ඉන්ට නැෂනල් රිපෝටර් 2011/01/02/

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    "මේ කාලය තුළ ගණන් බැහැපු දෙයක්‌ කියන්න"

    බුෂ් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්‌ ජාත්‍යන්තර ප්‍රජා සමිතියෙන් ඇසුවේය.

    "පොල් ගණන් ගියා. හාල් ගණන් ගියා. ළුEනු ගණන් ගියා. එළවළු ගණන් ගියා. ගණන් බැස්‌සේ මොකේද?

    මෙසේ බුෂ් තවත් ප්‍රශ්න නගමින් තමන් අසන ප්‍රශ්නය වඩාත් පැහැදිලි කිරීමට උත්සාහ කළේය.

    "බන්දුල මහත්තයා කියන්නේ ගණංකාරයන්ටත් බය නැති ගණංකාරයෙක්‌"

    ප්‍රශ්නය තවත් පහසු කරන්නට සිතා බුෂ් තවත් විස්‌තරයක්‌ කීවේය. එහෙත් එයින් සිදුවූයේ ප්‍රශ්නය තවත් අසීරු වීමය.

    "බන්දුල මහත්තයා වෙළඳ ඇමැතිවෙලා ඉන්න කාලේ ගණං දේවල්වල ගණං අඩු කරන්න බැරි වුණා. නැතිනං අමාරු වුණා. ඒත් දැන්නං එතුමා ගණංම දෙයක ගණං අඩු කරලා තියෙනවා."

    එතුමා තවත් විස්‌තරයක්‌ කීවේය. එහෙත් එයින් ද සිදුවූයේ තවත් ප්‍රශ්නය අමාරු වීමය.

    "බන්දුල මහත්තයා ගණංකාරයන්ටත් බය නැති ගණංකාරයෙක්‌"

    අවසාන වශයෙන් බුෂ් ද ගණංකාරයෙකු වී මෙසේ ප්‍රකාශ කළේය.

    "මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තිබුණ විශාල වරදක්‌ නිවැරදි කරන්න බන්දුල මහත්තයා පියවර අරන් තිබෙනවා. ඒ තමයි සාමාන්‍ය පෙළ සමත්වීම සඳහා ගණිතය අනිවාර්ය වීම ඉවත්කිරීම. සෞන්දර්ය විෂයයන්ගෙන් උසස්‌ පෙළ හදාරන සිසු දරුදැරියන් වෙනුවෙන් ඒ නිදහස ලබාදීලා තියෙනවා. මං අධ්‍යාපන ඇමැති වුණත් මේ වගේ එඩිතර පියවරක්‌ ගන්නේ නෑ. මොකද මාත් කාට බය නැති වුණත් ගණංකාරයන්ට බයයි"

    බුෂ් එසේ පැවසීමත් සමග ම සමිතියට බුෂ් ඇසූ ප්‍රශ්නය ගැන අවබෝධ විය.

    "ආ එතකොට බන්දුල මහත්තයා ගණංවල ගණං අඩුකරලා තියෙනවා. එතකොට ගණං තමයි මේ කාලේ ගණං අඩු වුණ එකම දේ"

    ඒ අනුව පින්ලන්ත අගමැතිවරයා තමන් අවබෝධ කරගත් දේ ප්‍රකාශ කළේය.

    "ගණංනේ ලංකාවේ තියෙන ගණංම දේ. ඒකෙ ගණං එතකොට දැං අඩු කරලා තිබෙනවා" ස්‌වීඩන වෙළෙඳ ඇමැතිවරයා ද කතාවට හවුල් වූවේය. ඉන්පසුව පුටින් ද කතාවට හවුල් විය.

    "උසස්‌ පෙළ හැදෑරීම සඳහා ගණිතය විෂයය අනිවාර්ය කිරීමෙන් සිදුවී තිබුණේ කන්නංගර මහත්තයා ලබා දුන් නිදහස්‌ අධ්‍යාපනය නැවත උදුරා ගැනීමක්‌. ඒත් කවුරුවත් ම මේ තත්ත්වය වෙනස්‌ කිරීම ගැන හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒත් බන්දුල ඇමැතිතුමා ඒ සඳහා පියවර අරන් තිබෙනවා. ගණිතය අනිවාර්ය වීම නිසා සාමාන්‍ය පෙළින් පාසලෙන් හැලෙන කොටස සියයට පණහකටත් වැඩියි. ඒ හා සමාන නැතිනම් ඊටත් වැඩි ප්‍රමාණයකටම ගණිතය නිසා ඊටත් කළින් පාසල එපා වෙනවා." පුටින් ගණිතය ගැන ගණිතමය නොවන ආකාරයෙන් කතා කළේය. එනම් ඇත්ත කතා කළේය. එහෙත් පුටින් එයින් ද නැවතුණේ නැත.

