මගේ නම “එතකොට යකෝ”.
මට ජාතිභේද නෑ; ඒත් ජාති දෙකක් වලිකන තැන මම ඉන්නවා. ආගම් භේද නෑ. ඒත් ආගම් අතර දබරෙකදී මම එතැන. මට කුලභේද නෑ. ඒත් කුල දෙකක් ගැටෙන තැන මම ඉන්නවාමයි. මගේ රස්සාව ප්රශ්න දික් ගස්සන එක; එක වැරැද්දක් ගැන කරන කතාවක්, වෙනත් වැරද්දක් පෙන්නලා යට ගහන එක.
ඒක කරන්න හරි ලේසියි. මොකක් හෝ ජන වර්ගයක/ආගමක/කුලයක අයට වුණු අසාධාරණයක් පෙන්නලා දෙනකොට මම මගේ නම කියල හයියෙන් කෑ ගහල වැඩේට බහිනවා: “එතකොට යකෝ” කියල පටන්ගන්න ගෝරනාඩුව ඉවර වෙනකොට කබරගොයා තලගොයා වෙනවා. අහන අයට, කියවන අයට හිතෙන්නේ ඇත්තටම වුණේ අසාධාරණයක් නෙවෙයි පුදුම සාධාරණයක් කියල.
කොළඹ දෙමල කඩ පිච්චුව? “එතකොට යකෝ” යාපනේ දෙමලු මරපු සිංහලයෝ ගැන ඇයි උඹ කතා කරන්නේ නැත්තේ?
යාපනේ සිංහල ගමකට තම්බි ගැහුවා? “එතකොට යකෝ” සිංහලයෝ ග්රෑන්ඩ්පාස් වල තම්බින්ට ගැහුවේ නැද්ද?
හම්බයෝ දාගැබක් කැඩුවා? “එතකොට යකෝ” සිංහලයෝ කඩපු පල්ලි?
උතුරේ බලෙන් බුද්ධාගමට හරවනවා? පන්සල් හදනවා? “එතකොට යකෝ” අරුං ක්රිස්තියන් ආගමට හරවන්නේ? පල්ලි හදන්නේ?
සලාගම කරාව අයට නිදහස් ලංකාවේ නායකත්වය ගන්න බෑ? “එතකොට යකෝ” සුද්ද ඉන්න කාලේ ගොවිගම යටකරගෙන උන් රජකම් කළේ නැද්ද?
අසාධාරණයට විරුද්ධව කරන අසාධාරණය සාධාරණයක් කියල මම ඒත්තු ගන්නන්නේ ඔහොමයි. මිනිස්සුත් ඕක ගෙඩි පිටින් ගිලල “අම්මප ඔව් නේන්නං” කියනවා.
මොළයක් තියන මිනිස්සුන්ට එහෙම වෙන්නේ ඇයි කියන රහස දන්නේ මම විතරයි. මිනිස් මොළේ ප්රාථමිකම, ළාමකම ලක්ෂණයක් තමයි ‘රිටර්න් එකක් දෙන්න’ හිතන එක; බල්ලා වගේ අනික් පැත්තට හපන්න පනින එක. හින්දි ෆිල්ම් එකේ වීරයා කරන්නේ ඒක. ඒ ප්රාථමික මනෝ ලෝකයේ තමුන් එක්කෝ වීරයා, නැත්තම් පොන්නයා. කවුද කැමැති පොන්නයා වෙන්න? වීරයා වෙන්න තියෙන්නේ ‘රිටර්න් එක’ දීල.
මම මෙච්චර සැපට ජීවත් වෙන්නේ ඉන්දියාවේ හින්දි ෆිල්ම් එකේ වීරයාගේ ‘රිටර්න් එක’ නිසා. ඒත් ඔය වීරයා බිහි වෙන්න අවුරුදු දෙදහස් පන්සීයකට ඉස්සෙල්ල වෙන වර්ගයේ වීරයෙක් ඉන්දියාවේම බිහි වුණා. හොඳ වෙලාවට ඒ වීරයාගේ අදහස් දැන් දැන් ටික ටික යට යනවා. එයා කිව්වේ මොකද්ද දන්නවද? එක වැරැද්දක් තව වැරද්දකින් නිවැරදි කරන්න බැරිලු! එහෙම රටක මට කොහෙන්ද තැනක්? ‘නහි වේරේන වේරානි’ - මොන පොන්නකමක්ද ඒක!
නේද?
- වැද්දා