ඊර්ෂ්‍යා කරලා නැද්ද මොනවටවත්?

hpalpola

Well-known member
  • මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ඇති වෙන කෙලෙස් හිතක් තමයි ඉස්සා නැත්නම් ඊර්ෂ්‍යාව කියන්නෙ. මේ වචනය නම් සිංහල බෞද්ධයන්ට එච්චර හුරුපුරුදු වචනයක් නෙමෙයි. මොකද සිංහල බෞද්ධයො කෙලෙස් තවන වීර්යය තියෙන අය. ඒ අය කෙලෙස් ඇති වෙන්න දෙන්නෙ නැහැ. හැබැයි යම් විදියකින් තමුන්ට හිතෙනවානම් තමුන්ගෙ හිතෙත් ඉස්සා නැත්නම් ඊර්ෂ්‍යාව ඇති වෙනවා කියලා ඒක නැති කරගන්න විදියක් කියන්නම්.

    ඉස්සා නැත්නම් ඊර්ෂ්‍යාව කියන්නෙ සාමාන්‍යයෙන් ගත්තම අනුන්ගෙ සැප, දියුණුව ඉවසගන්න බැරි එක. නිදසුනකට අල්ලපු ගෙදර මනුස්සයා ගේනවා බෙන්ස් කාර් එකක්. ඔයාට තියෙන්නෙ ඇල්ටො කාර් එකක්. ඔන්න දැන් ඔයාට අල්ලපු ගෙදර මනුස්සයා එක්ක අවුල් යනවා මේ මනුස්සයා බෙන්ස් එකක් ගෙනාවනෙ කියලා. ඒ අවුල නිසා තරහක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. මන් දන්නවා ඔයාලට මේ ගැන අත්දැකීම් නැතුව ඇති කියලා. මොකද ඔයාලා ඊර්ෂ්‍යාව තියෙන අය නෙමෙයිනෙ. නමුත් ඒක තියෙද්දි මේ වගේ අදහස් එනවා.

    දැන් මේ ඊර්ෂ්‍යාවේ තියෙනවා අමුතුම පිනවන ගතියක්. ඒ තමයි වෙන පාපකාරී නැත්නම් අකුසල් හිත්වලදි වගේ ඉස්සාව ඇති වුනා කියලා ලැබෙන දෙයක් නැහැ. ඒ කියන්නෙ නිකමට හිතන්න සොරකම් කරන්න හිතක් ඇති වුනා කියලා. ඇයි හොරකම් කරන්නෙ? එක්කො තමුන්ට වාසියක් වෙනවට, නැත්නම් අනුන්ට පාඩුවක් කරන්න. ඒකෙනුත් බලාපොරොත්තු වෙන්න වාසියම තමයි. නිකමට හිතන්න මස් කන්න සතෙක් මරන අදහසක් ආවා කියලා. සතා මරන්නෙ බඩ ගින්නට. හිතුවිල්ල අකුසල් තමයි, ඒත් ඒකෙන් දෙයක් ලැබෙනවා. දැන් ඊර්ෂ්‍යාව බලන්න. ලැබෙන කිසි දෙයක් නැහැ. ඒකෙදි වෙන්නෙ අනුන්ගෙ සැප ඉවසගන්න බැරි එක. හැබැයි ඒක ඉවසගන්න බැරි වුනාම නොයෙක් දේ කරන්න පෙලඹෙනවා. වඩාත්ම වෙන්නෙ තමුන්ගෙ හිතේ සාමය නැති වෙන එක. ඊර්ෂ්‍යාවේ තියෙන්නෙ හිත දවන ගතියක්.

    ඊර්ෂ්‍යාව ඇති වෙන කෙනෙක්ට ඒ අකුසල් හිත නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ‘මුදිතා’ව පුහුණු කිරීම. මුදිතාව කියන්නෙ බ්‍රහ්මවිහාර ධර්ම වලින් එකක් බව ඔයා දන්නවා. මුදිතාවේ ස්වභාවය තමයි අනුන්ගෙ සැප දැකලා සතුටු වෙනවා. ඊර්ෂ්‍යාවේ විරුද්ධ පැත්ත තමයි මුදිතාව. සිංහල බෞද්ධයන් මේ ගැන හොඳට දන්නවා. මුලින්ම කිව්වනෙ සිංහල බෞද්ධයො ඊර්ෂ්‍යාව නැත්නම් ඉස්සාව ගැන දන්නෙ නැහැ කියලා. එයාලා දන්නෙ මුදිතාව ගැන. ඒ කියන්නෙ ඊර්ෂ්‍යාවේ විරුද්ධ ස්වභාවය ගැන. ඊර්ෂ්‍යාව අකුසල් නම් මුදිතාව කුසල්. ඊර්ෂ්‍යාව තියෙනවා කියල දන්න කෙනෙක් ඉන්නවා නම් සහ තමුන්ට ඊර්ෂ්‍යාව නැති කරන්න ඕනා කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් එයා කරන්න ඕනා දේ තමයි මුදිතාව පුහුණු කරන එක. මේක ඊර්ෂ්‍යා කරන තරම් ලේසි නැහැ හැබැයි. හිත මුල ඉඳන්ම හුරු කරන්න ඕනා. මෛත්‍රිය සහ කරුණාව පුහුණු කිරීමත් මුදිතාව සඳහා හේතු වෙනවා. බහුතරයකට මුදිතාව වැඩෙනවා මෛත්‍රියයි කරුණාවයි පුහුණු කරද්දි.

    ඉතින් ඊර්ෂ්‍යාව නැති කරන්න තියෙන හොඳම දේ තමයි මුදිතාව. යම් විදියකින් ඔයාගේ හිතේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා කියලා තේරෙනවා නම් සහ ඒක නැති කරගන්නත් ඕනයි කියලත් හිතෙනවා නම් ඒකට හොඳම බෙහෙත තමයි මුදිතාව. කැමැති නම් කරලා බලන්න.