ඉන්දියන් සාගර පත්ල පුපුරා යයි

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඉන්දියන් සාගර පත්ල පුපුරා යයි

    පසුගිය අප්‍රියෙල් 11 වැනි දා මුළු මහත් ලෝකයේ ම පෘථිවි පෘෂ්ඨය වෙව්ලා දෙදරා ගිය බැව් සමහර විටෙක ඔබට නො දැනෙන්නට ඇති. ඒ ඉන්දියන් සාගරයේ පත්ල ආශ්‍රිතව වූ සුවිශේෂී සිදුවීමක්‌ හේතුවෙනි. එකවර එක විට බොහෝ ආසන්න ව දැඩි භූමිකම්පා දෙකක්‌ සිදු වීමත් ඒ සම`ග ම ලෝකය පුරා බොහොමයක්‌ තල මායිම් ආශ්‍රිතව භූමිකම්පා වාර්තා වීමත් සුවිශේෂී සිදුවීමක්‌a විය. මේ තත්ත්වය භූ විද්‍යාඥයන් නිතර අත්විඳින්නක්‌ නො වේ. පෘථිවි තල මායිමක භූමිකම්පාවක්‌ සිදු වූ විට එම ස්‌ථානය ආශ්‍රිතව පසු කම්පන බොහොමයක්‌ ඇති වීම සාමාන්‍ය වුවත් එක්‌ ස්‌ථානයක සිදු වූ භූ කම්පනයක්‌ හේතුවෙන් ලෝකය පුරා තල මායිම්වල පසු කම්පන වාර්තා වීම අතිශය දුර්ලභ දෙයකි. මෙයට සුවිශේෂී වූ සිද්ධියක්‌ වන්නේ පෘථිවි කබොල නිර්මාණය වී ඇති තලයක බිඳී යැම ඇරඹීමයි.
    භූ තල ක්‍රියාකාරිත්වය
    යාන්ත්‍රිකව ඝන වූ පෘථිවි ස්‌ථරය වන ශිලා ගෝලය කොටස්‌වලට බිඳී ඇත. මේවා භූ තල ලෙස හැඳින්වේ. මේ භූ තල එකිනෙකට සාපේක්‌ෂව චලනය වේ. ගත වන සැම තත්ත්පරයක දී ම මේ භූතල ඉතා සෙමින් චලනය වෙයි. භූකම්පන, ගිනිකඳු, දූපත් හා කඳු නිර්මාණය වීම්, ආගාධ ඇති වීම් සිදුවනුයේ මේ තල මායිම් චලනය හේතුවෙනි. මේ සඳහා හේතු වනුයේ පෘථිවි ප්‍රාවරණය තුළ සිදු වන උණු ලෝදිය හෙවත් මැග්මා සංවහන ක්‍රියාවලියයි.
    සුමාත්‍රාව ආසන්නයේ කම්පන
    අප්‍රියෙල් මස සුමාත්‍රා ආසන්නයේ වූ භූ කම්පන ද්වය ලොව පුරා තල මායිම්වල භූ කම්පන ක්‍රියාරම්භකයකු ලෙස ක්‍රියා කිරීම අතිශය වෙනස්‌ කරුණක්‌ ලෙස භූ විද්‍යාඥයෝ සැලකූ හ. මාස 5කට ආසන්න කාල සීමාවක්‌ තිස්‌සේ දැඩිව පර්යේෂණයට බඳුන් කරමින් මේ දුර්ලභ අත්දැකීම කුමක්‌ දැයි විග්‍රහ කිරීමට භූ විද්‍යාඥයෝ මහත් වෙහෙසක්‌ දැරූ හ. දැන් එම පර්යේෂණයේ නිගමන එළි දැක තිබේ.
    ප්‍රංශය හා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ භූ විද්‍යාඥයෝ මේ සඳහා තම අවධානය යොමු කළ හ. ඔවුහු වසර 2004 සුමාත්‍රා ආසන්නව පවත්නා සුවිශේෂී භූ විද්‍යාත්මක ක්‍රියාකාරකම් පිළිබඳව එවක පටන් අවධානයෙන් පසු වූ හ. දිගින් දිගට ම එම තල මායිම හා ආශ්‍රිතව සිදු වන්නා වූ නිරන්තර වෙනස්‌කම් දැඩි ලෙස නිරීක්‌ෂණයට බඳුන් කෙරිණි.
    2012 වසරේ අප්‍රෙල් 11 වැනි දා සිදු වූ ද්විත්ව විශාල භූ කම්පන ද්වය වාර්තා වූයේ 2004 භූමිකම්පාව සිදු වූ ස්‌ථානයෙන් සැතපුම් 250ක්‌ මෙපිටිනි. 2004 වසරේ භූ කම්පනයට වඩා 2012 වසරේ සිදු වූ ද්විත්ව භූ කම්පන එකිනෙක වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනු ලැබිණි. 2012 වසරේ ඇති වූ ද්විත්ව භූ කම්පන භූ තල එකිනෙක තිරස්‌ව ලිස්‌සා යැමෙන් හා තල බිඳීමෙන් ඇති වූ අතර 2004 වසරේ තල එකිනෙක සිරස්‌ ව ලිස්‌සා යැමෙන් භූ කම්පනය හට ගැනිණි. එබැවින් මේ වසරේ දී සුමාත්‍රා ආශ්‍රිත ප්‍රදේශවාසීහු මෙන්ම 2004 සුනාමි බලපෑමට ලක්‌ වූ අපි හැම දෙනා ම අතිශය වාසානාවන්තයෝ වීමු.
