවතින බවට අද දින MUD පක්ෂය විසින් ජාතික සභාවේ සම්මත කරගත් පණත අනුව වෙනිසියුලාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් රටවලින් මානුෂික ආධාර ඉල්ලා සිටීමට සහ ඒවා භාර ගැනීමට ඉදිරියේදී ඉඩ සැලසෙනු ඇති අතර වෙනිසියුලාවේ ගෞරවයට හානියක්යැයි කියමින් එම ආධාර ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති මදුරෝට පහසු නොවනු ඇත.

    taken from economatta.blogspot.com
     
    Last edited: