Meya kalin weda kare North Korea - UN office
He wrote several stories about his life in North Korea
වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ
https://www.facebook.com/groups/424991310906994/user/1018676039
උතුරු කොරියාවේ තුන් වසරක් (2) - ගුවන අරා යනෙන ගමනද දඬුවමක් මැය
චීනයේ බෙයිජිං නුවරින් ගුවන් ගත වූ, උතුරු කොරියානු "එයාර් කොරියෝ" ගුවන් සේවයට අයත්, ගමන් අංක ජේ එස් 151 ( J.S.151) දරන යානයේ මගීන් ඇමතීමේ සේවය ක්‍රියාත්මක වනවිට මා සිටියේ අඩ නින්දේය. මගේ බිරිඳ මා අසලම තද නින්දේය. කොළඹ සිට මත්තල ගුවන් තොට හරහා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානය බෙයිජිං නුවරට ළඟා වුණේ මැදියම් රැය පසුවීය. අසල වූ හෝටලයකට ගොස් අපි දෙදෙනා සැප සේ පැය කිහිපයක කෙටි නින්දක සුව වින්දෙමු. පසුදා උදෑසන 9.30 වෙද්දී අපි බෙයිජිං මධ්‍යම ගුවන් තොටේ පර්යන්ත අංක දෙකට පෙරළා පැමිණියෙමු. ඒ පා තැබීම කෙසේ වුවත් නම සවනත වැටෙද්දී පවා බහුතරයකගේ ලොමු දැහැ ගැන්වෙන, උතුරු කොරියාවේ පියෝන්ග්යන්ග් නුවර දක්වා පියාසර කරන්නටය. මාගේ බිරිඳ සති දෙකකින් පෙරළා මව්බිම කරා පැමිණෙන්නීය. එහෙත් මා කොපමණ කලක් එහි ගත කරන්නේදැයි මම නොදනිමි.කුතුහලයකින් අප සිත් පිරී තිබේ.
පියකරු කොරියානු ගුවන් සේවිකාවක සිය හඬ අවදි කළාය. මා විශ්වාස කරන්න. ඔවුන් සුන්දරය. අති සුන්දරය. උතුරු කොරියාවේ වාසය කරන්නට වූ පසු වරක් මාගේ සහෝදර උතුරු කොරියානු වෛද්‍යවරියක " රන්ජන් විශ්වාස කරන්න උතුරු කොරියාවේ කාන්තාවෝ හරිම සුන්දරයි. දකුණු කොරියාවේ එසේ නැහැ. ඒ වගේම තමයි දකුණේ ඉලන්දාරි කඩවසම්. උතුරේ එසේ නැහැ" කියා පැවසුවය. පසු පස සිතා බලද්දී එය එසේ යැයි මම ඔබට දිවුරා කියමි.
ඒ සුන්දර ලලනාව කොරියානු බසෙන් ඇමතීමෙන් පසු, කොරියානු ඌරුවට, ලාලිත්‍යවත් ලෙස ඉංග්‍රීසි බසට මාරු වූවාය.
