මංගල ගැන මගේ මතකයෙන් බිඳක්
-------------------------------------------------------------
දින දෙකකට පෙර එන්ගලන්තයේ ලිවර්පූල් නගරයේ ලංකීය හිතවතුන් සමග සංගීත සංධ්‍යාවකට සහබාගීවන විට දැන සිටියෙ දැඩිසත්කාර ඒකකයේ සිටි ඔහුගේ තත්වය තරමක් යහපත් අතට හැරී ඇති බවය. එම තොරතුර මගේ සිතේ තරමක් සැහැල්ලුවක් ඇති කල අතර, ඔහුට මෙතරම් ඉක්මනින් නික්ම යා නොහැකි බව මම තරයේ විශ්වාස කෙරුවෙමි. තෙරක් නොපෙනෙන අගාධයකට ගොස් ලංකාවේ එයින් මිදීමට ඉමක් සොයන බොහෝ දෙනා සේ මමද මංගල පිළිබඳ බොහෝ බලාපොරොත්තු තියාගෙන සිටියෙමි. සියළු රැඩිකල් කොටස් මෙන්ම සියළුම ජාතීන් එකම අරමුණකට ගොනුකල හැකි එකම චරිතය ඔහු වීම එයට හේතුව විය. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයකට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමට මට පෞද්ගලිකවත් සමාජීයවත් ඕනැ තරම් හේතු තිබුනි. එහෙත් ඔහුගේ හදිසි නික්මයාම අද බොහෝ දෙනෙකු තුල මෙන්ම මා තුලද දේශපාලන රික්තකයක් ඇති කර ඇති බවක් දැනේ.
මට ඔහු මුලින්ම මුන ගැසුනේ 1991දී හෝ 92 දී ඔහුගේ නිවසේදීය. ඒ මා Sunday Times පුවත් පතින් ඉවත් වී රොයිටර් ප්‍රවෘත්ති සේවයට එක්වුනු මුල් අවධිය විය. එම කාලයට සමගාමීව බොරැල්ලේ සාප්පු සංකීර්ණයේ එවකට රැඩිකල් මතදාරි ලේඛකයින් කණ්ඩාමක් එකතුකර "හිරු" පුවත් පත නිර්මාණය විය. ඒ සඳහා මුල් වූවේ 1986දී මා සමග ලිට්ල් රෝස් සමාගමේ පුවත් පත් හරහා පත්තර කලාවට පිවිස පසුකලක වෙඩි තබා මරා දැමූ රෝහණ කුමාර විසිනි. "හිරු" පුවත් පත ඒ වන විටත් ප්‍රේමදාස පාලනය විසින් ඝාතනයෙන් මර්ධනය කර විනාශ කර දමා තිබූ ජනතා විමුක්ති පෙරමුනේ පුනරුත්පත්තියේ ඉදිරි මුහුණු වර විය. රෝහන කුමාරගේ සහ මගේ මිත්‍රත්වය මත විවෙික ඇති විටෙක එහි යන මට සුනිල් මාධව, ඩලස් අලහපෙරුම, තිඹිරියාගම බණඩාර, රෝහිත භාෂණ අබේවර්ධන, විමලසිරි ගම්ලත් යනාදීන් මුන ගැසිනි. ඒ වන විට කිහිප වරක්ම ප්‍රේමදාස රජයේ මැර හමුදා විසින් කරන තර්ජණය කිරීම් පහරදීම් සහ මංකොල්ලකෑම් වලට මුහුන දී සිටි මම ඒ අත්දැකීම් වීදි වලදී ඡායාරූප ගැනීමේදී බාවිතා කලෙමි. පුවත් පතට සහයෝගයක් ලෙස රොයිටර් ප්‍රවෘත්ති සේවයට යවන ඡායාරූප ඇතැම් විට හිරු පත්තරයට මම ලබා දුන්නෙමි.