    කෙසේ වෙතත් සුමාත්‍රා තල මායිමේ මෙලෙස එක ආසන්නයේ සිදු වූ ද්විත්ව භූ කම්පනවල සුලමුල හා ඒවායේ බලපෑම කුමක්‌ දැයි විග්‍රහ කර බැලීම වැදගත් වේ. භූමිකම්පා ද්වයෙන් මුලින් ඇති වූ කම්පනය ප්‍රධාන භූමිකම්පාව ලෙස හඳුන්වන විද්‍යාඥයන් පවසන්නේ ඝනත්වයෙන් වැඩි සුමාත්‍රා දූපත් තලය හේතුවෙන් ඇති වන පීඩනය නිසා, නැමී ඒ දෙසට තව තවත් තල්ලු වන ඉන්දියානු සාගර තලය බිඳීමෙන් එය හට ගන්නට ඇති බවයි. මෙය රිච්ටර් මාපකයේ 8.6ක්‌ ලෙස සටහන් වී තිබිණි. මේ කම්පනය මිනිත්තු 2 තත්ත්පර 40ක්‌ පුරා පැවැති බැව් දැක්‌වෙන අතර සාමන්‍ය භූකම්පනයක්‌ තත්ත්පර කිහිපයකට පමණක්‌ සීමා වන බැව් කියෑවේ. පැය දෙකකට පසුව සිදු වන දෙවැනි භූ කම්පනය පසු කම්පනයක්‌ ලෙස හඳුන්වන්නට යෙදුණු අතර එය රිච්ටර් මාපකයේ 8.2 ලෙස දැක්‌විණි. රිච්ටර් මාපකය ලඝූ 10 පාදයෙන් දැක්‌වෙන බැවින් දශමස්‌ථාන වෙනස ඉතා විශාල ලෙස සැලකේ. සැතපුම් 125ක්‌ පමණ දිගු මේ තල මායිම පීඩනය නිදහස්‌ කර දමා ලිස්‌සා යැමෙන් විශාල පසු කම්පනයක්‌ හට ගන්නට ඇතැයි නිගමනය වී ඇත. එම තල මායිමේ පීඩනය නිදහස්‌ වී ගිය ද මේ තත්ත්වය ලොව පුරා දුර්වල තල මායිම් බොහොමයක්‌ අස්‌ථාවර කර අනාගත භූ කම්පන ඇති කිරීමට ම`ගපාදන්නා වූ පීඩනයක්‌ ඇති කරනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. බොහෝ කාලයක්‌ මතයක්‌ ව පැවැති ඉන්දු-ඕස්‌ට්‍රෙලියානු තලය බිඳී යැම මෙමඟින් ඔප්පු කෙරෙන බව් දැන් විද්‍යාඥයන් ගේ මතය වී ඇත. අලුත් තල මායිමක්‌ නිර්මාණය කෙරෙන බවට හොඳ ම සාධකය මේ සිදුවීම මඟින් පෙන්නුම් කෙරෙන බව ඔවුහු පෙන්වා දෙති. ද්විත්ව භූකම්පන වාර්තා වූ ස්‌ථානය මෙලෙස අලුත් තල මායිම නිර්මාණය වන්නා වූ ස්‌ථානය ලෙසත් ගත හැකි බැව් ඔවුහු තවදුරටත් පවසති.
    මේ නිගමනයට හේතුකාරක වනුයේ ද්විත්ව භූ කම්පනය පමණක්‌ නො වේ. භූ කම්පනය නිරීක්‌ෂණණය කිරීමේ දී සාමාන්‍ය තත්ත්වයට වඩා පස්‌ ගුණයකින් පමණ වැඩි පසු කම්පන ප්‍රමාණයක්‌ දින 6ක්‌ තුළ වාර්තා වීම තල මායිමක්‌ නිර්මාණය වන බවට සාක්‌ෂි සපයන බැව් කියවේ. සුවිශේෂී ලෙසින් මේ භූ කම්පන ද්විත්වය සමග ම ලොව පුරා භූමිකම්පා බොහොමයක්‌ වාර්තා වීමත් තවදුරටත් මේ උපකල්පනය නිගමනයක්‌ දක්‌වා තීව්ර කිරීමට හේතු සාධක සපයන බව විද්‍යාඥයෝ දක්‌වා සිටිති.
    2004 සුනාමිය ඇති වීමට හේතු වූ භූ කම්පනයට පසුව මේ කලාපයේ භූමිකම්පා පිළිබඳව නිරන්තර දත්ත රැස්‌ කෙරුණු අතර ඒවා නිරීක්‌ෂණයේ දී පෙනී ගියේ 1996-2004ට වඩා 2004න් පසුව එම කලාපයේ සිදු වන භූ කම්පන ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ ගොස්‌ ඇති බවයි.