    "අද එංගලන්තයේ පවා සංවාදයක්‌ ඇතිවෙලා තිබෙනවා ගණිත විෂයය සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයයක්‌ වශයෙන් තබා ගතයුතු ද යන්න සම්බන්ධයෙන්. එක්‌කෝ ඒක අයින් කරන්න ඕනෑ. එහෙම නැතිනම් දැනට පවතින ගණිත විෂය නිර්දේශය වහාම වෙනස්‌ කරන්න ඕනෑ කියන මතය ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ගැන කොමිසමක්‌ පත්කරලා තියෙනවා"

    පුටින් රුසියාවෙන් නොව එංගලන්තයෙන් ම නිදසුනක්‌ ගෙන කතා කළේය. ඉන්පසුව පුටින් මෙසේ ද කීවේය.

    "ඇත්තම කියනවා නම් ඉංගී්‍රසිවලටත් වඩා ජාතිය හිරකරලා තියෙන්නේ ගණිතයෙන්. ඉංගී්‍රසිවලටත් වඩා ළමයින්ගේ චින්තනයට විලංගුදාලා තියෙන්නේ ගණිතයෙන්. ඒකට ප්‍රධාන හේතුව තමයි පාසල් විෂය නිර්දේශය තුළ පවතින බොහෝ ගණිත කරුණු සාමාන්‍ය ජීවිතය සමග සම්බන්ධයක්‌ නොවීම.

    එංගලන්තයෙන් දැන් කියන්නේ සාමාන්‍ය ජීවිතයට අදාළ වන ගණිතය පමණක්‌ සාමාන්‍ය පෙළ සඳහා අනිවාර්ය කළ යුතු බවත් උසස්‌ අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන ගණිතමය දැනුම උසස්‌ පෙළ සඳහා ඇතුළත් කළ යුතු බවත්. එපමණක්‌ නොවේ ගණිතය වෙනම වියුක්‌ත ව ඉගැන්වීම වෙනුවට වෙනත් විෂයයන් තුළ සංයුක්‌තව ගණිතය ඉගැන්වීම කළ යුතු බවත්" පුටින් කරුණු රැසක්‌ හොයාගෙන කතා කළේය. සැබවින්ම දේශපාලනඥයන්ට තිබිය යුත්තේ මඩ ගැසීම ගැන දැනුමක්‌ නොව මෙවැනි දැනුමකි.

    එහෙත් ලංකාවේ නම් ඉහළ යන්නේ මඩ ගැසීමට ඉහළ දැනුමක්‌ ඇති අයය.

    "ලංකාවේ මිනිස්‌සුන්ට ගණිතය පුළුවන්. හැබැයි ඒ ජීවිතය සමග ගැටගැහිලා තියෙන ගණිතය. මගේ අත්දැකීම තමයි ජීවිතයට අවශ්‍ය ගණිතය හැමෝටම ඉගෙනගන්න පුළුවන් කියන එක"

    පුටින් ඒ අතර ලංකාවේ මිනිස්‌සුන්ගේ ගණිතය දැනුම ගැන ද කතා කළේය.

    "අනික්‌ අතට මේ යම් විෂයයක්‌ සාමාන්‍ය පෙළට අනිවාර්ය කිරීම කියන තර්කය ගත්තොත් හැම මිනිහෙක්‌ ම සිත් සතන් මෘදු වෙන්න සෞන්දර්ය ඕනෑ කියලා දොස්‌තරලා වෙන්න සයන්ස්‌ කරන්නත් සංගීතයට ඕලෙවල්වලින් එස්‌ එකක්‌ තියෙන එක අනිවාර්ය කළොත් මොනවා වෙයිද?

    "කෙනෙකුගේ බුද්ධිය මැනීමේ එකම මූලික මිනුම ගණිතය කරගැනීම විකාරයක්‌. විශේෂයෙන් ම පාසලේ ගණිත විෂය ඒ සඳහා නිර්ණායකයක්‌ කරගැනීම විකාරයක්‌"

    බුෂ් ද යළිත් සාකච්ඡාවට අවසාන වශයෙන් මැදිහත් වී සමිතිය අවසන් කළේය.

    "කොහොම නමුත් අවසන් වශයෙන් මෙවැනි නිර්භය පියවර ගැනීම සඳහා ඇමැතිවරුන්ට ඉඩ දීම සම්බන්ධයෙන් මහින්ද මහත්තයාටත් අපේ සතුට ප්‍රකාශ කරන්න ඕනෑ"

    පුටින් එයට අවසාන වශයෙන් එකතු කළේය.

    ලංකාවේ සිටින යහපත් ඇමැතිවරයෙක්‌ ගැන අසන්නට ලැබුණු ජාත්‍යන්තර ප්‍රජා සමිති වාරය එසේ අවසාන විය. තරමක්‌ විස්‌තරාත්මක වශයෙන් කතා කළ යුතු කරුණක්‌ විස්‌තරාත්මකව ම කතා කළ සමිති වාරය එසේ අවසාන විය.