දිනෙක මට නොහඳුනන දුරකථණ ඇමතුමක් ලැබුනි. කතාකල පුද්ගලයා තමාගේ නම "රුවන් ෆඩිනැන්ඩස්" යයි හඳුන්වා දෙමින් හිරු පත්තරේ අය මට කතා කරන්න කී බවත් කියා මංගල සමරවීරට මාව හමුවන්න අවශ්‍ය බව කීවේය. ඔහුගෙන් ලිපිනය අහගත් මම පසුදින ඔහු දුන් ලිපිනයට ගියෙමි. එහිදී මගේ වයසටම සමාන වූ මා මෙන් පෙනුමැති අයෙකු පැමිණ තමා රුවන් ෆඩිනැන්ඩස් බවත් පැමිනීම ගැන ස්තූති කෙරුවේය. ඔහුගෙන් මාව කැඳවීමට හේතුව විමසූ විට ඔහු "එන්නකො ඇතුලට" කියා වාඩිවෙන්න සැළස්වීය. ටික මොහොතකින් මංගල සමරවීර එහි පැමින පසෙක පුටුවකින් වාඩිවූවේ "අපි මීට කලින් මුන ගැහිල නැහැ නේද?" කියමිනි. මගේ කතුහලය වැඩිවිය. ඉරියව් වල ස්වාබාවය අනුව එම හමුවීම සාමාන්‍ය එකක් නොවන බව මට හැඟිනි. "අනුරුද්ධ ගැන මම අහල තියෙනව, මම කෙලින්ම කාරනාවට එන්නම්. අපිට ඔයාගෙන් උදව්වක් අවශ්‍යයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරනව, අපිට ඒකට ඡායාරූප අවශ්‍යයි ඔයාට පුළුවන්ද අපිට ඒකට උදව් කරන්න ?" . ඔයාගේ ආරක්ෂාවට තර්ජණයක් වෙන්නැහැ, මේ පින්තූර ගන්නෙ ඔයාගෙන් බව කිසි කෙනෙක් දැනගන්නෙ නැහැ, රුවන් එකතු කලේය. අසූව දශකයේ තරුණ සමූල ඝාතන පිළිබඳ ඡායාරූප එකතුවක් මා වෙත තිබුනි. සමූහ ඝාතන වලට එරෙහිව දිනෙක එම ඡායාරූප බාවිතා කිරීමේ බලාපොරෝත්තුවෙන් සිටි මා එක පයින් එම යෝජනාවට කැමති වුනෙමි. පසු දිනෙක ilford resin coated කඩදාසියේ මුද්‍රණය කල 8×10 පුමාණයේ ඡායාරූප පනහකට ආසන්න ප්‍රමාණයක් මා පසුව රුවන් හරහා ඔහුට ලැබීමට සැළස්සුවෙමි. එහෙත් එම චායාරූප සහ අනෙකුත් ලියකියවිළි සමග එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට යාමට මංගලගේ එවක අතිජාත දේශපාලන මිත්‍රයා වන මහින්ද රාජපක්ෂට ඉඩ නොලැබිනි. ගුවන් තොටුපලේදීම ප්‍රේමදාසගේ පොලිසියේ අත්අඩංගුවට පත් වුනු මහින්ද රාජපක්ෂගෙන් එම ඡායාරූප ලබා ගැනීමට ප්‍රේමදාස සමත් විය.
එයින් පසු අප අතර ඇති වූ මිත්‍රත්වය ඉඳහිට ලයනල් වෙන්ට් එකේ බාර් එකේ ජින් අඩියක් රසවිඳින්නට තරම් දුර ගියේය. ඇතැම් විට තව කිහිප දෙනෙකු සමග සුනේත්‍රා බණ්ඩාරණායකද එයට එකතු විය. පසු කලක චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ පාලනය යටතේ ඔහු මාධ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී අප අපගේ වෘත්තීමය දුරස්ථබාවයන් පවත්වා ගත්තෙමු.
බලයට පත්වීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරියට දෙමළ ජාතික ගැටළුව සඳහා ස්ථිර විසඳුමක් සෙවීමට සැබෑ උවමනාවක් තිබූ අතර මංගල ඒ සඳහා උවමනා දකුණේ ජනතා කැමැත්ත දිනා ගැනීම සඳහා වන උපාය මාර්ග ක්‍රියාත්මක කෙරුවේය. ඔහු සැළසුම් කල සුදු නෙළුම් ව්‍යාපාරය සහ තවලම වැඩ සටහන සඳහා අවශ්‍ය ඡායාරූප මම සැපයුවෙමි. හමු වූ බොහෝ අවස්වථාලදී ඔහු මගේ වෘත්තීය ක්‍රියාකාරම් අගය කලේය. මගේ ඡායාරූපවලට අගය කිරීමක් කල එකම ලාංකීය දේශපාලඥයා ඔහු විය.
(පසු නිවැරිදි කිරීමයි: හිරු පුවත් පත නොව එය ලක්දිව ලෙස නිවැරිදි විය යුතුය. එම නිවැරිදි කිරීම සඳහන් කර එවූ මිත්‍රයන්ට ස්තූතියි)
https://www.facebook.com/lokuhapuarachchi