මම අවුරුදු 3කට කලින් (අගෝස්තු 2018) ලක්ෂ 80ක් දීලා ඉඩමක් ගත්තා ආයෝජනයක් හැටියට.
ඒ වෙලාවෙ මම £40,000 මාරු කරා ලක්ෂ 80 ගන්න.
දැන් ඒ ඉඩම අවුරුදු 3ට පස්සෙ ඉල්ලනවා 110 කට. පිටින් බලන කෙනෙකුට හිතෙනවා ඇති අවුරුදු 3ට ලක්ෂ 30ක් වැඩි වෙලා කියන්නෙ හොඳ ආයෝජනයක් කියලා.
ඒ උනාට මගේ අතේ තිබුන £40,000 තියාගන හිටියනම් අද 125 වටිනවා.
ඉඩම පරිස්සම් කරගන්න මාර ගේමක් දෙන්න ඕන. සුද්ද කරන්න ඕන. ආය විකුනනනකොට ලෝයර් ගාස්තු ගෙවන්න ඕන. විකුනන්න මම ලංකාවෙ ඉන්න ඕන. ඇඩ්ස් දාන්න ඕන. මළ කරදරයක් දා ගත්තෙ. සල්ලි ටික අතේ තියන් හිටියනම් ඉවරයි.
පළමුව, විදේශ විණිමය විකිණුම් මිල හා ගැනුම් මිල අතර 3%-5% අතර පරතරයක් තිබෙන නිසා පවුම් රුපියල් කර, ක්ෂණිකව නැවත එම රුපියල් පවුම් කළත් 3%-5% පමණ පාඩුවක් වෙනවා. දෙවනුව, ඉඩමක් අද මිලට අරගෙන හෙට එම ගත් මිලටම නැවත ආපසු විකිණුවත් බ්‍රෝකර් ගාස්තු, මුද්දර ගාස්තු ආදිය නිසා අලාභයක් වෙනවා.
මේ කියන කාල වකවානුව සැලකුවොත් 2018 අගෝස්තු අවසන් සතියේ බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රුපියල් 206.55ක්. ඒ අනුව, රුපියල් ලක්ෂ 80ක ඉඩමක් ගන්න අවශ්‍ය වන්නේ පවුම් 38,721ක් පමණයි. පවුම් 40,000ක්ම අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් විට බ්‍රෝකර් ගාස්තු, මුද්දර ගාස්තු ආදිය එකතු කළ විට පවුම් 40,000ක් අවශ්‍ය වුනා විය හැකියි. එහෙත්, ඒ වියදම් විණිමය අනුපාතිකයට සම්බන්ධයක් නැති රුපියල් වලින් ඉඩමක් මිල දී ගත්තත් යන වියදම්.
වසර තුනකට පසු 2021 අගෝස්තු අවසානයේදී පවුමක විකිණුම් මිල රුපියල් 282.08ක්. ගැණුම් මිල රුපියල් 272.45ක්. දැන් මේ ඉඩම රුපියල් ලක්ෂ 110කට විකුණුවොත්, එම රුපියල් ප්‍රමාණය පවුම් කර පවුම් 38,996ක් ලබා ගත හැකිව තිබුණා. එම මුදල යාන්තමින් වුවත් ඉඩම මිල දී ගැනීම සඳහා යෙදවූ මුදලට වඩා වැඩියි. එහෙත්, බ්‍රෝකර් ගාස්තු, මුද්දර ගාස්තු ආදිය නිසා පාඩුවක් විය හැකියි. ඊට අමතරව නීතිඥ ගාස්තු, දැන්වීම් ගාස්තු, ඉඩම ආරක්ෂා කිරීමේ ගාස්තු ආදිය සැලකූ විට පාඩුවක් සිදුව ඇති බව පැහැදිලියි. මෙය සාමාන්‍ය තත්ත්වයක්.
