ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දැන් 91 යි
විපක්ෂයේ ඝෝෂාවෙන් මැතිසබයේ ගාලගෝට්ටි
අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ
ආණ්ඩුවේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව දැන් කොපමණදැයි වහා හෙළි කරන ලෙසට බල කරමින් විපක්ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ඊයේ (6 දා) සිය අසුන්වලින් නැගිට ඝෝෂා කිරීම නිසා සභා ගැබෙහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනිණි.
"අදත් තුන්දෙනෙක් දිවුරුම් දුන්නා. දැන් ගාණ කීයද... ගාණ කීයද.... යෑයි අසමින් මෙම මන්ත්‍රීවරු කෑ ගැසීමත් ඊට පිළිතුරු ලෙස ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඝෝෂා කිරීමත් නිසා පාර්ලිමේන්තුව ඊයේ (6 දා) සවස පැය භාගයක පමණ කාලයක් ගාලගෝට්ටියක් බවට පත්විය. මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව පාලනය කිරීමට මුලසුනේ සිටි කථානායක කරු ජයසූරිය මහතාටද අසීරු විය.මම ගාණ කියන්නේ කොහොමද.... ඇමැතිවරු පත් කරන්නේ කථානායකවරයා දැයි කරු ජයසූරිය මහතා ඝෝෂාකාරී මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළේය.
අපිට දැන් මේ මොහොතේම ඇමැතිවරු සංඛ්‍යාව කීයද කියා දැනගන්න ඕනෑ" යෑයි විපක්ෂයේ මන්ත්‍රීවරු කෑගසා කියද්දී "හරි... හරි... අපි හෙට ගාණ හරියට කියන්නම්..." යෑයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
මෙම ඝෝෂාකාරී තත්ත්වය හට ගත්තේ විමල් වීරවංශ මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් කළ ප්‍රකාශයත් සමගය.
විමල් වීරවංශ මහතා-
ඒකාබද්ධ විපක්ෂය අත්සන්කර විශ්වාසභංග යෝජනා දෙකක් භාර දුන්නා. එය ඔබතුමා පිළිගත්තා. ඒ අනුව පෙනෙනවා ජාතික ආණ්ඩුවක් නැති බව. අදත් නියෝජ්‍ය ඇමැතිවරු 3 ක් දිවුරුම් දුන්නා. අපට කියන්න ඇමැතිවරුන් නියෝජ්‍ය ඇමැතිවරු කී දෙනෙක් ඉන්නවාද?
කථානායක- ඒක කථානායකවරයාට අයිති රාජකාරියක් නොවේ. විශ්වාසභංග පළමුවැන්න විවාදයට මැයි මාසේ දිනයක් දෙන බව මම කිව්වා. අනෙක් විශ්වාසභංගය පිළිබඳ පසුව දැනුම් දෙන්නම්.
කිරිඇල්ල මහතා- ඒක අධිකරණයේ තිබෙන කාර්යක්. හදිසි අනතුරක් (ඝෝෂා)
එස්. එම්. මරික්කාර් මහතා- මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් තමන්ගේ පක්ෂයෙන් ඉවත්වෙලා ස්වාධීන වන බව කිව්වොත් ඔහුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට පිළිගන්නවද? ඒ අනුව ජාතික ආණ්ඩුව නැතිවෙනවද (ඝෝෂා)
කථානායකවරයා- මට ඇමැතිවරු ගණන කියන්න අයිතියක් නෑ. මම නොවේ පත් කරන්නේ. පාර්ලිමේන්තුව විහිළුවකට ගන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා.
සභානායක- ගණන ඇහුවා. ඉඩ තියෙනවා මේ පැත්තට එන්න.
විජයදාස රාජපක්ෂ මහතා- ඒකාබද්ධ විපක්ෂයෙන් අඩුවූ ගණන කැබිනට් මණ්ඩලයට එකතු කළාම අද තිබෙන ඇමැති සංඛ්‍යාව හදා ගන්න පුළුවන්.