" අන්යෝන්ග් හස්මිකා , දයාබර මගීන්ගෙන් අවසරයි . ඔබ මේ පසු කරමින් සිටින්නේ චීන මහජන සමූහාණ්ඩුව හා ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියා සමූහාණ්ඩුව අතර දේශ සීමාව.මේ දේශ සීමාව මුළුමනින්ම පාහේ අම්රෝක් ( යාලු යන නමින්ද හැඳින්වේ) නදියෙන් නිර්මාණය වෙලා තියෙනවා. එය ජපානයට එරෙහිව වීරෝදාර කොරියානු ජනතාව ගෙන ගිය අධිරාජ්‍ය විරෝධී සංග්‍රාමය වගේම කොරියානු යුද්ධය එක්ක බැඳී පවතිනවා. ඒ වගේම අනෙක් වැදගත් කාරණාව තමයි අපේ ශ්‍රේෂ්ඨ නායක, කිම් ඉල් සුන් ඊසාන දිග, ජපන් විරෝධී, එක්සත් හමුදාවේ කුඩා ගරිල්ලා කණ්ඩායමක් සමග එකාවන්ව ජපාන හමුදාවට පහර දෙන්න දේශසීමාව තරණය කළ තැන මෙතැන වීම. තව නොබෝ වෙලාවකින් අපි මෙතැන ඉඳන් ප්යෝන්ග්යන් “සුනන්” ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟා වෙනවා . හම්සාමිදා ( ස්තුතියි) "
උතුරු කොරියාවේ රාජකාරිය දේවකාරියයි. දේවකාරිය මග හැරියද රාජකාරිය මග හැරිය නොහැකිය. ඇය ඔවුනගේ රාජ්‍යයේ මතවාදයට අනුව සිය රාජ්‍යයට , පක්ෂයට හා අසහාය නායකයා වෙත සිදු කළ යුතු යුතුකම ඉටු කර නිවේදනය හමාර කළාය. මේ ප්‍රමාණයෙන් සුළු කැපවීමක් වුවද, ඒ උතුරු කොරියානුවන්ට පාලන ක්‍රමය යටතේ උරුම වී ඇති, ඔවුන් ඉටු කළ යුතු යුතුකම් ඔවුනගේ දේශයේදීම නොපිරිහෙලා ඉටුකරනු මා දුටු පළමු අවස්ථාව විය.
බෙයිජිං නුවර සිට පියෝන්ග්යන්ග් නුවරට ගුවනින් දුර ගුවන් කිලෝ මීටර 794 කි. ඒ සඳහා ගතවෙන කාලය හෝරා දෙකකි. දැන් හෝරාවක් පමණ කල් අපි ගුවනේ ගත කර ඇත්තෙමු. තවත් හෝරාවක පමණ ගමන ඉතිරිව තිබේ මම දෙනෙත් වසා කල්පනා ලෝකයකට පිවිසුනෙමි. මගේ මනස වසර එකොළහකට මත්තෙන් දකුණු කොරියාවේ සෝල් නගරය වෙත දිවයයි. මා එහි සිටි කෙටි කාල සීමාවේදී හනි හනිකට උතුරු හා දකුණු කොරියා දේශ සීමාවට ගමන් ගත්තේ කිසිදා යන්නට නොලැබෙන උතුරු කොරියාවේ දකුණු ප්‍රදේශය දෙස දුරස්ථව සිට හෝ බලා හිඳින්නටය. එහෙත් දැන් මාගේ දෑස් මටම අදහා ගත නොහැකිය.පහසුවෙන් අයෙකු නොයන, ගියොත් ආපසු නොඑතැයි බොහෝ අය සිතන උතුරු කොරියා දේශ සීමාවට මම ඇතුළු වී සිටිමි. මේ මා දකීන්නේ සිහිනයක්ද ? හුදෙකලා දේශය අද සිට තවත් නොදන්නා කාල සීමාවකට මාගේ නිවහනයි. මාගේ සේවා ස්ථානයයි.
අප පැමිණෙමින් සිටින්නේ බෙයිජිං නුවර සිට උතුරු කොරියාවේ අග නුවර වන පියෝන්ග්යන්ග් දක්වාය. උතුරු කොරියාව කරා ගුවන් ගමන් පවතින්නේ තවත් ගුවන් මං තුනක් ඔස්සේ පමණී. ඒ චීනයේ බෙයිජිං (Beijing ) , ෂැන්හායි (Shanghai), ෂෙන්යන්ග් (Shenyang) නගර වල සිට හා රුසියානු සමුහාණ්ඩුවේ, ඈත පෙරදිග, ව්ලදීවස්තොක් (Vladivostok) නගරයේ සිට පමණී.