පවුම් 38,721 අතේ තියාගෙන හිටියානම් අද එම පවුම් ප්‍රමාණය මාරු කර ලබා ගත හැක්කේ රුපියල් ලක්ෂ 105.5ක් පමණයි. රුපියල් ලක්ෂ 125ක් ලබා ගන්න බැහැ. ඒ නිසා, මේ සල්ලි කොහොමටත් අවසාන වශයෙන් ලංකාවට ගේන්න අවශ්‍ය වී තිබුණු සල්ලිනම් පාඩුවක් වී නැහැ. අනෙකුත් අමතර වියදම්ද සැලකූ විට ලොකු ලාබයක් සිදු වී ඇතැයි කියන්නත් බැහැ.
කෙසේ වුවත් මෙහි සඳහන් තොරතුරු නිවැරදි සේ සැලකුවොත් ඒ හරහා කරුණු කිහිපයක් තහවුරු කළ හැකියි.
1. වසර තුනක් ඇතුළත ලංකාවේ ඉඩම් මිල 37.5%කින් ඉහළ ගොස් ඇති බව. ඒ කියන්නේ 11.2%ක වාර්ෂික සාමාන්‍ය ප්‍රතිලාභයක්. මෙයින් එක පැත්තකින් ලංකාවේ මුදල් සැපයුමේ ඉහළ යාම නිසා ඉඩම් ඉල්ලුම ඉහළ යාම පිළිබිඹු වෙනවා. දෙවනුව, මෙවැනි මුදලක් ඉඩමක ආයෝජනය කරන අයෙකුට ඉහත ප්‍රතිලාභය ලැබෙන්නේ වසර තුනක් එම ඉඩම භුක්ති විඳීමේ ප්‍රතිලාභයට අමතරවයි. ඉඩම තේ ඉඩමක්නම් වසර තුනක් තේ ආදායම ලැබෙනවා. ඉඩමේ නිවසක් තිබුණානම් වසර තුනක් ගෙවල් කුලිය ලැබෙනවා. මේ අනුව ශ්‍රී ලාංකිකයෙකුට අදාළ කාලයේ ඉඩම් වල ආයෝජනය කිරීමෙන් ඇති විශාල ප්‍රතිලාභයක් ලබා ගත හැකිව තිබුණා.
2. මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයෙකුට ලංකාවේ ඉඩම් වල ආයෝජනය කර විශාල ප්‍රතිලාභයක් ලබාගත හැකි වුවත්, විදේශිකයෙකුට එම ප්‍රතිලාභ එසේම ලබාගත නොහැකි අතර ඇතැම් විට පාඩුවක් සිදු වෙන්නත් ඉඩ තිබෙනවා. (මේ "මෝඩ" යෝජනාව මගේ ඇතැම් සමීපතම අයත් කරනවා. පසුගිය වසර තුන තුළ ඇමරිකාවේ මා සිටින ප්‍රදේශයේ ඉඩම්/නිවාස මිල අවම වශයෙන් 30%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මට සල්ලි තිබුණානම් මම ඒ මුදල් ඇමරිකාවේ දේපොළක් මිල දී ගන්න මිස ලංකාවේ දේපොළක් මිල දී ගන්න යොදවන්නේ නැහැ. ලංකාවේ ඉඩම් විදේශයක සිට නෙමෙයි ලංකාවේම වෙනත් ප්‍රදේශයක සිට වුවත් පරිස්සම් කර ගන්න එක අමාරු වැඩක්. ඊට අමතරව ක්ෂණිකව ලංකාවේ වත්කමක ඩොලර් අගය නැත්තටම නැති වී යාමේ අවදානම තිබෙනවා.)
*************************
කිසියම් රටක/ප්‍රදේශයක ජීවත්වන අයෙකු එම ප්‍රදේශයේ දේපොළක් මිල දී ගැනීමේ වාසිය විදේශයක සිටින අයෙකුට නැහැ. එය සාමාන්‍ය තත්ත්වයක්. මට ඇමරිකාවේ සිට ලංකාවේ ගෙවල් කුලී එකතු කරන්න හෝ ගස් වල පොල් කඩවන්න බැහැ. මේ හේතුව නිසාම ලංකාවේ ආර්ථිකය ඉදිරි පිම්මක් පැන්නවීම සඳහා අනිවාර්යයෙන්ම කළ යුතු හා පහසුවෙන් කළ හැකි දෙයක් වන ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීම (MCC යෝජනාව) ක්‍රියාත්මක කළා කියලා ඇමරිකානුවෝ ඇවිත් ලංකාවේ ඉඩම් මිල දී ගන්නේ නැහැ. ඇමරිකාවේ ඉඩමක් මිල දී ගැනීම ඊට වඩා ලාබයි.
