ඉතින් අවසරයි මගේ මල්ලී!!!

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉතින් අවසරයි මගේ මල්ලී!!!

    ‘අන්න අර වේස ගෑනි තව කරුමක්කාරයෙක් වදලා’ මේක තමයි මගේ හිතේ උඹ ගැන තියෙන පරණම මතකය. මාකට් එකේ මුට්ට කරගහන සුදා අයියා කිව්වේ උඹ ගැන බව මගේ පුංචි හිතට තේරුනේ අපේ කාඩ් බෝඩ් මඩුවට ගියහම. අම්ම ළග පුංචි චීත්ත කෑල්ලක් උඩට වෙලා කේදෑරි අත පය ගුලි කරගෙන හිටිය උඹව දැක්කහම මට මතක් උනේ අපි ඉන්න කාපිරි මුඩුක්කුවේ බෝක්කුවක් යට අතරමං වෙලා හිටිය පොඩි බලු පැටියව. ඉපදිලා සති ගානකින් බඩගින්නේ ම මැරිලා ගිය ඒ අහිංසකයගේත්, උඹෙත්, මගෙත් වැඩි වෙනසක් නැති බව මට අද හොඳටම තේරෙනවා මගේ මල්ලියේ.

    ජාතියක් ජම්මයක් නැතිව මේ ලෝකෙට ඉපදුන උප්පැන්නයක් අනන්‍යතාවයක් නැති උඹෙත් මගෙත් අප්පා අපි දෙන්න විතරක් නෙවෙයි අපේ අම්ම වත් නොදන්නවා ඇති. සමහරක් විට උඹට කරුමක්කාරයා කියල නම් තියපු ඒ සුදා අයියම උඹේ තාත්තා නොවෙනවා කියන්න බැහැ. මොකද අනේක වාරයක් උන්ද ගේ කරත්තේ උඩ ඉඳල රෑට අපේ අම්ම චීත්තෙ ඇද ඇද එනවා දකින හින්ද. එහෙම කළා කියල අපි අපේ අම්මට ද්වේශ කරලා වැඩක් නැහැ. උන්ද කලේ උන්දැගේ රස්සාව. අවුවට පිලිස්සුන කිළුටු, කැහුටු ගැහුන අපේ අම්මට උනත් ගනුදෙනු කාරයෝ මේ කාපිරි මුඩුක්කුවේ අඩු උනේ නැහැ. හිටි ගමන් පැයකට දෙකකට අතුරුදහන් වෙන අම්ම ඇඟ විකුණලා හම්බ කරපු රුපියල් සීය දෙසීය අපිට ඒ දවස් වල වේල පිරිමහගන්න ඕන තරම් සෑහුණා. උඹ ඉපදුන දවස් වල අම්ම උඹව උකුලේ තියාගෙන ඉන්න වෙලාවට මමත් පැත්තකින් ඇවිත් අම්මට හේත්තු වෙනවා. ඒ වෙලාවට අම්ම හෙමිහිට මගේ ඔලුවේ ඇඟිලි යවන කොට දැනෙන සනීපෙට මට එහෙම්මම ඇහැ පියවෙනවා. මවු සෙනෙහස කියන දේ කලාතුරකින් දැනිච්ච මට මෙහෙම ආදරේ විඳිද්දී උඹව පෙනුනේ අපිට වාසනාව ගෙනාපු අවුරුදු කුමාරයෙක් වගේ. මගේ ජීවිතේ වැඩියෙන්ම සන්තෝසෙන් ගත කරපු මාස කීපය තමයි ඒක. ඒත් ඒ සතුට වැඩි කාලයක් විඳ ගන්න අපට පුළුවන් උනේ නැහැ. අපේ පවුලට කන කොකා ඇඩුවා. අම්ම කුඩු ගහන්න පටන් ගත්තා. මුලින් මුලින් ඉඳ හිට කුඩු උරපු අම්ම පස්සේ දවස පුරාවටම හීන ලෝකේ පාවෙන්න ගත්ත. අම්මගේ ලෝකේ සැරිසැරුව අපිව සම්පුර්ණයෙන්ම ඒ ලෝකෙන් අයින් කරලා අම්ම තනිවම හීනයක ජීවත්වෙන්න පටන් ගත්ත. උඹටත් මටත් හිටිය අපිට යන්තම් වත් ආදරයක් පෙන්නපු එකම නෑයත් නැති උනේ ඔන්න ඔහොම.

