ඒක එච්චර දෙයක් නෙවෙයි
අම්මලා මල්ලිට මඟුල් ගෙදර කිව්වෙ නෑ. ඌ නිකම්ම නිකම් නිකමා හින්දා. මිනිහට හරි හමන් නමක් කියන්න පුලුවන් රස්සාවක් නෑ.ඒකයි කාරණේ
මඟුල අපේ ගෙදර බඩ පිස්සි නිරූපමාගේ.ඒකි නර්ස් කෙනෙක්.බැන්ඳෙ දොස්තර මහත්තයෙක්.
ඒකිගෙ ලොකු අයියා මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ. අපේ ලොකු නංගි වාරිමාර්ග අමාත්‍යාංශෙ.එතකොට ලොකු නංගිගෙ මහත්තයයි අපේ නෝනයි දෙන්නම තැපැල් දෙපාර්තමේන්තුවෙ. අපේ නෝනා හරහා තමා නංගිගෙ මහත්තයා මුණ ගැහුණෙ.
ඔක්කොම ආණ්ඩුවේ නිලධාරි කරපු අපේ අප්පච්චි ගමේ ග්‍රාමනිලධාරී තුමා.
"ගමේ ග්‍රාමසේවක වුණ මම කොහොමද ඒ පැත්තෙ අයට කියන්නෙ මේකා නිකමා කියාල.ඒ මදිවට ගත්ත ගෑනිටවත් රස්සාවක් තියෙයිද නෑනෙ.නෑනෙ."
මගෙ ගෑනියි ලොකු නංගිගෙ මිනිහයි එතකොට පොඩි නංගි විතරක් නෙවෙයි අපේ අම්මත් අප්පච්චිගෙ තීරණේට එකඟයි. අම්මා එකඟයි කිව්වට අම්මා එකඟයි .හැබැයි බාගෙට.අම්මා කිව්වෙ සුභානි එනවට කැමති නෑ කියලා..
මඟුල් ගේ වැඩ වලට කියලා මල්ලිලාගේ ගේ ඉස්සරහින් එහාට මෙහාට ගිය හැම වතාවෙම මට මොකද්දෝ දුකක් හිතුණා.සමහර වෙලාවට මම දැක්ක මල්ලිගෙ බයික් එක මිදුලෙ තියෙනව.ඒක උඩ අත් දිග කමිසෙකුයි ලොකු තොප්පියකුයි එහෙමත් තිබුණා.
මල්ලි කරේ ත්‍රීවිල් රස්සාව.සුභානිලගෙ කුඹුරු එහෙමත් වැඩ කළා.ඊට අමතරව කාලෙන් කාලෙට පිස්සෙක් වගේ නිධන් පස්සෙත් දිව්වා.
ඔය සුභානිගෙ සම්බන්ධෙ හින්දා තමයි අප්පච්චි මල්ලිව අතෑරලම දැම්මෙ.එයා ඉස්සර අප්පච්චිලාගෙ ගෙවල් වල උයන්න පිහන්න ආව ගෑනියෙක්ගෙ මිණිපිරියක්.අම්මට නම් ප්‍රශ්ණෙ ඒක නෙවෙයි .සුභානි කලු එක තමයි අම්මගෙ ප්‍රශ්ණෙ.
මඟුලට දවස් සතියකට කලින් දවසෙ රෑ අපි මහගෙදර එකතු වෙලා කතා කර,කර ඉද්දි මල්ලියි සුභානියි ආවා. මල්ලිට ගෙදර යන එන තහනමක් තිබ්බෙ නෑ.මල්ලි ගෙදර ආවා ගියා.ඒත් අප්පච්චි කතා කළේ නෑ.අම්මා විතරයි මල්ලි එක්ක කතා බහ කළේ.මල්ලිගෙ ළමයා ඉපදුන වෙලාවෙත් අම්මා පංචායුධේ හදලා දීලා තිබුණා.
"මොනවද තියෙන වැඩ?"
උළුවස්ස ළඟ හිටිය අම්මා ගේ ඇතුළට ගියා.අප්පච්චි කණ්නාඩි දෙක හදාගත්තා.ඊට පස්සෙ මම බිම බලාගත්ත හින්දා අනිත් අයගෙ ප්‍රතිචාර මම දැක්කෙ නෑ.
"මම හාල් ටිකයි පොල් ටිකයි කෙසෙල් කැනුයි දෙනව..අනිත් ඒවා උඹලා බෙදාගනිල්ලා".මල්ලි කිව්වා.
"දැං කාටද ඕන උඹේ කෙහෙල් කැන්.ඔව්ව සුභානිගෙ නගා බඳින දාකට දෙන්න තියාගනිං" අප්පච්චි එහෙම කිව්වා.
" මම දෙන්නෙ මගෙ නංගිගෙ මඟුලට නෙ"
මම ඔලුව ඉස්සුවෙ නෑ.
"ඔය කුඹුරු සුභානි අක්කලගෙනෙ.ඕන්නෑ අයියා.අනික එයාලා ජාතිකාරයො. එයාල ඉස්සරහා සුභානි අක්කා අඳුන්නලා දෙන එකත් අමාරුයි.ඔයා කරන ජොබ් එක ඇහුවොත් කියන එකත් ..අනේ මන්දා..මම මේ ඒ ගැන හිතනවා"
මම ඒ වෙලාවෙ තමයි ඔලුව උස්සල බැලුවෙ.මට තරහ ගියා.ඒත් අප්පච්චිට බැනලා මහ ගෙදර ඉඩමෙ මගෙ කොටස නැති කරගන්න මට ඕන වුනෙ නැ.නංගිට බැන්නත් වෙන්නෙ ඒකම තමා.නංගි කියන්නෙ අප්පච්චිගෙ පණනෙ.