හැබැයි දැන් නැවතත් ලංකාව විසින් ක්‍රියාත්මක කරන විණිමය අනුපාතය පාලනය කිරීමේ ප්‍රතිපත්තිය එක්ක මේ තත්ත්වය වෙනස් වෙනවා. අපි මුල් උදාහරණයටම ගියොත්, අදාළ කාලය තුළ පවුමක මිල ස්ථිරව තිබුණේනම් විදේශිකයෙකුට ලංකාවේ මුඩු ඉඩමක් වුවත් මිල දී ගෙන 37.5%ක ප්‍රතිලාභයක් ලබා ගන්න තිබුණා. 2010දී මෙන් රුපියල අධිප්‍රමාණය වෙන්න ඇරියොත් ප්‍රතිලාභය ඊටත් වැඩියි. ඒ කියන්නේ, ඉඩම් මිල දී ගැනීමෙන් ශ්‍රී ලාංකිකයෙකුටත් වඩා වැඩි වාසියක් විදේශිකයෙකුට තිබෙනවා. (මෙය මෙසේ වේනම් එහි කිසියම් වැරැද්දක් ඇති බව සාමාන්‍ය බුද්ධියට වුවත් අවබෝධ විය යුතුයි) ඒ නිසා, විදේශිකයන් ලංකාවේ මුදල් ආයෝජනය කරන්න පෙළඹෙනවා. (දැන් නැවතත් ක්‍රියාත්මක කරන රාජපක්ෂ/කබ්රාල් ක්‍රමය මෙයයි). හැබැයි මේ සල්ලි ගේන්නෙම ආපසු ගෙනියන්න. ඉහත පවුම් 40,000 ආයෝජනයම වුවත් උදාහරණයක්. ඒ නිසා, දිගින් දිගටම ලංකාවේ බැරකම් ඉහළ යනවා. පවුම එක තැන තිබුණානම් රටට ආපු පවුම් 40,000 වෙනුවට පවුම් 55,000ක් රටෙන් ආපසු යනවා. හොඳ වෙලාවට 2018-2021 අතර විණිමය අනුපාතයේ යම් පිරිහීමක් වූ නිසා ආපසු ගියේ රටට ආපු පවුම් 40,000 පමණයි. දැන් විණිමය අනුපාතය එකතැන තියාගෙන හිටියානම් ඉඩම විකුණා පවුම් 55,000ක් ආපසු ගෙන යාමේදී රටට ගෙනාවේ නැති පවුම් 15,000 ලැබෙන්නේ කොහෙන්ද? රාජපක්ෂ/කබ්රාල් ක්‍රමය අනුව ඒ සල්ලි ආපසු ගෙනියන්න දෙන්න ලැබෙන්නේ එක්කෝ පවුම් 55,000ක විදේශ ණයක් ගත්තොත්. නැත්නම් පවුම් 55,000කට තවත් ඉඩමක් විකිණුවොත්. (මොකද කලින් රටට ආපු පවුම් 40,000ත් ඒ වන විට ආනයන වෙනුවෙන් වියදම් කරලා අවසානයි). තව අවුරුදු තුනකින් ඔය පවුම් 55,000 ණයට පොලිය එකතු වී හෝ ඉඩමේ මිල වැඩි වී පවුම් 75,000ක් වූ විට නැවත කරන්න වෙන්නෙත් ඔය වැඩේමයි. ඕක තමයි රාජපක්ෂ/කබ්රාල් ක්‍රමයේ සෞභාග්‍යයේ රහස. පිරමිඩ් එක කොයි වෙලේ හෝ කඩා වැටෙනකම් නැව ගිළුනත් බෑන්චූන්!
Link :
https://economatta.blogspot.com/202...howComment=1636693913153#c4760165180085288598