උතුරු කොරියාව කරා ගමන් කරන්නේ එහි ජාතික ගුවන් සේවාව වන " එයාර් කොරියෝ “හා චීන රජයට අයත් " එයාර් චයිනා " සමාගමේ ගුවන් යානා පමණී. “එයාර් කොරියෝ” සමාගම පියෝන්ග්යන්ග්-බෙයිජිං-පියෝන්ග්යන්ග් ගුවන් මාර්ගයේ සෙනසුරාදා , අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල දවසට එක ගමන් වාරයක් පමණක් සිදු කරයි. එයට අමතරව ශීත කාලයේ ( සිකුරාදා ) හා ගිම්හානයේ (සඳුදා ) සතියට තවත් එක දිනක ගමන් වාරයක් පවත්වා ගනියි. බෙයිජිං හැරුණු විට අනෙක් ගමන් අන්තයන්හී සිට රට තුළට ගුවන් ගමන් ක්‍රියාත්මක වෙන්නේ සතියකට ගමන් වාර දෙකක් පමණී. එයාර් චයිනා ගුවන් සමාගම ක්‍රියාත්මක කරන්නේ සතියකට ගුවන් ගමන් වාර දෙකකි. එයද ගිම්හාන කාලයේ පමණී. ශීත කාලයේ එයාර් චයිනා ගුවන් සමාගම උතුරු කොරියාවට ගුවන් ගමන් නවතා දමයි.අනෙක් දරාගත නොහැකි කරුණ නම් මගීන් සංඛ්‍යාව අඩු නම් එයාර් චයිනා සමාගම හිතුමතයේම ගුවන් ගමන නවතා දැමීමය. පසු කලෙක එහි සිට සෑම දෙමාසයකට වරක් නිවෙස කරා පැමිණුන මා එක් වරක් හැරෙන්නට ගමන් කර ඇත්තේ එයාර් කොරියෝ ගුවන් යානා වලින් පමණී. ඒ එයාර් චයිනා ගුවන් යානා ක්‍රියාත්මක වීම හා එයාර් චයිනා ගුවන් සේවාවට සාපේක්ෂව එයාර් කොරියෝ සමාගමේ ඇති විශ්වාසනීයත්වය නිසාය.
එහෙත් ආරම්භයේදී මා හට එයාර් කොරියෝ ගුවන් යානා වල ගමන් කිරීම බිය දනවන සුළු කරුණක් විය එයට හේතු වූයේ වසර ගණනක් පැරණි රුසියානු, යුක්රේනියානු හා සෝවියට් යානා ඔවුන් යොදා ගැනීමයි. ප්‍රධාන වශයෙන් “අන්තොනොෆ් (Antonov) හා තුපෝලෙෆ් (Tupolev) වර්ගයේ යානා ඔවුහු යොදා ගනිති. මේ යානා අතරින් සමහරක් රුසියානු සමුහාණ්ඩුව පවා වත්මනේ යොදා නොගනියි. එහෙත් පැසසිය යුතු කරුණ නම් ඒවා ඔවුන් සේවා කර මනා සේ පවත්වා ගැනීමය.
1950 සිට ගුවන් අනතුරු පිළිබඳව දත්ත රැස් කරන " එවියේෂන් සේෆ්ටි නෙට්වර්ක් " දත්තයන්ට අනුව 10700 ඉක්මවා යන ඔවුන්ගේ සිදුවීම් මාලාවේ ඇති උතුරු කොරියානු ගුවන් සේවයේ එකම මාරාන්තික සිදුවීම සිදුවී ඇත්තේ 1983 වසරේදීය . පසුගිය වසර 39 තුළ ඔවුන් සුරක්ෂිතව, මේ පැරණි ගුවන් යානා සමූහය ආර්ථික අවපාතය හමුවේ යොදා ගෙන තිබේ. අපට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සුරක්ෂිත බව තහවුරු නොකළ ගුවන් සමාගම් වල ගමන තහනම්ය. එහෙත් වාසනාවකට එයාර් කොරියෝ එයට අයත් නොවීම නිසා නිතර නිතර ගමනේ යෙදෙන අපට එය පහසුවක්ම විය.
උතුරු කොරියානු ගුවන් නියමුවෝ ශීත කාලයේ, දැඩි හිම පතන පවතින මොහොතේ පවා “සුනන්” ගුවන් තොටට යානා බස්සන්නට රුසියෝ වෙති. වරෙක අපි අපගේ රාජකාරී සඳහා සහය වෙන්නට උපදේශකවරුන් දෙදෙනෙකු රැගෙන ආවෙමු. දෙදෙනාම බෙයිජිං සිට උතුරු කොරියාව දක්වා ගමන් කළේ එකම දිනෙකය. නමුත් එයාර් චයිනා හා එයා කොරියෝ යානාවන් දෙකකින් වෙන වෙනමය.