දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.
එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේපවීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.
*උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
*මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
*යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
*දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
*යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,
*උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
*එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
*උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
*උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයින් පත් කිරීම,
*උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.
දිනසේන රතුගමගේ විසිනි