    උඹට අවුරුද්දක් හමාරක් වෙනකොට අම්ම මහ දවාලෙත් මත් වෙලා ඔහේ පාර දිගේ වැටිලා ඉන්න ගානට පිරිහුණා. කොහේ හරි බක්කියක් අවුස්සලා කන්න යමක් හොයා ගන්න පුළුවන් තරම් යන්තම් ලොකු උන මම ගැන කෙසේ වෙතත් වැහැරුණු තනේ යන්තම් ඉතුරු වෙලා තිබුණු කිරි කඳුලෙන් බඩ පුරෝව ගත්ත උඹ ගැන බලන්න නිනව්වක් වත් උවමනාවක් වත් ඒ වෙනකොට ඇවිදින රූකඩයක් වෙලා හිටිය අපේ අම්මට තිබුනේ නැහැ. දවසක් බඩේ ගින්දර උහුලන්න බැරිවද මන්දා අඩ අඩ අම්මා ගාවට බඩ ගාගෙන ගොහින් උක්කු හොයන්න හැට්ටේ අස්සට අත දාපු උඹට කාණුවට විසි වෙන්න පයින් ගැහුවේ අපේ අම්මමද කියල මට අදත් විශ්වාස කරන්න බැහැ. එහෙම කාණුවේ වැටුණු උඹ වේදනාවෙන්, බඩ ගින්නෙන් මර ලතෝනි දෙනකොට ඒ දිහා හැරිලා අහක බල ගෙන යනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න හිතක් ඒ වෙලාවේ එතන පහු කරන් ගිය සිය ගණනක් නරුමයන්ට හිත් නොදීම පුදුමයක් නෙමෙයි.

    එදා ඒ කාණුවට බැහැල උඹව උස්සල උඩින් තියන කොට උඹට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් මේ ලොකු අයියට උඹේ බර නොදැනුනාට මහ මෙරක් තරම් බරක් හිතට දැනුන. මම ඇඳන් හිටිය කඩමලු කමිසේ ගලවල උඹට අන්දලා පඩිය උඩින් තියපු මම දුවල ගියේ ඉස්සරහ තියෙන පඩිපෙළ යට තිබ්බ මහ කුණු බක්කිය ලඟට. කවුදෝ මන්ද බාගෙට බීල විසි කරපු කිරි පැකට් එක හොයාගෙන ඒකේ කට වටේ හිටිය කුඹි අයින් කරලා උඹේ තොල් දෙකට බින්දුව බින්දුව වක් කරනකොට උඹේ මුණේ ඇදිච්ච හිනා මලට එදා මගේ හිත පිරුන. එදා ඉදන් උඹේ ඒ හිනාව දකින්න මම නොකළ දෙයක් නැහැ මගේ මල්ලියේ. උඹට කිරි පැකට් එකක් ගන්න රුපියල් දහයක් හොයන්න මම හිගා කෑවා. හොරකම් කළා. පාරේ අනික ළමයි සෙල්ලම් කරනකොට මම සෙල්ලම් කලේ උඹත් එක්ක. අනික් උන් රස්තියාදු ගහනකොට මම ඇවිද්දේ උඹව වඩාගෙන. මම උඹට නැති උන අම්ම අප්පා වෙන්න හදනකොට උඹත් මට මහ මේරුව තරම් ආදරේ කරපු බව මම දන්නවා. උඹ මගේ බෙල්ල බදාගෙන නිදා ගන්නකොට මගේ උකුලේ ගුලිවෙනකොට දැනුනු උණුසුම මට ඒ බව කිවුව. උඹ පලවෙනි වතාවට මේ පොලවේ දෙපයින් නැගිටින කොට ඒක දකින්න හිටියේ මම. උඹ වැටි වැටි නැගිටින කොට උඹට අතදුන්නේ මම. උඹ පඩිපෙළ ළඟ ඉඳං හිනා වේවි මුලින්ම දුව ගෙන ආව දවසේ මගේ හිත සන්තෝසෙන් පිම්බුනා මගේ මල්ලී. අම්ම වෙනුවට උඹ මුලින්ම කියපු වචනය ‘අයා’. ටික ටික කට හුරු වෙනකොට උඹට හොඳට ‘අයිය’ කියන්න පුළුවන් උනා. අවුරුදු තුනක් හමාරක් උන උඹ දුවිලි නාවර පෙරාගෙන උන්නත් මට සුවඳ මලක් උනා මල්ලී. මගේ ජීවිතයම උඹ උනා. උඹේ ලෝකයම මම උනා.