"උඹ මේ බලෙන් දෙන්න ආවෙ උඹට කවුද මඟුල් කිව්වෙ?"
මං එහෙම ඇහුවෙ තරහට නෙවෙයි .ඇත්තටම ඒ දුකට.ඒක හරියට දවසක් අපේ පුතා ළමයෙක් එක්ක වුණ රණ්ඩුවකට ඒ ළමයගෙ අම්මා ගෙදර ඇවිත් බනිද්දි අපේ මිලානි අපේ කොල්ලටම දෙකක් ගහලා රණ්ඩුව ඉවර කරා වගේ.ඒ ඇවිත් හිටියෙ පුතාගෙ ඉස්කෝලෙ ටීච කෙනෙක් හින්ද අපේ ළමයටම වැරැද්ද දාලා ප්‍රශ්ණෙ ඉවර කරගන්න එක ළමයගෙ හෙට දවසට හොඳයි කියලයි මිලානි කිව්වෙ.
එදා මිලානිත් ළමයට ගැහුවෙ තරහට නෙවෙයි .ළමයා වැරදි නෑ කියලා නොදැනත් නෙවෙයි .අපේ ළමයටත් තේරුණා අම්මා එයාට ගැහුවෙ ඒ හින්දා කියලා..ඒත් අපේ මල්ලිට තේරුන්නැ.
සමහර වෙලාවට පොඩි උන්ට තේරෙන දේවල් මහ උන්ට තේරෙන්නෑ.
"මං හිතුවෙ පවුලෙ දේවල් වලට බුලත් දෙනකම්ම ඉන්න ඕන්නෑ කියලා"
මල්ලි එහෙම කියද්දි ළඟට ආව සුභානි මල්ලිගෙ අතින් අල්ලගන්නව මම දැක්කා.ඊට පස්සෙ උන් දෙන්නා යන්න ගියා.උන් දෙන්න ගැන කිසිම කතාවක් නැතුව අපේ සාකච්ඡාව ඉස්සරහට ගියා.
අපේ මිලානි ගෙදර ආවම කිව්වා "ඒ වුණාට ඔයාලට ඕක කරන්න තිබුණෙ ඔහොම නෙවෙයි .අර පොඩි එකත් වෙච්ච් දේ දැක්කා" කියලා.
පොඩි එකා?..මල්ලිගෙ පොඩි එකී...ඒකිත් හිටියද..මට ඒ ගැන මතකයක් තිබුනෙම නෑ.
නංගිගෙ මඟුල් ගේ ලංවුණා.මම හැමදාම හවස් මහ ගෙදර ගියා.එක පාරක් වත් මල්ලිලාගේ ගේ දිහා බැලුවෙ නෑ. ඒත් මඟුලට කලින් දා හන්දියෙදි එක පාර අපි දෙන්නා මූණට මුණ මුණගැහුණා.
"උඹ මොකටද අප්පච්චිගෙන් කතා අහන්න මහගෙදර එන්නෙ?"
"ආයෙ එන්නෙ නෑ.ඒ වුණාට මං උඹලා එක්ක තරහ නෑ.මට ඉගෙන ගන්න බැරිවුණා.හැබැයි මම වැරදි මාර්ගෙකින් ජීවත් වෙන්නෑ"
මල්ලි එහෙම කියලා යන්න ගියා.මල්ලි කවදත් ඉගෙන ගන්න දක්ෂ කමක් තිබුන එකෙක් නෙවෙයි.ඌට එක විභාගයක්වත් පාස් වෙන්න පුළුවන් වුණේ නෑ. කවදාවත් උගෙ නමට නම් අපෙ අප්පච්චිට හොඳක් අහන්න ලැබුණේ නෑ.
ඇත්තටම ඒක මල්ලිගෙ කරුමෙද නැත්තං අප්පච්චි කරුමෙද කියලා කියන්න මම දන්නේ නෑ.
මඟුල් ගෙට දවසක් තියලා රෑ මමයි අපේ අප්පච්චියි බඩු වගයක් අරන් ගෙදර එනවා. අපේ ලදරං කාර් එකටත් එදාම කැඩෙන්න ඕන වුණා. ඒක වුණේ මෙහෙමයි.ටවුමෙදි මල්ලිගෙ ත්‍රීවිල් එක දැකපු අපේ කාර් එකට මඟදි කැඩෙන්නම ඕන වුණා.දැන් කාර් එක කැඩිලා අපි දෙන්නා ඉන්නවා උදව්වක් ගන්න කෙනෙක් එනකම්. අප්පච්චිට අනුව මගේ ජංගමයා බැටරි බැහැලා.එතකොට අප්පච්චිගෙ ජංගමයා ගෙදර අමතක වෙලා.ඇත්තටම ඒක බෙහෙහ් බඩු කඩෙන් ගත්ත මඩු මල්ලට දැම්ම බව මල්ල වත් දන්නෑ.
දැන් කාර් එක මල්ලිගෙ ත්‍රීවිල් එක එනකම් ඉන්නවා.මම උදව්වක් ගන්න කෙනෙක් එනකම් පාරෙ හිටගෙන ඉන්නවා. අප්පච්චි සිංහයා වගෙ, කාර් එකෙන් බැස්සෙ නෑ.