පිරිසැකසුම් ආහාර යනු මොනවාද?
භාවිතයට පහසුවන අයුරින් හෝ කල්තබාගැනීමට හැකි අයුරින් සකස් කරන ලද ආහාර පිරිසැකසුම් ආහාර ලෙස හැඳින්වේ. බොහොමයක් පිරිසැකසුම් ආහාර භාවිතා කිරීමට පෙර රත්කිරීම හෝ වෙනත් ආහාරමය ද්‍රව්‍ය එකතුකර සකස් කරගැනීම කල යුතුවේ. පරිභෝජනයට පහසුවීම වැනි වාසි තිබෙන මුත්, බොහොමයක් පිරිසැකසුම් ආහාර පෝෂණ ගුණයෙන් හීනය. එමෙන්ම, එවැනි ආහාර කල්තබාගැනීම සහ රසවත්භාවය වැඩිකිරීම සඳහා නොයෙකුත් ආහාර සංකලනයන් (Food additives) එකතු කරනු ලැබේ. මෙම ආහාර සංකලනයන් වල පෝෂණ ගුණයක් නොමැති තරම්ය. ආහාර කල්තබාගැනීමට යොදන රසායන ද්‍රව්‍යයන් වලට සැලකිය යුතු සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමේ හැකියාව ඇත. කෙසේ වුවත්, සියළු පිරිසැකසුම් ආහාර ශරීරයට අහිතකර නොවේ. අධිශීත කරන ලද එළවළු හා පළතුරු, තම්බන ලද සහල්, පාශ්චරීකරනය කරන ලද කිරි, හා බලකරණය කරන ලද ආහාර (Fortified foods) ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. එවැනි ආහාර මගින් අහිතකර බලපෑම් වලට වඩා හිතකර බලපෑම් ඇතිවේ.
පිරිසැකසුම් ආහාර වල පෝෂණ ගුණය සහ ඔබේ සෞඛ්‍යයට ඒවායින් ඇතිවන බලපෑම් මොනවාද?
සාමාන්‍යයෙන් පිරිසැකසුම් ආහාර සකස්කිරීමේ ක්‍රියාවලියේදී ශුද්ධකරන ලද අමුද්‍රව්‍ය (Refined ingredients) යොදාගන්නා අතර, එම ආහාර වල එකතුකරන ලද මේදය, ලුණු, සහ සීනි ඇත. එමෙන්ම, පිරිසැකසුම් ආහාර වල කැලරි අගය වැඩිය. නමුත්, ඒවා තුළ අඩංගු වන ක්ෂුද්‍ර පෝෂක සහ ආහාරමය තන්තු ප්‍රමාණය ඉතා අඩුය. එබැවින්, ඔබේ ආහාර වේලෙහි ප්‍රධාන තැනක් පිරිසැකසුම් ආහාර වලට වෙන්කිරීම නොකල යුතුය.
බොහොමයක් පිරිසැකසුම් ආහාර වල තෙල් මුඩුවීම සහ ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුවන ආහාර නරක්වීම වැළැක්වීම සඳහා කල්තබාගැනීමේ රසායන ද්‍රව්‍ය යොදා ඇත. මෙම කල්තබාගැනීමේ රසායන ද්‍රව්‍යයන් ශරීරයට විෂ සහිත වන අතර, ඒවා නිසා ආසාත්මිකතා (Allergies) ද ඇතිවිය හැක. පිරිසැකසුම් ආහාර රසවත් කිරීම සඳහා මොනෝ සෝඩියම් ග්ලූටමේට් (Mono-sodium glutamate or MSG) යොදන අතර, ආහාර වල වයනය (Texture) වැඩිදියුණු කිරීම සඳහා විශේෂණය කරන ලද පිටි වර්ග (Modified starches) යොදාගනී. මෙවැනි ද්‍රව්‍යයන් නිසා විෂවීම් සහ ආසාත්මිකතා ඇතිවිය හැක. එමෙන්ම, බොහොමයක් පිරිසැකසුම් ආහාර වල විශාල වශයෙන් ට්‍රාන්ස් මේදය, සංතෘප්ත මේදය, සීනි, සහ ලුණු අඩංගු වේ. මෙවැනි ආහාර වලින් හැකිතරම් වැළකීම ඇඟට ගුණදායක වන අතර, කලාතුරකින් ඉතා සුළු ප්‍රමාණයක් ආහාරයට ගැනීම කලහැක.