    දවස් දෙක තුනක ඉඳං උඹේ දැනිච්ච වෙනස මට තේරුනාට ඒකට හේතුව මොකක්ද කියල මට දැනුනේ නැහැ. මලානික ඇස් දෙකින් මගේ දිහා බලල මට ගුලි වෙනකොට උඹව බදා ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්න මට තේරුනෙත් නැහැ. සීතලයි කියල බදා ගෙන උන්නු උඹ, දවස් ගානකින් නොකෑවත් මම දුන්නු කිරි පැකට් එකවත් ඊයේ නොබිවුවේ ඇයි මල්ලී?

    තෙහෙට්ටුවට මල්ලිවත් උකුලේ තියා ගෙන පඩිපෙළට වෙලා ඇහැ පියා ගෙන හිටිය මට එක පාරට ගැස්සිලා ඇහැරුනේ සුදා අයියගේ සද්දෙට. ‘මේ කොල්ල මැරිලා නේද?’ පියවි ලෝකෙට ආපු මට එක පාරට දැනුනේ ඔඩොක්කුවේ තිබුණු සීතල දරදඩු මල්ලිගේ සිරුර. ‘මගේ මල්ලී මැරිලා!…..’ කිටිකිටියේ තද වෙච්ච මගේ හිරි වැටුන ඇස් කෙවෙනි දෙකෙන් මෝදු වෙච්ච කඳුලක් මගේ පපුව දිගේ ගල ගෙන ගිහිල්ල උඹේ සුදුමැලි මුණට වැටුනා.

    අද වෙනකම් උඹ මේ ලෝකේ ජීවත් උනාදැයි නොදැකපු නොදැනුනු, අවුවට වැස්සට වේලුනු තෙමුණු බව නොදැකපු, කෑ හැටි නොදැකපු, සියක් දෙනා උඹේ මල කඳ වටා රොක් වෙලා උරිං උර එබී බලමින් උඹේ මරණය සමරන්න පොදි කනවා. මගේ පපුවේ හොවා ගෙන ඉන්න උඹේ කඩා වැටුණු සිරුර දිහා බලන් ශෝක ප්‍රකාශ කරනවා. ඇඳුනුම් කම් ගැන කියනවා. උඹ ඉන්නකම් උඹට වතුර උගුරක්‌ නොදුන්, තමුන්ගේ පියස්සේ වැස්සට නොතෙමී මුවා වෙන්න නොදුන්, උඹට මට තිරිසනුන්ට සේ සැලකු මහතුන්ගේ සත්ව කරුණාව අද පුදුමයක් නෙමෙයිද? මේ අසම්මත පාදඩ සමාජයේ අපිට කරුමක්කාරයෝ කියපු සුදා අයියගේ කටේ මසුරන් දැම්මත් මදි කියල දැන් හිතෙන්නේ නැද්ද මගේ මල්ලියේ? එහෙව් ලෝකෙට බරක් වෙන තවත් පාදඩයෙක් වෙලා තවත් ලෝකාපවාද අසනවාට වඩා නික්ම ගිය උඹ හැම අතින්ම වාසනාවන්තයෙක් මල්ලියේ.

    ඉතින්………. සමු ගන්න අවසරයි මගේ මල්ලී ………………………!!!!


    http://www.thelastrow.net