    මේ තත්ත්වයට පසුබිම් වන්නේ එක ම තලයේ පිහිටියා වුව ද ඕස්‌ට්‍රෙලියානු කලාපය ඉන්දියානු කලාපයට වඩා වැඩි වේගයකින් ඊසාන දෙසට තල්ලු වීමයි. එබැවින් ඉන්දු- ඔස්‌ට්‍රෙලියානු තලය මැද වක්‌ වීමකට බඳුන් වන අතර එමගින් මේ තලය බිඳීමකට ලක්‌ වන බව් දැන් නිගමනය කෙරී ඇත. මේ පිළිබඳව අදහස්‌ ප්‍රකාශ කරන තවත් සමහර විද්‍යාඥයන් ගේ මතය අප්‍රියෙල් 11 වැනි දින සිදු වූ මේ භූමිකම්පා ද්වය අලුත් තල මායිමක උත්පත්තිය සටහන් කරන දිනයක්‌ බවයි.
    මේ සංසිද්ධියට අදාළ ඉන්දියානු තල කොටස වසරකට සෙන්ටිමීටර 3.7ක්‌ ඊසාන දෙසට ගමන් කරන අතර ඕස්‌ට්‍රෙලියානු කලාපය වසරකට සෙන්ටිමීටර 5.6ක්‌ ඊසානට තල්ලු වේ. වසරකට සෙන්ටිමීටර 2කට ආසන්න වෙනසක්‌ එක ම තලයේ කොටස්‌ දෙකක්‌ අතර නිර්මාණය වීම මෙලෙස ඉන්දු-ඕස්‌ට්‍රෙලියානු තලය දෙකට බිඳී යැමට ලක්‌ වීමට හේතුවයි. මේ තත්ත්වය ඉදිරි අනාගතයේ දී වැඩි වැඩියෙන් භූමිකම්පා ඇති කිරීමට හේතු විය හැකි ය. වසර 50ක කලායක්‌ තුළ ශ්‍රී ලංකාවට පහළින් ඉන්දියන් සාගර කලාපයේ ඇති වූ භූමිකම්පා පිළිබඳව නිරීක්‌ෂණය කිරීමේ දී මෙලෙස අලුත් තල මායිමක්‌ නිර්මාණය වන බවට නොයෙකුත් භූ විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබිණි.
    ශ්‍රී ලංකාවාසී අපට මේ පිළිබඳව සිතා බැලීමට සිදු වේ. දිගින් දිගට ම වර්ධනය වන භූමිකම්පා තත්ත්ව යටතේ හදිසියේ සිරස්‌ ලිස්‌සා යැමක්‌ සිදු වුව හොත් සුනාමි අවදානමක්‌ පැනනැඟිය හැකි හෙයින් අනාගතයේ දී අප විසින් නිර්මාණය කෙරෙන ගොඩනැඟිලි හා වෙරළ ආශ්‍රිත සංවර්ධන කටයුතු කෙරෙහි අවධානයක්‌ යොමු කිරීම ඉතා වැදගත් ය. විශේෂයෙන් ම වෙරළාශ්‍රිතව අන්තරායකාරී හෝ අවරෝධක කලාපයක්‌ (Buffer zone) ඇති කිරීම හා එම කලාපය තුළ කඩොලාන නිර්මාණය කිරීම මගින් සුනාමි තත්ත්වයක්‌ නිසා ඇති විය හැකි අවදානම අඩු කර ගත හැකි වේ. ඒ පිළිබඳව අවධානය යොමු කර දැන් දැන් ම ක්‍රියාත්මක වීම මගින් ජීවීත හා දේපළ හානි අවම කර ගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන් ම බරපතළ ව්‍යසනයක අත්දැකීම් ඇති අප ඒ අත්දැකීම අනාගත සුබසිද්ධිය සඳහා සහ අනාගත ආරක්‌ෂාව සඳහා යොදා ගැනීම අතිශය වැදගත් ය. භූමිකම්පා පිළිබඳව අනාවැකි කීමට තරම් විද්‍යාව දියුණු නොමැති යුගයක එවන් විපත්වලින් ආරක්‌ෂා වීමට අපට ගත හැකි උපරිම පියවර ගැනීමට පමා නො විය යුතු ය. ඒ මන්ද යත් වසර 2010 දී ජපානය හා 2004 දී අප විසින් අත්විඳි දරුණු ඛෙදවාචකය යළි කවර දා කෙලෙස අපට අත්දැකීමට වේ දැයි කීමට තරම් තවම අප නොදියුණු බැවිනි.


    මහාචාර්ය සී. බී. දිසානායක
    ආචාර්ය මෙත්තිකා විතානගේ
    මූලික අධ්‍යයන ආයතනය
    මහනුවර

    courtesy of vidusara news paper
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    301deathbump.png
     

    Similar threads